සකුරා මල්වාරයට ජපානයේ උත්සව
වසන්තයට තව දුරය. කජු, අඹ, පිරෙන එරබදු පිපෙන ඒ වසන්තය හරිත වසන්තයකි.
මේ පෙබරවාරි මාර්තු සමය වැසි අඩු වියළි පරිසරයක් සහිත කාලවකවානුවකි.
වසන්තය දුර යැයි මා මුලින්ම පැවැසුවේ එබැවිනි. එහෙත් මේ සමයද වසන්තයකි. අපි එය රෝස වසන්තය ලෙස හඳුන්වමු.
රෝස වසන්තය අරන් එන්නේ රොබරෝසියා ගස්ය. කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ මෙන්ම මහර නුවර පාරේ ඇවිද එනවිට මල් දරා රෝස වසන්තය රැගෙන එන රොබරෝසියා ගස් පෙල දැකිය හැකිය. පේරාදෙණිය සරසවියේ ගලහ පාරේ තිබෙන සිය ගණන් රොබරෝසි ගස්වල ලක්ෂ ගණන් මල් පිපී රෝස වසන්තය උදා කරනු ඇත.!
හරිත වසන්තයට පෙරාතුව පරිසරයේ ඇත්තේ වියැලුණු ස්වභාවයකි. තණපත් මැරී දුඹුරු පැහැ ගැන්වුණු පොළවකි. හමන සුළඟට දූවිලි අංශු කෝටි සංඛ්‍යාත ගණනක් අහසට නගී. බොහෝ ගස්වල කොළ වැටී අතු රිකිලි පමණක් දකින්නට ලැබේ. රොබරෝසි ගස් මල් මාල පැළඳගන්නේද අන්න ඒ කාලවකවානුවේදීය. එම නිසා හැම රොබරෝසි ගසකම පාහේ තිබෙන්නේ මල් පමණි!
තනි ගසක් නොව ගස් සිය ගණනක් තිබෙන තැනක නෙත් පිනවන සිත් පිනවන සොඳුරු පරිසරයක් මැවෙන්නේ ඒ නිසාමය!
රොබරෝසි ගස්වල මල් පිපෙන තරමටම ගස් යට ද මල් පලසක් සැදේ. ඒ වැටෙන මල්වලිනි. අද පිපෙන මල හෙට නැත්නම් දවසකින් දෙකකින් බිම පතිත වන බැවින් ගස් යටද මල් පලසක් මැවෙන හැටි අපූරුය!
සියල්ලටම වඩා නෙත් සරසන දසුන වන්නේ රොබරෝසි මල් වැස්සය! ගසක් හැර යන මලක් හාද වන්නේ සුළඟ සමඟය. සුළඟේ වෙලී පාවී යන මල අන්තිමේදී පොළව මත පතිත වී ගිමන් නිවන්නට පටන් ගනියි. කවියකුට ගීත රචකයකුට මේ මල් ප්‍රේමය හා සම කරන්නට සිතුණොත් එහි කිසිම අරුමයක් නැත.
ඇත්තෙන්ම ගසක් හැර යන මලක් යනු සංවේදී කාරණාවකි. මලක් පුබුදුවන්නට ගසක් කොයිතරම් නම් වෙහෙස විය යුතුද? එපමණ දුක්විඳ පුබුදුවන මල ගස අතැර සුළඟට පෙම් බඳියි. අන්තිමේදී සුළඟේ වෙලී සතුටින් පියඹයි. එහෙත් අවසන ඒ මලට උරුමවන්නේ මහ පොළොවයි. පොළව මතදී බොහෝ විට කාගේ හෝ සපත්තුවකට පෑගී තැලී පොඩිවී මියැදෙන්නට සිදුවෙයි.
ඒ නිසා අප මේ මලක් දෙස බැලිය යුත්තේ සිත පහන් කරගත් සතුටකින්ද දුකකින්ද යන්න සිතා බැලිය යුතුය.
ඒ කෙසේ වුවත් මල් දැකීමෙන් නෙත සිත පහන් වේ. එනිසාම මලින් බර වූ රොබරෝසියා ගසක් රෝස වසන්තයක තිර ඇර දෙයි.
