මාදු ගඟේ සීත දියේ
මිරිදිය හා කරදිය එකට මුසු වූ පරිසර පද්ධතියකට කියන නම කලපුවය. ඉස්සන් හැදෙන වැඩෙන, මසුන්ට ජන්ම භූමියක් වන කඩොලානවලින් පිරුණු කලපුවක් ජලාශ්‍රිත පක්‍ෂීන්ට, කබරගොයින්ට මෙන්ම තවත් බොහෝ සත්ව විශේෂයන්ට සොඳුරු වාස භූමියක් ද වේ. එබඳු කලපු රැසක් ලංකාවේ වෙරළ තීරය දිගටම හමු වේ. දකුණු ලක බලපිටියේ ද එබඳුම කඩොලාන වනාන්තරයක් හමු වේ. එහෙත් එය කලපුවක් නම් නොවේ. ගංගාවකි.
ඒ, මාඳු ගඟයි.
රැම්සා තෙත් බිමක් ලෙස ද නම් කර ඇති මේ සොබාදහමේ සොඳුරු නිකේතනය පුරා ගමන් කළ යුත්තේ බෝට්ටුවකිනි.
එයම අපූරුවකි.
බලපිටියේ ගංතොටින් ලබාගන්නා බෝට්ටුවකින් මාදු ගඟේ එහා මෙහා යාත්‍රා කරමින් දූපත් කිහිපයක සිරි විසිතුරු ද කඩොලාන වනාන්තරයක අසිරිය ද දැක බලාගන්නට ලැබෙන මේ ගමන සෞන්දර්ය චාරිකාවකි.
ඌරගහ, පොල්අතු කන්දෙන් උපත ලබන සීතල දිය දහරට බොරලැස්ස ඇළ, හීන් ඇළ සහ මාගල ඇළෙන් අමතර ජලය එකතු වේ. එසේ සෑදෙන මාදු ගඟ කිලෝමීටර් හත අටක දුරකදී දූපත් සමූහයකින් යුත් සුන්දර පරිසර කලාපයක් නිර්මාණය කරන හැටි අපූරුය.
මාදු ගඟ කී විට, කියැවෙන්නේම දූපත් හැට හතරකින් යුත් පරිසර කලාපයක් ලෙසය. එහෙත් එදා අතීතයේ තිබූ දූපත්වලින් රාශියක්ම මේ වන විට දකින්නට නැත. කුඩා ප්‍රමාණයේ දූපත් හේදී දියවන්නට හෝ ගං දියේ යට වන්නට හෝ ඇත. තවත් සමහර දූපතක් වෙනත් දූපතක් හා යාවන්නට ඇත. හේතුව කුමක් වුවත් මේ වන විට මාදු ගඟේ දූපත් විසි පහකට වඩා දකින්නට නැත. එසේ තිබෙන දූපත්වලින් ද සමහරක් ජනාවාස වී ඇති අතර, වැඩි හරියක් වනයට ගොදුරු වී ඇත.
කුරුදු දූව, නයි දූව, නෙත් දූව, මා දූව, සතපහ දූව, ගල් දූව, තල් දූව, කඩාපාන දූව, පෙරිය මරක්කල දූව, එරවන දූව, මීමා දූව, කිනිය දූව, මියම් දූව, මුවන් දූව, අප්පල දූව ආදී වශයෙන් මාදු ගඟේ ඇති දූපත්වලට නම් ලැබී තිබේ. එසේ වෙතත් බෝට්ටුවකින් යන සංචාරකයකුට බොහෝ විට දකින්නට ලැබෙන්නේ මා දූව, කොත් දූව, සතපහේ දූව, කුරුඳු දූව වැනි ප්‍රධාන දූපත් කිහිපයක් පමණි. පැය දෙක හමාරක පමණ සංචාරයකදී ඊට වඩා වැඩි දූපත් ගණනකට සංචාරකයකු රැගෙන යෑමට බෝට්ටු හිමියකුට හැකියාවක් නැතුවා විය හැකිය. එසේම කියන්නට තරම් හෝ පෙන්වන්නට තරම් විශේෂත්වයක් එම දූපත්වල නොමැතිවා ද විය යුතුය.
