මහනුවර නගරයේ සොඳුරු නවාතැන
මදුරාසි වෙරළ තරම් ලස්සන හිත බැඳි අන් කිසිවක් වෙන්කත රෙංගම්මාල්ට තිබුණේම නැත. දන්න දවසේ පටන් උදේටත් හවසටත් සඳ පෑයු ඇතැම් රාත්‍රීන්ටත් ඇය දිවගියේ වෙරළටය. ඇතැම් දවසක සංසුන් වුවත් තවත් දවසක වියරු ලෙස වෙරළට කඩා වැදෙන රළ ගෙඩි වෙරළේ හැපී බිඳී ආපසු යන්නේ කිරි කප්පරක් හැලුණු කලෙක මෙනි. ඉතින් රෙංගම්මාල්ට මුහුද නිකම්ම මුහුදක් නොවේ. කිරි මුහුදකි.
ලංකාවේ රජුට බිසවක වී යන්නට කලිනුත් ඇය ඇගේ නිවෙස අද්දරට හඬා වැටුණු මුහුද බලන්නට වෙරළට දිව ගියාය.
එදා මුහුද පමණක් නොව රෙංගම්මාල්ද හඬා වැටුණාය.
මට ඔයා දාලා යන්න දුකයි.
ඇය කීවේ මුහුදටය.
මොහොතකින් වෙරළට දිව ආ රැල්ල බිඳී විසිරී ගියේ වෙරළ මත ලස්සන සිප්පි කටු දෙකක් ඉතිරි කරමිනි. එය අහුලා ගත් රෙංගම්මාල් ආපසු ගෙදර ගියේ ලංකාවට යන ඉරණම් ගමන පිණිසය.
ලංකාවේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට බිසවක වූ ඇය අර සිප්පි කටු දෙක එල්ලා මාලයක් හදා ගත්තාය. ඒ සිප්පි මාලය ඇගේ ලය මත රැඳෙමින් මදුරාසි මුහුදේ සුන්දරත්වය හැමදාටමත් සිතේ ඉතිරි කළාය.
මට කිරි මුහුදක් හදලා දෙන්න.
රෙංගම්මාල් දවසක් තම පෙම්බර සැමියාට පැවසුවාය.
මුහුදක්? මේ රට වටේම තියෙන්නෙ මුහුදක් තමා. මම ඒ මුහුද බලන්න ඔයාව එක්කරගෙන යන්නම්. රජු කීවේය.
එහෙම නෙවෙයි. මට හැමදාම යන්න පුළුවන් දුරකින් මුහුදක් හදා දෙන්න. රෙංගම්මාල් කීවාය.
මුහුදක් නොවේ. රෙංගම්මා. අර ලස්සන වැවක් තියෙන්නෙ බෝගම්බර. ඔබ ඔබේ පරිවාර කාන්තාවන් සමග එහි යන්න.
ඒ වැව තියෙන්නෙ දුරක. මට ඕනෑ ළඟම ළඟින්. අර වගුරු බිම මුහුදක් බවට හරවන්න ඔබට පුළුවනි.
රෙංගම්මාල් කීවේ දළදා මන්දිරයට ඔබ්බෙන් වූ ටිගොල්වෙල පෙන්වමිනි.
කලින් සරුසාර කුඹුරු යායක්ව පැවැති ටිගොල්වෙල ඒ වනවිට පැවැතියේ නිසරු ගොහොරුවක් ලෙසය. උඩ වාසල කැලයෙන් ඇරඹෙන සිහිල් දිය කඳුරකින් ලැබෙන වතුර නිසා නිතරම ගොහොරුවක් වූ මිගොල්වෙල, කිරිමුහුදක් නැත්නම් වැවක් බවට හැරවීමේ වරදක් ඒ මොහොතේ රජුට නොපෙනිණි. එහෙත් එය කළ හැක්කක් දැයි රජ වාසල මූලාචාරීගෙන් විමසිය යුත්තකි. එනිසාම රජු දේවේන්ද්‍ර මූලාචාරි කැඳවූයේය.
අර ටිගොල්වෙල වැවක් තැනිය යුතුයි.
රජතුමා කීවේය.
ඊට පොඩි දුරකට ඔබ්බෙන් වැවක් තිබියදී තවත් වැවක් කුමකටද දැයි ඔහුටද ප්‍රශ්නයකි.
එහෙත් රජ අණට අකීකරු විය නොහැකි බැවින් ඔහු ටිගොල්වෙල නිරීක්ෂණය කරන්නට ගියේය.
පුළුවනි රජතුමනි.
අන්තිමේදී මූලාචාරියා කීවේය.
එසේනම් වහාම සැලසුම සකස් කරන්න.