රොබරෝසියා ලංකාවට ආවේණික ගසක් නොවේ. දකුණු ඇමරිකානු රටවල හැදෙන වැඩෙන ගසකි. එහෙත් අද ලංකාව මැලේසියාව ඇතුළු බොහෝ රටවල රොබරෝසියා ගස් දැකිය හැකිය. ඒ ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ ලංකාවට ගෙනැවිත් රෝපණය කළ බැවිනි.
අපට රොබරෝසියා, ජපානයට සකුරා වැනිය. ජපන් රටේ නම් සකුරා මල් සමඟ වෙනම සංස්කෘතියක් ගොඩනැගී ඇත. එරට මුල්ම සකුරා මල පිපෙන්නේ හොකයිඩෝ දූපතෙනි. ඒ පළමු සකුරා මල පිපීම, පුවත් මවන කාරණාවකි. බොහෝ රූපවාහිනී ආයතන පළමු වැනි සකුරා මල පිපීම සුවිශේෂ ප්‍රවෘත්තියක් ලෙස වාර්තා කරන්නට පුරුදුවී තිබේ. ඒ තරමටම සකුරා යනු ජපන් සංස්කෘතියට බද්ධ වූ අංගයකි.
සකුරා මල් බලන්නට යෑමද ජපන් වැසියන්ගේ අපූරු පුරුද්දකි. එරට තිබෙන සකුරා උයන්වලට එක් රොක්වන සෙනඟ කමින් බොමින් ගී ගයමින් සකුරා වසන්තයේ මිහිර විඳ ගනිති. ජපානයේ හැම නගරයකම පාහේ සකුරා උයනක් තිබේ. ඒ උයන්වල සකුරා උත්සවද පැවැත්වේ. පුරා සතියක් තිස්සේ පැවැත්වෙන මෙම සකුරා උත්සවය වෙනුවෙන් උයන් වෙත දෙන කලඑළිය අපූරුය. පහන් කූඩු දල්වා සකුරා ගස්වල එල්වා අමුතු වෙසක් මවා පායි. මොන තරම් සුන්දරද? මල් වාරයක් වෙනුවෙන් බිහිවුණු එවැනි අපූරු සංස්කෘතියක් ගැන හිතන්නටවත් හැකිද?
එහෙත් අපේ රොබරෝසියා මල් වාරයට එවැනි විචිත්‍රත්වයක් එක්වන්නේ නැත.
ඇත්තම කිව්වොත් අපේ රටේ මල් බලා සතුටුවන මානසිකත්වයක් නැත. ඇත්නම් ඒ පෙම්වතුන්ගේ සිත් සතන්වල පමණි. පෙම්වත්තු රොබරෝසි ගස් සෙවණේ වාඩිවී අනාගත සිහින විමන් ගොඩනගති. ඒ සිහින බිඳී ගිය කල්හි විරහ ගී මුමුණති.
රොබරෝසියා සෙවණේ ඉඳන්
ඔබ කී කතා සුළඟේ ගිහින්
හිනාවෙන හැම මලක් ගානෙම
මම ආදරෙහි කීවත් ඉතින්
කරුණාරත්න දිවුල්ගනේ ගයන ගීතය මෙන්ම
රොබරෝසියා මල් තැලී පොඩිවී
පරවෙලා ගියදෙන්
නුවර වැව රවුමේ
ඉඳිමි මම තනියෙන්
උදයංගනී ඉෂාරා ගයන ගීතයද ලියැවෙන්නට ඇත්තේ ඒ අනුවය.
රොබරෝසියා මල් සඳහා ලංකාවේ වඩාත්ම ප්‍රසිද්ධම තැන පේරාදෙණි සරසවියය. ගලහ පාරය. සකුරා මල් වසන්තය දකින්නට ජපන් වැසියන් යන අයුරින් ඔබත් රොබරෝසි මල් බලන්නට යනවා නම් යා යුත්තේ ගලහ පාරටය.
ලංකාවේ තව තව තැන්වල රොබරෝසි ගස් කොයි තරම් තිබුණත් ගලහ පාර තරම් ලස්සන රෝස වසන්තයක් ලංකාවේ වෙන කොහේවත් නැත.
ශාන්ත කුමාර විතාන