වේරගල යක්ෂයා අරක්ගත් මහ වැව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කෘෂිකාර්මික පුරවරයක් වන කන්තලේ සතු විශිෂ්ටතම සම්පත කන්තලේ මහා වැවයැයි කීම අතිශයෝක්තියක් නොවේ.
ත්‍රිකුණාමල පාර අද්දරට වන්නට කන්තලේ ප්‍රදේශයේ පිහිටි මෙම වැව පසුකර යන්නෙකුට, එතැන නොනැවතී වැව පසුකර යන්නට හිත් දෙන්නේම නැත.

වියලි කලාපය බැවින් දැඩි හිරු රැස් වැටෙන වැසි අඩු මේ ඉසව්ව ගතට දාහය එක්කරන බව කිවයුත්තක් නොවේ. එහෙත් ඒ සියලු දාහයන් නිවන්නට මේ විසල් වැවේ දියකඳ සිපගෙන හමන සුළඟට පුළුවන. එනිසාම කන්තලේ වැව ඇස ගැටෙන විටම එතැන පසුකර යන ඕනෑම කෙනෙකුට එතැන නවතින්නට සිතේ.

නෙත් මායිමේ කෙළවර දක්වාම සුනිල ජල තලයක් පමණක්ව පෙනෙන කන්තලේ වැව, ඒ තරමටම විශාලය. කොටින්ම වැව මැදට ගිය විට එහි දෙකෙලවරවල් නොපෙනෙන තරම්ය.

මේ සුවිසල් වාරිකර්මාන්තය කාගේ නිර්මාණයක්දැයි වැව දෙස බලා සිටින විට හිතට නැගෙන පැනයයි. අනුරාධපුර යුගයේ රජ කෙනකුගේ බව ප්‍රශ්නයට පිළිතුරකි. එහෙත් ඉතිහාසයේ ඇතැම් තැනක මෙය දෙවැනි අග්බෝ රජුගේ නිර්මාණයක් බවද, තවත් තැනක මහසෙන් රජුගේ නිර්මාණයක් බවද සඳහන්වේ. ඉතිහාසයේ එන එක් මූලාශ්‍රයක සඳහන් වන්නේ එවකට මේ ඉසව්ව වේරගල නම් යක්ෂ ගෝත්‍රික පාලකයකු යටතේ පැවැති බවයි. මහසෙන් රජු ඔහු සමග සාකච්ඡා කර, මහා වැවක් තැනවීම ආරම්භ කළේය. ඒ සඳහා යක්ෂ ගෝත්‍රිකයන්ගේ සහයද ලැබී තිබේ.

එකල වැවක් තැනීම යනු සුළු පටු කටයුත්තක් නොවේ. පස් පිඩැල්ලෙන් පීඩැල්ල කපා භාජනවලට පුරවා ගෙන ගොස් වැව් බැම්ම ගොඩනැගිය යුතුය.  මේ සඳහා දහස් ගණන් පිරිසක් වසර ගණනාවක් වෙහෙස විය යුතුය. දහදිය මුගුරු හෙලිය යුතුය. රෑ දහවල් නොබලා වැඩ කළ යුතුය. කෙසේ හෝ අවසන, ඉදිකෙරුණු වැව් බැම්මේ දිග රියන් අටදහසක් පමණ විය. එනම් අඩි දොලොස් දහසකි.
මේ මහා වැව් කර්මාන්තය ආශ්‍රීතව කුඹුරු යායක් අස්වැද්දිණි. මේ කුඹුරුයායේ කොටසක් වේරගල යක්ෂ නායකයාට පවරන ලද්දේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රයෝජනය පිණිසය. කෙසේ වෙතත් මේ කුඹුරු යායේ වැඩි කොටස රජතුමා, බුදුසසුන උදෙසා පූජාකරනු ලැබිණි. එනිසාම මේ ප්‍රදේශයට දන්තලාව යන නම ලැබිණි. කාලයාගේ ඇවෑමෙන් දන්තලාව, ගන්තලාව බවට ව්‍යවහාර කෙරිණි. ඉංග්‍රීසි පාලකයන් ගන්තලාව කන්තලාව බවට නම්කර අන්තිමේදී කන්තලේ බවට ව්‍යවහාර කරන්නට විය. එනිසා අද මේ ඉසව්ව කන්තලේය.

මේ සුන්දර වාරිකර්මාන්තය දෙස බලා ඉන්නා ඇසිල්ලක වේරගල යක්ෂයා ගැන කියැවෙන ජනප්‍රවාදය සිහිපත් කිරීම ආශ්වාද ජනකය.
වැව් කර්මාන්තයට සහාය දීම වෙනුවෙන් මේ වේරගල යක්ෂයාට අස්වැද්දීම සඳහා කුඹුරු යායක් මෙන්ම වාර්ෂිකව වී තොගයක්ද ලබාදීමට මහසෙන් රජු එකඟ වී සිටියේය. මේ යක්ෂයා මිය ගිය පසුවද භූතයකු වී වැවට හිමිකම් කීවේය ඒ නිසා සෑම වසරකම නිකිණි මස අවපස අවසන් කුජ දින තම පංගුව ලබාගැනීමට මේ භූතයා වැවට ආවේය. ඒ බව දන්නා බැවින් හැම රජකෙනෙකුම යක්ෂයා වෙනුවෙන් පුද පූජා පැවැත්වීම සිරිතක් කර ගත්තේය.

එහෙත් පසු කලෙක ප්‍රාදේශීය පාලකයා වූ කුලක්කෝට්ටන් ආර්සන් මේ පුද පූජා පැවැත්වීම නොසලකා හැරියේය.

