වළාකුළු යට සැඟවුණු සුන්දර ලෝකයක්
ජීවිතේ සමහර තැන් තියෙනවා ගමන දුෂ්කර වුණත් කටුක වුණත් ඒ සුන්දරත්වය විඳින්න යන්නම හිතෙන.
ලංකාවේ ලස්සනම තැන් සොයාගෙන යන අපේ Travel එකෙන් මේ පාර අපේ කඳවුරු රාත්‍රිය ගත කරන්න තෝරා ගත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ නකල්ස් රක්ෂිතයේ උඩුදුම්බර කලුගල පිහිටා තිබෙන ලංකාවේ ලස්සනම දිය ඇලි වලින් සුන්දරම දිය ඇල්ලක් වන ගැරඬි ඇල්ල.
ගැරඬි ඇල්ල කියන්නේ කඳු නගින්න campping කරන්න යන්න ලංකාවේ තියෙන තවත් ලස්සනම සුන්දරම තැනක්. විශේෂයෙන් කඳු නගින්නන් අතර ආකර්ශනය දිනාගත් නකල්ස් රක්ෂිතයේ පිහිටා තිබෙන ගැරඬි ඇල්ල දිය ඇලි දාමයක විශ්මිත නිර්මාණයක් කිවහොත් නිවැරදියි. මේ දාමයට දිය ඇලි 7ක් එකතුවීම විශේෂත්වයක් වගේම ඒ දිය ඇලි දාමයන් වල ඇල මුදුනට වෙන් වෙන් වශයෙන් ඇවිද යාමට හැකියාව පවතිනවා. මෙම දිය ඇළි දාමයේ උසින් ගත්කල එය ලංකාවේ උසම දිය ඇල්ල වන බඹරකන්ද දිය ඇල්ලට වඩා වැඩි බවද මූලාශ්‍රවල සඳහන් වෙනවා.
කොටස් වශයෙන් කඩා හැලෙන මෙම දිය ඇල්ලේ උස මීටර් 200-240ක් අතර වුවත් තනිදිය ඇල්ල ලෙස සැලකුවහොත් එක් එක් දිය ඇලිවල උස මීටර් 100 වඩා අඩුයි. මෙම දිය ඇල්ල ලිස්සා යන ආකාරය සර්පයකුට සමානවීම නිසා ගැරඩි ඇල්ල ලෙස අතීතයේ සිට හඳුන්වනවා.
ගැරඹි ඇල්ල හා බැඳුනු බොහෝ ඉතිහාස කතා අතර මෙම දියඇලි මුදුනෙහි තිබූ නිධානයක් රැක්ක ගැරඬියකු නිසා ගැරඬි ඇල්ල ලෙස නම පටබැඳුණු බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.
මීදුමෙන් බරවූ උඩුදුම්බර මිටියාවතේ පිහිටි සුවිශේෂී පිහිටීම නිසාම හරිම ඉක්මනින් වෙනස් වන කාලගුණයක් අත්විඳිය හැකියි. මොහොතකට පරිසරය පැහැබර වී දැඩි රශ්මියක් පතිත වුවද ක්ෂණයකින් ගණ මීදුමෙන් වැසී යමින් සීතල දේශගුණයක් මවයි.
මහනුවරින් ගමන් ආරම්භ කරපු අපේ කණ්ඩායමට මහනුවරින් මහියංගණ බස් රථයක උඩුදුම්බර නගරයට පැය කිහිපයකින් ළඟාවීමට හැකියාව ලැබිණි. අපේ කඳවුරු රාත්‍රියට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය උඩුදුම්බර නගරයෙන් එකතු කරගෙන කඩිමුඩියේ අපි ගොඩවූයේ කලුගල බස්රථයට . උඩුදුම්බරින් කලුගල ගමට බස් යෑම නිතරම නැති නිසා උඩුදුම්බර නගරයේ සිට කලුගල ගමට ත්‍රිරෝද රථයක යෑමේ පහසුවද තිබේ.