බලපිටිය තොටුපොළෙන් ගමන ආරම්භ කරන බෝට්ටු සංචාරයකදී මුලින්ම ඇස ගැටෙන්නේ කොළඹ-මාතර දුම්රිය පාරයි. මාදු ගඟ මතින් වැටුණු මේ දුම්රිය මාර්ගය මාදු ගඟ දෙකට බෙදනවා වැන්න. කෙසේ වෙතත් මේ දුම්රිය පාරට අමතර මුක්කුවක්, මාදු ගඟ මැද ඇති දූපතකින් සැපැයේ. පාතමුල්ල නමින් හැඳින්වෙන මේ දූපත වත්මන ජනාවාස බවට පත්ව ඇත. එනිසාම බොහෝ විට සංචාරකයකුට මේ දූපත මගහැරේ. එහෙත් පාතමුල්ල දූපත විශේෂිත දූවක් වෙයි. රත්මිල්ල ලෙස හැඳින්වෙන දුර්ලභ කඩොලාන විශේෂයක් පාතමුල්ල දූපතේ පැතිර තිබීම නිසාය. මෙම කඩොලාන විශේෂය මාදු ගඟටම පමණක් සුවිශේෂ වූ විශේෂයක් බව ද පැවැසේ. රතු පාට පොකුරු මලකින් අලංකෘත වූ රත්මිල්ල කඩොලාන පරිසරය බොහෝ සතුන්ට රජ දහනකි. විවිධ කුරුල්ලෝ මේ අවට සැරිසරන අතර කබරගොයා වැනි සුවිසල් උරගයන් ද රත්මිල්ල ගස් ගොන්නේ සැරිසරති. වෙන එකක් එපා, උන් මේ ගස් යට පමණක් නොව ගස් උඩට ද නැග සිටිනු දැකිය හැකිය.
ගිං පොල් මාදු ගඟේදී දැකිය හැකි තවත් කඩොලාන විශේෂයකි. ඒවා මාදු ගඟට පමණක් සීමා වී නැති ලංකාවේ බොහෝ කලපු ආශ්‍රිතව දැකිය හැකි කඩොලානයකි. එහෙත්, තාල වර්ගයට අයත් එකම කඩොලාන විශේෂය වන බැවින් මාදු ගඟේ චාරිකාවකදී ගිං පොල්වල ස්වභාවය ද දැක බලා ගැනීම වැදගත්ය. එනිසා පාතමුල්ල දූපතේදීම රත්මිල්ල සේම ගිං පොල් ද දැකගත යුතුය.
පාතමුල්ල හැර යන බෝට්ටුව නීරල දූව සහ වල දූව මැදින් යන්නේ අපව සුන්දරම ලෝකයකට ඇතුළු කරමිනි. තනිකරම කඩොලානවලින් වට වුණු ඉසව්වකින් බෝට්ටුව ගමන් කරයි. හරියටම මෙය කඩොලාන බිම්ගෙයක් වැන්න. වමෙනුත්, දකුණෙනුත්, හිසට ඉහළිනුත් ඇත්තේ කඩොලානය.
මෙතෙක් වේලා හිසට දැනුණු දැඩි හිරු රැස කොහෙන් ගියා දැයි නොදැනේ. ගතට සිතට එක්වරම දැනෙන්නේ සිසිලසකි. ගඟ සිපගෙන හමන පවනකි. කඩොලාන අතර සිටි කබරගොයෙක් බය වී ඉවතට පැන යයි. මොකෙක්දෝ කුරුල්ලෙක් හඬ නගයි.
අපට පෙනෙන්නේ එපමණකි. එහෙත් ගං දියේ අපට නොපෙනෙන ගැඹුරේ ඉස්සන්, මාළුන් බොහෝ වෙසෙති. මේ කඩොලාන පරිසරය ඉස්සන්ගේ පැවැත්මට බොහෝ හිතකරය. මසුන්ගේ බිත්තර රැකෙන්නට ද මේ පරිසරය හිතකර එකකි. එනිසා අපට නොපෙනෙන ගැඹුරේ දිය යට කඩොලාන ඇසුරේ සොබාදහමේ බොහෝ ක්‍රියාකාරකම් සිදු වේ.
එහෙත් අපට ලෝබ සිතෙන්නේ මේ කඩොලාන උමගෙන් නික්ම යන්නට පමණි. තවත් ටික වේලාවක් මේ උමග යට ගිමන් නිවන්නට සිතන විටම බෝට්ටුව යළි එළිපහළියට එයි.