රජතුමා පසුදින රාජ සභාවේදී වැව් කර්මාන්තයේ සැලැස්ම ඉදිරිපත් කළේය. එහෙත් අදිකාරම්වරුන්ගෙන් සමහරක් ඊට එරෙහි වූහ.
ටිගොල්වෙල ඉතා සැරුසාර කුඹුරු යායක්ව පැවැතුණා. එය යලි අස්වැද්දිය යුතුයි. ඊට පහලින් තවත් වැවක් තිබෙන බැවින් අලුත් වැවක් තැනීම නිශ්ඵල කාර්යයක්.
මහාදිකාරම පැවසුවේය.
එවැනි වැවක් අගනුවර ලස්සන කරාවි මහාදිකාරම.
රජතුමා කීවේ සංසුන්වය.
එහෙත් මහාදිකාරම නොසංසුන්ව සිටියේය.
පහත රට ඉංග්‍රීසීන් උඩරට රාජධානිය ආක්‍රමණය කිරීමට සැරසෙද්දී අප මෙහි වැවක් තැනීම අනුවණ ක්‍රියාවක්.
මහාදිකාරම යලි කීය.
එහෙත් රජතුමා මීගස්වත්ත අදිකාරම්ට වැව් කර්මාන්තය බාරදී රාජ සභාවෙන් නික්ම ගියේය.
උඩරට රාජධානියේ නිල නොලත් පාලකයා වීමට ප්‍රාර්ථනා කළ මහාදිකාරම කෝපයෙන් දැවුණේය.
එසේ වුවත් ටිගොල්වෙල වැව් කර්මාන්තයේ වැඩ කටයුතු ලහි ලහියේම ඇරඹිණි. රාජකාරි පංගු ක්‍රමයට රාජධානියේ වැසියන් පැමිණ වැව් කර්මාන්තයේ යෙදිය යුතු විය. ඒ සඳහා වැටුප් ගෙවීමක් හෝ ආහාර පාන ලබාදීමක් සිදු නොවිණි.
මේ වැව් කර්මාන්තයට මල්වතු විහාරයේ නාන පොකුණක්ද බෝධි වෘක්ෂයක් ද යට වීමේ අනතුරක් තිබිණි. එනිසා මල්වතු විහාරයේ හිමියන්ද මේ කටයුත්තට එරෙහි වූහ. උන්වහන්සේ පැමිණ වැව හදන මිනිසුන්ට ආපසු යන්නයි කීහ.
රජු අණට වඩා මල්වතු හිමියන්ගේ අණට අවනත වූ මිනිස්සු ආපසු ගියහ.
එහෙත් සිදුවූයේ ඛේදවාචකයකි. රජ අණට පිටුපෑ සියලු දෙනාටම මරණ දඬුවම පැනවූ රජතුමා මල්වතු විහාරයේ නාන පොකුණ සහ බෝධි වෘක්ෂය වැවෙන් මුදා හැරියේය. නාන පොකුණ වඩාත් අලංකාර ලෙස ඉදිකර දෙන්නටද ක්‍රියා කළේය.
වසර දෙකක පමණ කාලයක් තිස්සේ ඉදිකෙරුණු වැව් කර්මාන්තය අවසන මහනුවර නගර මධ්‍යයේ සුන්දර වැව් කොමලියක් සිනාසෙන්නට වූවාය.
කිරි මුහුද රජතුමා එයට දුන් නමයි.
කිරි මුහුද දැක අමන්දානන්දයට පත්වූයේ අග බිසවයි.
ඇය කිරි මුහුද සමීපයට වී එහි නැගෙන සියුම් ජල තරංග දෙස ආශාවෙන් බලා සිටියේ සිතින් මදුරාසියේදී දුටු මුහුද මවා ගනිමිනි.
වලාකුළු බැම්මකින් ද ආවරණය වූ වැව වටේම දවසකට දෙතුන් වතාවක් සක්මන් කරන ඇය තම පරිවාර කතුන්ද සමග වැවට බැස දිය කෙළියේ යෙදෙන්නටද ප්‍රිය කළාය.
ඇතැම් දවසක රජතුමා වැව මැද වූ මණ්ඩපයේ සිට බිසෝවරුන්ගේ ජල ක්‍රීඩාවන්ද නැරඹුවේය.
ඉංග්‍රීසින් උඩරට රාජ්‍යයද දිනාගත් පසුව මහනුවර කිරිමුහුද රැක ගත්තේය. ඊට ඔබ්බෙන් වූ බෝගම්බර වැවට ගොඩවන්නට ඉඩ හැරියේය. එහෙත් කිරි මුහුද යුගයෙන් යුගයට මහනුවර නගරයට ලස්සනක්ද වටිනාකමක්ද එකතු කළේය.