ඒ වගේම මේ ගමනේදී ලංකාවේ තවත් අමුතුම දිය ඇල්ලක් වන තලගුණේ ඇල්ලද දැක ගැනීමේ හැකියාව ලැබෙනවා. කලුගල බස් රථයෙන් 15km පමණ ගෙවාගෙන ආපු අපි දඹගහපිටිය හන්දියෙන් කලුගල කියන සුන්දර ගමට සේන්දු වුණා.
මාස ගණනක්ම වර්ෂාවක් නොමැති වීමෙන් ඇතැම් තැන්වල තිබූ කාෂ්ඨක බව නිසාම අප දුක් වූයේ සැබෑ සුන්දරත්වය දැක ගන්නට නොහැකිවේය යන සිතුවිල්ලෙනි. ගැරඬිගල ගම්මානයට පිවිස ප්‍රධාන මාර්ගයේ සිට 5km පමණ දුරක් අතුරු මාර්ගය ඔස්සේ ගෙවා ගොස් කඳු පාමුලට ලඟාවිය හැකියි.
ගලේ බණ්ඩාර දෙවියන්ගේ පිහිටෙන් කන්ද තරණය ආරම්භ කළ අපට මහළු වියේ පසුවන ගැමියන්ගෙන්ද ලැබුණේ ඉතා ආදරණීය අශිර්වාදයක්.
අනේ මගේ දෙයියෝ මාස ගාණකින් ඊයේ රාත්‍රියේ යාන්තං වැහිපොදක් වැටුණා. මයේ දෙයියලා ටික පරිස්මෙන් උඩට ගාටන්න ඕන. ගල්වලට පය තියෙන්නේ පරිස්සමෙන්. කන්දේ දෙයියෝ මගේ පැටව් ටික ආරක්ෂා කොරාවි. එහෙනම් උඩට ගිහින් මටත් ඇහෙන්ට හූවක් දෙන්නකෝ.
බලාපොරොත්තු නොවූ ඒ ආදරය පිරුණු වචන ටික අප කණ්ඩායමට මහත් අස්වැසිල්ලක් විය. ඇය පමණක් නොව ඒ ගමේ සියලුම දෙනාගේ ඒ වචන භාවිතය අපේ හදවත්වල ආදරය ලැගුම් ගත්තා.
කෙමෙන් කෙමෙන් රූස්ස ගස් මතින් කන්ද ඉහළට නගින අපිට හමුවූ ගැරඬි ඇල්ලේ දිය පහරවල් ගතේ විඩාව දුරු කළේය.
ගැරඬි ඇල්ල තරණයේදී හමුවන අසීරුම ස්ථානය ගල් බොක්ක කඹ ආධාරයෙන් තරණය කළ යුතු ඉතා අසීරුම ස්ථානයයි. ගමනේ ඉතා අසීරුම ස්ථානයට ලඟාවීමත් සමග අපට මුහුණ දීමට සිදුවූයේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ධාරාණිපාත වර්ෂාවකටය.
වර්ෂාව මදක් තුරල් වූ පසු කඹයේ එල්ලී ගල් දෙබොක්කාව තරණය කළේ මරණ බිය අතින් ගෙන කන්දේ දෙවියන් සිහි කරගෙනය. දෙදෙනකුට මාරු වෙන්නවත් ඉඩන් නැති ගල් දෙබොක්කාවෙන් බෑග් ටෙන්ට් එක්ක ගල තරණය කිරීම වෙනමම අත්දැකීමකි.
ඇඟට ලේ ටිකක් ඉනුවේ සියල්ලන්ම ගල් දෙබොක්කාව තරණය කළ පසුවය. ඉන්පසු අපි කඳුමුදුනට ළඟාවීමු.
බලාපොරොත්තු වූවාට වඩා දැඩි බෑවුම් සහිත අසීරු මාර්ගය දුෂ්කර වුවත් මීදුමෙන් පිරුණු ගැරඩිගල කන්ද මුදුනට ගිය විට දැනුණේ කියා නිම කරන්නට බැරි සතුටක් වගේම ගතට දැනුණේ අපූරු වූ අශ්වාදයකි.