ආයෙමත් දැඩි හිරු රැස...
කුරුඳූ දූවට බෝට්ටුව සේන්දු වේ. ඒ වෙනුවෙන්ම ඉදිවුණු පුංචි ජැටියකි. අතීතයේ සිටම කුරුඳු වැවූ කුරුඳු දූව, මාදු ගඟේ තිබෙන දූපත් අතරින් විශාලත්වයෙන් දෙවැනි තැන ගන්නා දූපතයි. කුරුඳු තලන හැටි ගැන දැනකියා ගන්නට සේම උණු උණුවේම කුරුඳු තේ කෝප්පයක රස බලන්නට ද මෙහිදී අපට හැකි වේ. කුරුඳු තලන හැටි කියා දෙන්නට කුරුඳු දූවේ පදිංචිකරුවන් සූදානම්ය.
නයි දූව, මාඳු ගඟේ තවත් එක් දූපතකි. නාගයන් බහුලව ගැවැසෙන මෙහි වෙනත් සර්පයන් ද සිටී. මාදු ගඟේ මොන දූපතකින් වුණත් නයෙක් සර්පයෙක් මුණගැහුණොත් ඌ අල්ලාගෙන ගොස් දමන්නේ මෙන්න මේ නයි දූවටය. එහෙත් මේ දූපතට නයි දූව යන නම ලැබෙන්නට එකම හේතුව, එයම නොවේ. දුටුගැමුණු රජුගේ එක් බිසවක නාග කාන්තාවක විය. අන්න ඒ බිසව මෙලොවට පැමිණියේ මේ දූවෙන් බව ජනප්‍රවාදයේ සදහන්ය. එනිසාම නාග ලොවත් මේ අපේ මනුස්ස ලොවත් එකිනෙක යා කරන්නේ මේ නයි දූවයි.
මේ ජනප්‍රවාදය නිසාම දුටුගැමුණු රජුගේත් නාග කන්‍යාවකගේත් ප්‍රතිමාවක් මේ දූපතේ ඉදිකර තිබේ.
කෙසේ වෙතත් නයින් බහුල බැවින් මේ දූපතට පා නගන්නත් සීමා සහිතය. හරියටම මේ දූව ද නාග ලොවේ කොටසක් මෙන් දැනෙන හැඟෙන බැවිනි.
සත පහේ දූව මාදු ගඟේ පුංචිම දූපතයි. සත පහේ හැඩය ගත් මේ දූපතෙන් අද ඒ හැඩය ගිලිහී ගොස්ය. රත්මිල්ල ගසකින් සෙවණ සැලසෙන පුංචි දෙවොලක් ද මේ දූපතේ තිබේ. බොහෝ අතීතයේදී ඉදිකෙරුණු මේ දේවාලය ඉදිකරන්නට වියදම් වූයේ ද සත පහක් පමණක් බව ද කියැවේ. කතරගම දෙවියන් වෙනුවෙන් කැප කළ මේ දෙවොලෙන් මාදු ගඟේ ඇති හැම දූපතකටම කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනු නියතය.
මාදු ගඟේ ලොකුම දූපත, මා දූව නම් වේ. පවුල් රැසක් ජීවත් වන, අක්කර දෙසිය පනහකින් පමණ සමන්විත මා දූව, අද වන විට දූපතක්ම නොවේ. ගොඩබිම සිට තැනූ පාලමකින් යා වූවකි. එසේම වෙනම ග්‍රාම සේවා වසමක් ලෙස ද මා දූව සැලකේ. පාසලක්, ඉපැරැණි පන්සලක්, කඩමණ්ඩියක් පවා මෙයට හිමිය.
එසේ වුවත් මාදු ගඟේ තිබෙන දර්ශනීයම පන්සල වන්නේ කොත් දූවේ පන්සලයි. කොත් දූව පුරාවටම ඇත්තේ ද මේ කියන අලංකාර පන්සලම පමණි. පන්සල් ගොඩැල්ලේ සිට කොයි පැත්ත බැලුවත් පෙනෙන්නේ සුන්දර වූ මාදු ගඟම පමණි. දන්ත කුමරුන් හා හේමමාලා කුමරිය දළඳදාව වැඩමවා ගෙන ආ ගමනේදී දින කිහිපයක් මෙම කොත් දූවේ ඉසිඹු ලැබූ බව ජනප්‍රවාදයේ සඳහන් කතාවකි. එසේම කෝට්ටේ රාජධානිය, වීදිය බණ්ඩාරගේ පාලනයට නතුව පැවැති යුගයේදී ද දළදාව මේ කොත් දූවට වැඩමවා වදාල බව කියැවේ. එසේ නම් කොත් දූව යනු දළදා පහසින් පුණ්‍ය තීර්ථයක් වූ භූමියකි. එහෙත් කොත් දූව විහාරස්ථානයක් වූයේ මීට වසර එකසිය හතළිහකට පමණ පෙරයි.
