ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
මහනුවර සිට බදුල්ලට ගිය ඔබට වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ අභයභූමිය හමුවූ බව මතකඇති! රන්දෙනිගල, රන්ටැඹේ සහ වික්ටෝරියා යන දැවැන්ත ජලාශයන් මැදිකර ගත් මේ දැවැන්ත අභය භූමිය වීමද විශේෂත්වයකි.
එහි විශාලත්වය හෙක්ටෙයාර් 42,078කි.
දුරාතීතයේ මෙවැනි අභයභූමියක් තිබුණේ නැත. වික්ටෝරියා රන්දෙනිගල හා රන්ටැඹේ යනුවෙන් ජලාශ ත්‍රිත්වයක් තිබුණේ නැත. මේ සියල්ල මහවැලි ව්‍යාපාරයෙන් රටට ලැබුණු දායාදයන්ය.
මෙම ජලාශ නිර්මාණය කරද්දී ඒවායේ මහා ජලධාරාවට යටවූ වනාන්තරය හෙක්ටයාර් දහස් ගණනකි. මේ සොඳුරු වනපෙත තම නිජබිමි බවට පත්කර ගෙන සිටි අලි ඇතුන්, දිවියන්, වල් ඌරන්, මුවන්, ගෝනුන්, හිවලුන් ආදි වූ සතුන් දහස් ගණනකට ඔවුන්ගේ නිජබිම් අහිමි විය.
මේ සතුන්ට ජීවත්වීම සඳහා අලුතින් නිර්මාණය කළ වනපෙත මේ සුන්දර අභයභූමියයි. මහනුවර බදුල්ල මාර්ගයෙන් දෙකට බෙදෙන මේ විසල් අභයභූමිය මධ්‍යම හා ඌව පළාත් දෙකටම අයත් වීමද විශේෂත්වයකි. මේ වනපෙත පෙරකී සිවුපාවුන්ට පමණක් අයත් වූවක් නොවේ. මහ පොළව උන්ගේ වුණත් එහි වැඩුණු පලු, මිල්ල, බුරුත, කිරිකෝලු, වීර, ගම්මාලු, මයිල වැනි වනස්පති ශාකයන්හි හිස් මුදුන් විවිධ පක්ෂීන් සතුය.
මෙහි ගැවසෙන පක්ෂි විශේෂ ගණනින් එකසිය හැටක් පමණ වෙයි. ඒ අතර අළු කෑදැත්තා, මල් කොට්ටෝරුවා, වලි කුකුලා, හබන් කුකුලා, දෙමලිච්චා වැනි මෙරටට ආවේණික පක්ෂීන්ද සුදු රෙදි හොරා, දුඹුරු ඇස්පටියා, අවිච්චියා, අළුහැලපෙන්දා වැනි සංචාරක පක්ෂීන්ද වෙති.
කෙසේ වෙතත් වනයේ අලංකාරය මොනරාය. අන් හැම කුරුල්ලකුම පරද්දන්නට මොනරා සමත් වන්නේ ඌ කුරුලු ලොවේ හැඩකාරයා වන නිසාය. තුරු හිස් මත රැඳුණු මොනරා, සෙබඩ කිරිල්ලියන්ද වට කරගෙන වනපෙත නිරීක්ෂණය කරන හැටි අපූරුය.
බොහෝ විට ඌ බලන්නේ දිවියකු ඉන්නවාද කියා විය යුතුය.
මගේ මතකය දිව යන්නේ ඉන්දියානුවන්ගේ මොනර දඩයම පිළිබඳව ලියැවුණු සිද්ධියකටය. දිවියාගේ ලප වැටුණු සම මෙනරා විශ්මයට පත් කරන්නකි. එනිසාම දිවියකු දුටු විට මොනරා හිටිතැන ගල් වී උගේ රූපා ලංකාරය නරඹන්නට පෙළඹේ. මේ නිසා ඉන්දියානු දඩයක්කරුවන් කරන්නේ දිවි සමකින් සිරුර වසාගෙන හතර ගාතයෙන් මොනරා වෙත කිට්ටු වීමය. මොනරාට බොහෝ සේ සමීප වූ පසුව අතවූ අවියෙන් මොනරා මරාගැනීමට මේ දඩයක්කරුවන් දක්ෂයන්ය.
ඉතින් තුරු හිස් මත නැගී මොනරුන් දසත බලන්නේ නෙතට රසඳුනක් වන දිවියකු අත්දැයි කියා විය යුතුය.