අදාළ දවසෙහි භූතයා තම පිරිවරද සමග වැවට ආවත් ඔහු වෙනුවෙන් කිසිම පුද පූජාවක් නොමැති බව දැක කෝපයට පත්විය. සිය පා පහරින් වෑ කන්දට පහරදුන් ඔහු වෑ කන්ද කඩා බිඳ දැමුවේය. වැව් දිය ගලාගියේය. දහසක් කෙත්වතු පාළු විය. ගෙවල් දොරවල් යටවිය. හරකාබාන වැව් වතුරේ ගසාගෙන ගියේය. මුළු වැව් ගම්මානයම විනාශ විය. අර්සන් තම සෙනඟ යොදවා යලි වැව් බැම්ම පිළිසකර කරන්නට පටන් ගත්තේය. එහෙත් බොහෝ වෙහෙස විඳ තනන වැව් බැම්ම රාත්‍රියේදී යකුන් පැමිණ විනාශ කර දැමුවේය. දින කිහිපයක්ම මෙසේ සිදුවේද්දී අර්සන්ට සිදුවූයේ නැකැත් ඇදුරන්ගෙන් උපදෙස් පැතීමටය.

ඔවුන්ගේ ඔවදන් වූයේ මහා යාගයක් පවත්වා රජුට ලේ නෑකම් ඇති දැරියක බිල්ලට දී භූතයාගේ හිත දිනාගත යුතු බවය. යාගය ගැටලුවක් නොවිණි. එහෙත් රාජ ලේ ඇති දැරියක බිල්ලට සොයා ගැනීම දුෂ්කර කටයුත්තක් විය.

වැව බිඳී ගියෙන් අස්වැද්දූ කුඹුරු යාය විනාශ වී අස්වනු හිඟවී රට සාගතයක් කරා ගමන් කළේය. වැසියෝ රජ මැදුර වට කළේය. ඉක්මන් කර යාගය නොපැවැත්වුවහොත් රජ මැදුරට ගිනි තබන බවත් මුළු රජ පවුලම භූතයාට බිල්ලට දෙන බවත් තර්ජනය කරමින් කියා සිටියහ. අන්තිමේදී අර්සන් රජුගේ නැගෙනියගේ දියණියක, බිල්ලට දෙන්නට තීරණය කෙරිණි.

මහා යාගය ඇරඹිණි. පියවරෙන් පියවර ඇරඹි යාගයේදී භූතයාගෙන් සමාව ගෙන ඔහු වෙනුවෙන් දැරිය බිලිදුන් පසු මහා වැස්සක් ඇද වැටී එතෙක් පැවැති දිගු නියඟය නිමාවට පත්විය. යාගය බලන්නට පැමිණ සිටි බොහෝ දෙනා සමග අර්සන් රජුද ඒ වැස්සට, වැස්සෙන් හටගත් මහා වතුරට බිලිවී මියගොස් තිබිණි. ඉනික්බිති රජරට රජුගේ මූලිකත්වයෙන් වැවේ වෑකන්ද යළි පිලිසකර කෙරිණි. වැව අද්දර සිට වේරගල භූතයාගේ හපන්කම් හා නොපනත්කම් සිහිපත් කරද්දී හිතට කිසියම් බියක්ද දැනේ. ඒ භූතයා අදත් අවුරුද්දකට වතාවක් එක් බිල්ලක් වත් ගන්නා බවට විශ්වාසයක් ඇති බැවින් බොහෝ දෙනා කන්තලේ වැවට බහින්නේවත් නැත.

මේ වේරගල යක්ෂයා අදත් වැව මැද ඇති කොක්ගල යට නිදන බව ජනතාවගේ විශ්වාසයයි. ඔහු වෙනුවෙන් වාර්ෂිකව පූජා පවත්වා ඔහු සතුටට පත්කරනවා. වැවේ ආරක්ෂාව සහතික කර ගැනීමත් වැස්ස ප්‍රාර්ථනා කිරීමත් ප්‍රදේශවාසීහු සතුටින් කරති.

ඉතිං අපේ ඇස් මොහොතකට කොක්ගල වෙත යොමුකළ යුතුය. ඒ වේරගල යක්ෂයා දැකගන්නට නොවේ. එහි මතුපිට ඇති කොකුන් දියකාවුන් දැක බලා ගැනීමටය. යක්ෂයා නිදන්නේ කොක්ගල යටය සමහරවිට ඔහු අවදි වන්නේ වසරකට එකම එක දවසක් විය හැකිය. ඒ නිකිණි මස අවපස අවසන් කුජ දිනයේදීය.

යක්ෂයා නිදා සිටියද කන්තලේ වැව නිදියන්නේ නැත. එහි ජල කඳ හැම මොහොතකම රැලි සරැලි නගමින් වෑ කන්දේ හැපෙයි. ඒ දසුන අපූරුය.

බැලූ බැල්මට හිතෙන්නේ මෙය වැවක් නොව මුහුදක් කියාය. එහෙත් වැව වටේටම පෙනෙන කඳු පංතිය නිසා අපේ හැඟීම් වෙනස් වෙයි. මුහුදක් නම් කඳු යායකින් වට වන්නට නොහැකිය. කඳුයාය අවට මහා තුරු සමුදායක් සහිත වන රක්ෂිතයක්ද වේ. එය මේ වැවට ජල පෝෂකයකි. එහි  වෙසෙන සතුන් බොහෝ සන්ධ්‍යාවන්හි සහ රාත්‍රීන් හි වැවට බැස දිය බොන හැටි වැවට එක්වූ අමතර සුන්දරත්වයකි.