අංශක 80 කඳු බෑවුමකින් පිහිටා තිබෙන ගැරඬි ඇල්ල තරණය කිරීම හිතපු තරම් සුන්දර නැතත් මා තරණය කර ඇති කඳු අතුරින් සුන්දරම කඳු තරණය ගැරඬි ඇල්ලයි.
කෙහෙල්පන්දෝරුව, යහන්ගල, මීමුරේ, ලකේගල ඇතුලු සුන්දරත්වයේ පරතෙරටම ගිය සොබාව සෞන්දර්යන් දායාද රැසක් දරාගෙන සිටින මේ උඩුදුම්බර අහස යට සැඟවුණු ගැරඬි ඇල්ල සැබැවින්ම දෑස්වලින් විඳිය යුතු අතිශය මනරම් රමණීය දර්ශනයකි. ගැරඬිගල ඇලි දාමයේ ඇලි සියල්ලම ඉතාම රමණීයයි.
ගැරඬි ඇල්ල තරණය කිරීමට සුදුසුම කාලය වන්නේ පෙබරවාරි අවසානය හා මාර්තු මාසයයි. වර්ෂා කාලයේදී ඇල්ල තරණය කිරීම ඉතාම අසීරු වන අතරම කූඩැල්ලන්ගෙන් එල්ල වන ප්‍රහාරයන්ද අඩුවක් නැත. ගැරඬිගල කඳු මුදුනට පෙනෙන කඳු අතර දුම්බානගල, බළල්ගිර, යහන්ගල, කෙහෙල්පත් දොරුවේගල මනරම්ව දැකගත හැකිය. මෙම කලුගලට පිහිටි තවත් සංචාරක ඉසව්වක් වන්නේ යහන්ගල කඳු මුදුනයි.
කටුක වගේම සුන්දර අත්දැකීම් සමුදායක් සමග කඳු තරණයට, පරිසරයට, දියඇලිවලට ඇලුම් කරන්නට ගැරඬි ඇල්ල කදිම අත්දැකීමකි.
ඉඳහිට අයිස් කැට මෙන් ඇදහැලෙන වැහි බිංදුත්, සුළඟත්, දැඩි සීතලත් ගැරඬි ඇල්ල කඩාහැලෙන නැවුම් හඬත් අපේ කඳවුරු රාත්‍රියට එක් කළේ අමුතුම මිහිරියාවකි. වලාවන් යට සැඟවුණු ලෝකයක විචිත්‍රවත් සිතුවමක් කඳු මුදුනේ සිට නැරඹීමට අප කණ්ඩායම වාසනාවන්ත වූයෙමු. සීතල කඳු මුදුනේ හිරු උදාව උණු කෝපි කෝප්පයක මිහිරට බද්ධ වූ විට දැනුණේ අපූරු වූ ආශ්වාදයකි.
තෙරක් නොපෙනෙන අනන්තයක තනිවීමට නම් අනිවාර් යෙන්ම පැමිණිය යුතු ස්ථානයක් ලෙස ගැරඬි ඇල්ල හැඳින්විය හැකිය.
විශේෂයෙන්ම කඳවුරු බැඳීමට එන පිරිස කන්ද උඩට මේ ද්‍රව්‍ය රැගෙන යන උනන්දුවෙන්ම ගමන නිම වූ පසු හිස් ටින්, පොලිතින්, බෝතල්, ඉටිකොළ නැවත කන්ද පහලට රැගෙන ඒමට වග බලා ගන්නේ නම් විඳින්නට පරිසරය අපට ඉතිරි වනු ඇත. එසේ නොවන්නේ නම් ගැරඬි ඇල්ල ද සංචාරකයන්ට තහනම් වන දවස වැඩි ඈතක නොවනු ඇත. විශේෂයෙන් ජල මූලාශ්‍ර අපවිත්‍ර කිරීමෙන් වලකින්න. ගැරඬි ඇල්ල අප රැකගත යුතු සොබාව සෞන්දර්යයේ විශ්මිත නිර්මාණයකි.
ගමනට ලොකු සහයක් ලබාදුන් නලින් එරන්ද,විශ්ව ලක්ෂිතට විශේෂ ස්තූතිය.
නදීශා අතුකෝරළ