මොනරා ළඟට වනයේ වෙසෙන දැවැන්ත පක්ෂියා අළු කෑදැත්තාය. තුරු මුදුන්හි රංචු වශයෙන් ගැවසෙන කෑදැත්තන්ගේ හඬද, මොනරාගේ හඬ මෙන්ම අමිහිරිය! දෑකැත්තක් බඳු දිගු හොටක් සහිත කෑදැත්තා යනු කුරුලු ලෝකයේ වෙසෙන වෙනස්ම සංස්කෘතියකට උරුම කියන කුරුල්ලෙකි. උන් බිත්තර දමන්නේ ගස් බෙනවලය. බිත්තර දැමූ පසු කිරිල්ලි මේ බිත්තර රකින්නේ අප්‍රමාණ කැපවීමකිනි. ඇය මොහොතකටවත් බිත්තර මතින් ඉගිල යන්නේ නැත. මොහොතකට හෝ ඉගිල යන්නට සිතේදෝයි හිතේ ඇතිවන බය නිසාදෝ කිරිල්ලිය බිත්තර රකින්නට පටන්ගත් පසු කුරුල්ලා උගේ බෙනයේ කට වසා දමයි. බෙනයෙන් මතුවන්නේ කිරිල්ලියගේ හොට පමණි. එතැන් පටන් ඇයට ආහාර ගෙනත් දෙන්නේ කුරුල්ලාය.
මොනරුන් මෙන්ම කෑදැත්තන්ද බහුල වියළි කලාපයේය. යාල කැලේ මැණික් ගඟ අසල කතරගම මැණික් ගඟ අද්දර සේම වියළි කලාපයේ බොහෝ තැන්වලදී කෑදැත්තන් හමුවේ. උන් රන්දෙනිගල රන්ටැඹේ අභය භූමියේදීද හමුවීම සුන්දර දසුනකි.
මෙම අභභූමියේ සුන්දරම දසුන් වන්නේ යෝධ ජලාශ ත්‍රිත්වයයි. වනපෙත සේම මේ මහා ජලාශවල නිල්වන් ජලතලා සිපගන්නා සුළඟ හමාඑනවිට රැගෙන එන සිහිලස මොනතරම් අපූරුද? එසේම මේ ජලාශ වල සරැලි නගන නිල් දියවර දෙනෙතට රසඳුන්ය.
මේ ජලාශ නිරන්තරයෙන්ම පාහේ පිරී පවතී. ඊට හේතුව උමා ඔය රන්ටැඹේ ජලාශයේ සැඟව යෑමත් හුළු ගඟ වික්ටෝරියා ජලාශයට දියවර සැපයීමත්ය.
ඉර හැංගෙන හැන්දෑවට මේ ජලාශවල දසුන දෙනෙතට රසඳුන් වැන්න පෙලිකන් කුරුල්ලන් සේම දිය කාවුන්ද විවිධ කොක් විශේෂයන්ද මේ ජලාශ වල දියමත පිහිනන හැටි සොඳුරු දසුනකි. විටෙක හොට ජලයේ ඔබා ගන්නා උන් ආපසු ජලයෙන් මතුවන්නේ හොටෙන් ගත් මාළුවකු සමඟය. මාළුවා මොහොතකට උඩ විසිකරන උන් මාළුවා පහතට එන විටම කට ඇතුළට ගන්නේ අපූරු දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමිනි.
මෙවැනි දසුන් අභයභූමියේ සුන්දරත්වය වැඩි කරන්නේය. හැන්දෑව කෙළවර වන්නේ රාත්‍රී අඳුරට මුළු වන පෙතම නතු කරමිනි. හැබැයි පසලොස්වක පෝය දින සහ ඒ ආසන්න දිනවල ජලාශ අවට මෙන්ම ජල තලය මතුපිටද සඳ දිය තැවරෙන හැටි බලන්නට ආසා හිතෙන දසුනකි. ඒ සඳ එළියේ සෙල්ලම් කරනු ඇත්තේ අලි ඇතුන්ය.
රාත්‍රී අන්ධකාරයට බිය මුසු කරමින් මුව පොව්වකු නගන විලාප හඬ මෙන්ම දිවියකුගේ ගෙරවුම් හඬද අලි ඇතුන්ගේ කුංචනාදයද වනයකට ආභරණ බව කිව යුතුමය.
ශාන්ත කුමාර විතාන