සබරගමුවේ පුංචි සීගිරිය
කොළඹ සිට මහනුවරට යද්දී හමුවන කඩුගන්නාව දෙනෙතට තිළිණ කරන්නේ සොබාදහමේ අසිරිමත්ම දසුනකි. දකුණු පැත්තේ පෙනෙන ඒ දසුන වූ කලී අපූරු කඳු පංතියකි.
ඉරගල වැටෙන හැන්දෑවක දී නම් ඒ කඳු පංතියට ඉහළින් රතුපාට ෙවන ඉරබෝලය ද රතට හුරු රාස්සිගේ අව්ව ද පැතිර යයි.
විවිධ හැඩැති කඳු හිස් අතරින් පෙනෙන පොත එහෙමත් නැත්නම් සීගිරිය හිතේ සදාතනික මතකයක් සේ ඉතිරි වෙයි. සුදු ජාතික සංචාරකයන් බයිබල් රොක් ලෙසද නම් කළ සිංහල අපට පුංචි සීගිරියක් වූ මේ කන්දේ සැබෑ නම බතලේගලයි.
ඌරා කන්ද, සාමසර කන්ද මෙන්ම උතුවන් කන්දට ද මැදිවූ මේ බතලේගල කන්ද. කඩුගන්නාවට සුන්දර දසුනක් සේ පෙනුනත් පිහිටා ඇත්තේ සබරගමුවේය. හත්ගම්පල ඉසව්වේය.
අඩි පන්සීය හතළිහක් පමණ උස් වූ මේ බතලේගල කන්ද කලෙක ප්‍රාදේශීය රජවරුන්ගේ බලකොටුවක් ලෙසද පැවතිණි. විශේෂයෙන් දප්පුල රජ කුමරු බලකොටුවක් ලෙස බතලේගල පාවිච්චි කළේය.
උඩරට රාජධානි සමයේ මහනුවර පාර වැටී තිබුණේද මේ බතලේගල කිට්ටුවෙනි. එබැවින් බතලේගල කඳුමුදුනේ හේවායන් රඳවා තැබීම එකල ආරක්ෂක උපක්‍රමයක් විණි.
කඳු මුදුනට පිවිසීම පිණිස පඩි පෙළක් සදන්නට ඇත්තේද අන්න ඒ සිංහල රජ කාලයේම විය යුතුය.
එහෙත් අද නම් මෙය සුන්දර සංචාරක ආකර්ෂණයකි. ඇටඹ, වල් දෙල්, හල්මිල්ල, මිල්ල, බදුල්ල, කළුමැදිරිය, කිතුල් ඇතුළු වන ගහනයකින් වටවුණු බතලේගල කන්ද අක්කර දාහතක් තරම් විශාල ප්‍රදේශයක් පුරා පැතිර තිබේ. අක්කර හතක් පමණම සුවිශාල තැනිතලාවක් කඳු මුදුනෙහි තිබේ. ඒ තැන්නේ එක් ඉසව්වක මානා පඳුරු යායකි. අනෙක් ඉසව්ව කඳුකර වනාන්තරයකි. එකම තැන්නක එබඳු වෙනසක් සිදුවීම අරුමයක් සේ දැනෙයි. එහෙත් එසේ වීමට හේතුව ෙවන්නේ සුළං කපොල්ල ය.
ඌරා කන්දත් බතලේගලත් අතර මැද වූ නිම්නයෙන් හමන තියුණු සුළඟ පිවිසෙන්නේ බතලේගල කඳු මුදුනට ය. මේ තියුණු සුළඟ කිසිම ශාකයක් හැදෙන්නට වැඩෙන්නට ඉඩක් නොදේ. එනිසාම මේ කොටසේ ඇත්තේ මානා පඳුරු පමණකි. ඕනෑම සුළඟක් සමග හැප්පී බිමටම පාත්වී ජීවිතය රැක ගැනීමට මානා පඳුරු සමත්වෙන නිසාය. හැබැයි මේ සුළඟට අසු නොවන අනෙක් පස බෑවුම සොඳුරු වන ගහනයකි.