ජැටියේ නැවතුණු බෝට්ටුව දෙපසට සැලෙයි. ඒ සසල වූ ගඟ දිය රැලි දූවේ වදින හැටි නෙත සනසන දසුනකි. සුළඟේ පහස ගත වෙලෙද්දී නෙත කියන්නේ ඉදිරියේ ඇති පඩිපෙළ නැග පන්සල් භූමියට පිවිසෙන්න කියාය.
ඉපැරැණි පන්සලක් වූ කොත් දූවේ සැරිසරා අතීතයේ පුවත් දැන කියාගත් පසුව බුදු ගෙට ගොස් බුදු හිමියන් වැඳ පුදාගත් විට සිතට දැනෙන්නේ පහන් සුවයකි.
ඉනික්බිති එහි බෝධි වෘක්ෂය පාමුලට වී සිටිමු. මාදු ගඟ පිසගෙන හමා එන සුළඟේ සිසිල ගත දැවටෙයි. ඇතැම් දහවලක මා දූවේ ගෙදරක දානයකට වැඩම කළ හිමිවරු බෝට්ටුවේ නැගී කොත් දූව කරා ආපසු එන හැටි දකින්නට ලැබේ.
අතීතයේ දිනෙක කොත් දූව පන්සලේ ආවතේව කළ උපාසක ඇත්තකුගේ ඥාති පුත්‍රයකු කිඹුලකුගේ ග්‍රහණයට අසු විය. මාදු ගඟ කිඹුල් රජදහනක් බැවිනි. ඒ අවස්ථාවේදී මේ උපාසක ඇත්තා රවුම් ගල් දහස් ගණනක් සබ්බ පාපස්ස අකරණං ගාථාවෙන් ලක්‍ෂ වාරයක් මතුරා මාදු ගඟ වටේටම දැමුවේය. එම ගාථා රත්නයේ අානුභාවය තවමත් එලෙසම බැවින් එක කිඹුලෙක්වත් මිනිසකු ගොදුරු කරගන්නේ නැත.
දැන් ඉතින් මාදු ගඟ හැර යන්නට අවස්ථාවයි. මේ ගමනේදී මාදු ගඟේ ජා කොටු ද ඇස ගැටේ. ඉස්සන් වගාවට යොදාගන්නා ජා කොටු අසල දියකාවුන් මුර කරන දර්ශනය ද මනරම්ය.
අපේ බෝට්ටුව ආපසු බලපිටිය බෝට්ටු අංගනයට සේන්දු වේ. මේ අතීතයේ ලියැවුණු බොහෝ සංදේශ කාව්‍යවල ද සඳහන් වූ වැලිතොටයි. අතීත ලංකාවේ ප්‍රමුඛ වරායක් වූ වැලිතොටට ජාවක හමුදාවක් ගොඩබැස්සේය. එවකට රට පාලනය කළේ දෙවැනි පරාක්‍රමබාහු රජුය. ඔහු දේවපතිරාජ ඇමැතියා ජාවක හමුදාවට එරෙහිව වැලිතොටට යැවීය. දේව ප්‍රතිරාජ ඇමැති තම බලසේනාව ද සමග රැඳී සිටියේ මේ වැලිතොටේය. ඉනික්බිති බලපිටිය බවට අලුතින් නම් ලද වැලිතොට තොටමුණෙන් දැන් ඉතින් අපි සමුගනිමු.
එහෙත් මාඳු ගඟ කිසි දවසක අපේ මතකයෙන් ගිලිහී යන්නේ නැත. මාදු ගඟ පිස ගෙන ආ සුළඟ අපේ කම්මුල් මත තැබූ දහසක් හාදුවල පහස සදාකල්හිම මතකයේ රැඳෙනු නියතය.
ශාන්ත කුමාර විතාන