අදටත් මහනුවරට යන ඕනෑම කෙනෙක්ගේ නෙත සිත පැහැර ගන්නට මේ සුන්දර වැව් කොමලිය සමත් වේ. දළදා වන්දනාවට යන හැම බැතිමතෙක්ම කිරි මුහුදේ රැලි සරැලි දෙසද ආශාවෙන් බලා සිටිති.
වැව රවුම අද සංස්කෘතිකාංගයක් බවටද පත්ව තිබේ. බොහෝ ගීතවලටද වැව රවුම එකතුව තිබේ. විශේෂයෙන් පේරාදෙනි සරසවිය සහ බැඳෙන ප්‍රේමවෘතාන්තවලටද මහනුවර වැව රවුම ගැටෙයි.
ඒ සියල්ලන්ම පාහේ දළදා වඳින්නට මහනුවරට එන ගමනකදී වැව රවුම වටේම නොගියත් වැව රවුමේ වූ බැංකුවක වාඩි වී පැයක් දෙකක්වත් ගත කරන නිසාය. විශේෂයෙන්ම පෙම්වතුනට වැවරවුම ආශිර්වාදයකි.
මේ වැව රවුම තරම් සුන්දර වූ කිසිවක් මහනුවර නගර මධ්‍යයේ නැත්තේය.
මෙහි බංකුවකට වී සිටින විට දුරින් පිහිටි වේල්ස් උද්‍යානයේ උස් තුරු මුදුන් සුළඟේ සෙලවෙන හැටි පෙනෙයි. තවත් කෝණයකට පෙනෙන්නේ උඩවත්ත කැලේ තුරු හිස් සුළඟට පෙම් බඳින හැටිය.
රොබරෝසි මල් වාරයට වැව රවුමද එකම මල් යායකි. වැටුණු මල් වලින් වැව රවුම පමණක් නොව වැව අයිනද රෝස පාට වී තිබෙන හැටි ලස්සන දසුනකි.
ඒ මල් පියල්ලක් වැව් දියට වැටෙන වාරයක් පාසා වැව් දිය කැලතේ. ඒ මල් පෙත්තේ බරට නොවේ. දිය මත වැටුණේ ආහාරයක් යැයි සිතන මාලුන් වැව් දිය මතට පැමිණීම නිසාය.
කිරිමුහුදේ මාළු රෑන් රෑන් ගැවසෙයි. විලඳ ඇටයක් වතුරට දැම්මොත් එය ගිල දමන්නට පොරකන මසුන් සිය ගණනකි. ඒ හැමෝම එක පොදියට තෙරපෙන හැටි බලා සිටිය යුතුම දසුනකි.
වැව අයිනේ වියලුණු අත්තක ලැගුම් ගත් දියකාවුන්ද වැවට අසිරියකි. උන්ගෙන් සමහරෙක් වැව් දියේ පීනමින් ගොදුරු සොයද්දී සමහරෙක් අතු මතට වී අත්තටු වියලා ගනිමින් සිටී.
පෙලිකන් කුරුල්ලෙක් වැව් දිය මත පිහිනන හැටිද අපූරුය. ඌ හරියටම හංස බෝට්ටුවක් වැන්න.
ඇවසි නම් වැව් දියේ සංචාරයක් යාමටද සංචාරකයකුට පුළුවන. ඒ වෙනුවෙන්ම වෙනම බෝට්ටු සේවයක්ද වේ.
එදා සිංහලේ රජු සිය බිසවට සහ පරිවාර කතුන්ට පමණක් වෙන්කළ කිරිමුහුද අද ඔබටත් මටත් උරුම වී තිබේ.
එබැවින් බොහෝ පෙම්වත්තු තම තුරුලට ගත් පෙම්වතියන්ද සමග වැව රවුමට වී කල් ගෙවද්දී ඉඳහිට බංකුවක තනිවූ පෙම්වතෙක් තනිවූ පෙම්වතියක් අතීත මතකයක සැරිසරන හැටිද පෙනෙයි.
ඔවුන්ගේ මුවගින් ගිලිගෙන බරැති සුසුමක් වැව රවුමේ නිතර ගැවසෙන සුළං රොදකට අසු වී ඈතට ගසාගෙන යන්නේය.
රොබරෝසියා මල් වැටී පොඩිවී
පරවෙලා ගියදෙන්
නුවර වැව රවුමේ
ඉඳිමි මම තනියෙන්
උදයංගනී ඉෂාරා ගායිකාව ගයන්නේ
එකී විරහවයි.
සටහන - ශාන්ත කුමාර විතාන