මේ කඳු මුදුන් තැන්නෙහි ගල් ගුහා කිහිපයක්ද වෙයි. ඉන් එක් ගල් ගුහාවක රන් දෑකැති ගබඩාවක් තිබෙන බවක්ද කියති. බොහෝ දුරාතීතයක බතලේගල පාමුල පිහිටි ගම්මානවලින් ගොවීහු කඳු මුදුනට පැමිණ දේව පූජා පවත්වා මේ ගල්ගුහාව අබියස සිට දෙවියන්ගෙන් රන් දෑකැති ඉල්ලා සිටියහ. එක් මොහොතක මෙහි ඇති නිධානය ඇරී රන් දෑකැති මතුවේ. එවිට ගොවීන් කරන්නේ රන් දෑකැති රැගෙන ගොස් තම කුඹුරුවල අස්වනු කපා ගැනීමය.
රන් දෑකැතිවලින් කැපූ නිසාදෝ ඔවුනට ලැබුණේ සරුසාර අස්වැන්නකි. ලද අස්වැන්නේ ප්‍රථම කොටස දෙවියන්ට පුදා ලබාගත් රන් දෑකැති ආපසු ගල්ගුහාවේ තැන්පත් කිරීමට අවංක ගොවීහු කටයුතු කළහ.
එහෙත් දැන් ඒ රන් දෑකැති ලැබෙන්නේ නැත. ඊට හේතුව කිසියම් කෙනෙක් ලබාගත් රන් දෑකැති ආපසු බාර නොදීම හෝ වෙනත් වංචාවක් කිරීම හෝ විය හැකිය.
එදා මුර සෙබළුන්ගේ නවාතැනක් වූ මේ ගල් ගුහාව අද ෙවනවිට වවුලන්ගේ රජ දහනකි. හැබැයි සංචාරයකයනටද මෙහි ආරක්ෂාව හා රැකවරණය තිබේ.
බතලේගල කඳු මුදුනට ගිය එක් දිනෙක මහා වැසි ඇද හැලුණි. එදා තරම් වැස්සක අසිරිය දුටු අන් කිසිදු අවස්ථාවක් මගේ මතකයේ නැත. හේතුව මා වැස්ස දුටුවේ වැස්සට ඉහළ සිට වීමය. වැහි වළාකුළු තිබුණේ මගේ දෙනෙතට පහළිනි. එබැවින් මට මා රැඳී සිටි කඳු මුදුන පහළට වැසි වැටෙන හැටි මොනවට දකින්නට ලැබිණි. මොහොතකට පෙර හරිත පැහැයෙන් බැබලුන සොඳුරු නිම්නය සළුවකින් වැසුනාක් මෙන් පෙනිණි. අහස එක්වරම වියරු විය. ඌරා කන්ද පැත්තේ සිට මටත් ඉහළින් ආ කළුම කළු පාට වැහි වළාකුලක් සියල්ල කළු පැහැ ගැන්වීය. දඩ බඩාං හඬින් අකුණක් පිපිරුවේය. ඉන් විහිදුණු එළිය පිවිසුණේ මා සිටි තැනටමය.
මේ අකුණු පුපුරන්නේ ඉහළ අහසේ නොවේ. මගේ අත ළඟය. මගේ කන ළඟය.
කඳු මුදුනේ උසින්ම සිටින්නේ මා ය. මානා පඳුරු ද මට වඩා මිටිය. ඒ නිසා ම අකුණට නිරාවරණය වීමේ සම්භාවිතාව සියයට සියයකි. මරණ බිය දැනිණි. මා වහා දිව ගියේ අර රන් දෑකැති තිබෙන ගල් ලෙනටය.
මටද දෙවියන් සිහිවිය. මා දෙවියන්ගේන් ඉල්ලා සිටියේ රන් දෑකැති හෝ රන් පෑන් නොවේ. ජීවිතයයි. පැයක් පමණම කන් ළඟ අකුණු පෝලිමට පිපිරුවේය.
දැනුත් බතලේගල දකිනවිට මසිත තිගැස්සේ. ඒ අර හෙණ මතකයට නැගෙන නිසාය.
බතලේගලට පෙනෙන දසුන චමත්කාරජනකය. ළඟ ළඟම උසැති කඳු හිස්ය. ඈතට ඈතට විහිද ගිය මිටියාවත පුරාම නිල්ල නිලන තුරු හිස් ය. හෙල්මලු කුඹුරු යායවල්ය. සුදු පාට දිය දහරාවන්ය. තැනෙක අසුපිනි ඇල්ලේ රිදී පැහැයයි. දුරින් කඩුගන්නාවේ බස් පාරය. යෝධ උරගයකු බඳු ඒ බස් පාරේ එහා මෙහා යන බස් රථ ගිනි පෙට්ටි තරමටම පුංචිය.
වඩා සොඳුරු ෙවන්නේ බස් පාරේ සිට දැකපු පුංචි සීගිරියද පුංචි සීගිරියේ සිට දකින බස් පාරද යන්න සිතාගත නොහැකි අවිනිශ්චිත තත්පරයක් මා ඉදිරියේය.
දුරාතීතයේදී මෙතැන රාවණ රජු දඬුමොනරය නතර කළ තැනකැයි කියති. රාවණ යුගයේදී ලංකාව උඩින් ගියේ දඬුමොනරයයි.
රාවණ යුගය යනු වසර පන්දහසකට ඔබ්බෙන් වූ යුගය බව කියැවේ. එසේ නම් බුදු හාමුදුරුවන්ගේ යුගය ඊට වඩා අලුත්ය. අන්න ඒ කාලයේදී බුදු හිමියෝ බතලේගල කඳු මුදුනටද වැඩම කළෝය. ඒ සිරිපතුල සටහන තැබීමටය.
එහෙත් ඊට එරෙහිවූවෙක් එතැන බතල ගොඩක් ගොඩගැසුවේ ලු. එබැවින් බුදු හාමුදුරුවෝ සමනල කඳු මුදුනට වැඩම කළහ. බතලේගලට ඒ ‘බතල’ නම ලැබුණේ ඒ සිදුවීම නිසා ලු.
මෙබඳු ජනප්‍රවාද ද මේ කඳු මුදුනෙහි සිට මෙනෙහි කළ යුතුය.
ඊළඟට අනිත් කෙළවරේ ඇති වනගහනයට ඇතුල්වීම මැනවි. හැබැයි වල් ඌරෙක්, හඳුන් දිවියෙක් ඔබට මට එරෙහි විය හැකිය. සිතට බයක් දැනේ නම් කළ යුතු හොඳම දෙය බතලේගල කඳු මස්තකය මත පිහිටි පන්සලට ගොඩවීමය.
හැමට ඉහළින් බුදු හිමියෝ වැඩ සිටිති. උන්වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කළ චෛත්‍යය ද ගොඩනගා තිබේ. බතලේගල කඳු මුදුනටද අවට පිහිටි බොහෝ කඳු මත තැනූ බුදු පිළිම හා චෛත්‍ය පෙනේ. බතලේගලද ඒ අතින් වාසනාවන්තය. බුදු හිමිගේ අනන්ත බුදු ගුණයේ බලය, මගේ රටටම ආශිර්වාදයක් වී මෙහි සිටද දස දෙසටම පැතිරේ.
අප බතලේගලෙන් බැසිය යුත්තේ සාන්ත දාන්ත හැඟුම් ඇතිව ය.
ශාන්ත කුමාර විතාන