කලමැටිය කලපුවේ නවාතැන
නේක වර්ණයෙන් යුත්, නේක හැඩයෙන් යුත් පක්ෂීන් ජීවත් වන ස්ථානයකට කවරදාක හෝ යා හැකි නම් ඒ අත්දැකීම කෙබඳු විය හැකිද? සංචාරක පක්ෂීන් සේම විවිධ සතා සිවුපාවුන් සහ විවිධ වූ පරිසර පද්ධතීන් රැසක් මැද එක් මොහොතක් හෝ ගත කරන්නට හැකි වේ නම් එය කෙතරම් සොඳුරු අත්දැකීමක් විය හැකිද? දකුණලක පිහිටි කලමැටිය කලපුව ගෙන එන්නේ ඒ අපූර්ව වූ අත්දැකීම විය හැක.
ශ්‍රී ලංකාවේ කලපු අතරින් කලමැටිය කලපුව පාරිසරිකව හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. දකුණු වෙරළ තීරයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොටට නුදුරින් පිහිටා ඇති කලමැටිය කලපුව වර්ග කිලෝමීටර් 0.78ක විශාලත්වයෙන් යුතුය. නොගැඹුරු කලපුවක් වන කලමැටිය තෙත්බිම් පරිසර පද්ධතියකි. කලපුව තුළට කච්චිගල්ආර තුළින් මිරිදිය ගලා ඒම නිසා මෙය මිරිදිය පරිසර පද්ධතියක් ලෙසද හැඳින්විය හැක. කලමැටියෙහි ඇති පාරිසරික සෞන්දර්යය නිසා දකුණුලක සැරිසරණ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආදරය දිනාගත් සංචාරක ස්ථානයක් වේ.
කලමැටිය කලපුව ආශ්‍රිතව වෙසෙන ජනයාගෙන් බොහෝ දෙනෙකු ධීවරයෝය. ඔවුන් මුහුදට දක්වන ළැදියාවට සමාන ළැදියාවක් කලපුවටද දක්වයි. කලමැටිය කලපුව නැරඹීමට යාමට බෝට්ටු සේවයක්ද ඇත. කලමැටිය ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වන ජනයා විසින් මෙම බෝට්ටු සේවය පවත්වාගෙන යයි. ඇතැම් විදෙස් සංචාරකයන් මෙහි පැමිණෙන්නේ පාරුවකිනි. පාරුවකින් කලමැටිය කලපුවට යාමද සුවිශේෂී අත්දැකීමකි. බොහෝ විදේශිකයන් කලමැටියට යන අතරමග හබල් ගෑමට පාරුව පදවන්නාගෙන් ඉල්ලා සිටින බවද පාරු පදවන්නන් පවසයි.
කලමැටිය කලපුව සහ ලුනම කලපුව එක්වෙමින් නිර්මාණය වී ඇති කලමැටිය අභයභූමියද සංචාරක ආකර්ෂණය දිනූ තවත් ස්ථානයකි. කඩොලාන පරිසර පද්ධතියක්, තෙත්බිම් පරිසර පද්ධතියක්, ලදුබිම්, පන්ගාල්, තෘණබිම් සහ තැනින් තැන පිහිටි දියකඩිති ඇතුළු විවිධ පරිසර පද්ධතීන් කලමැටිය අභය භූමියෙහි දක්නට ලැබේ. කලමැටිය අභයභූමියෙහි වෙරළබඩ පරිසර පද්ධතියකින්ද යුතුය. අම්බලන්තොට නගරයට සමීපව පිහිටා ඇති වලවේ ගං මෝය ආශ්‍රිත කඩොලාන පරිසර පද්ධතියේ බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ කිරල ශාකයයි. එබැවින් ගම්වැසියන් මෙය කිරල කැලේ ලෙසින්ද හඳුන්වනු ලබයි. කලමැටිය අභය භූමියේ පිහිටි උස කිරල ගස්වල දිවා කාලයේ දහස් ගණන් වවුලන් එල්ලී සිටියි. කිරල කැලේ මෙලෙස වවුලන් එල්ලී සිටින කිරල ගස් කිහිපයක්ම ඇත. හැම ගසකම මෙලෙස වවුලන් එල්ලී සිටිනු දක්නට නැත. යම් යම් සුවිශේෂී කාරණා සහ ආරක්ෂිත යැයි ඔවුන් තෝරා ගන්නා ස්ථානවල පමණක් මෙලෙස වවුලන් එල්ලී සිටිනු දැකිය හැකි බවට ගම්වැසියන්ගේ අදහසයි.
කලමැටියෙහි ඇති තවත් සුවිශේෂී විශේෂත්වය නම් මෙය කුරුළු අභය භූමියක් වීමයි. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක පක්‍ෂීන්ගේ නවාතැන්පොළක් වන මෙය බූන්දල, කුමන තෙත්බිම්වල මෙන් කුරුල්ලන් දැකගත හැකි සුන්දර පරිසරයකි. දේශීය මෙන්ම සංචාරක පක්ෂීන් විශාල සංඛ්‍යාවක් මෙහිදී කලමැටි කලපුවේ දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ස්වාභාවික සම්පත් සංරක්ෂණ සංගමය IUCN විසින් පවත්වන ලද සමීක්ෂණයකින් හෙළිවන තොරතුරු අනුව මෙහිදී දැකගත හැකි කුරුළු විශේෂ ගණන 180කි. ඉන් කුරුළු විශේෂ හැටක් පමණ සංචාරක පක්ෂීන් වේ. සෑම වසරකම අගෝස්තු මාසයේ මැද වන විට කලමැටිය සොයා පැමිණෙන මෙම සංචාරක පක්ෂීන් අප්‍රේල් මස අග දක්වාම මෙහි රැඳී සිටියි. ශ්‍රී ලංකාවේදී දැකීමට ඉතා අපහසු සංචාරක පක්‍ෂියෙකු වන %සිළුටු දෑ තුඩුවා^ වෙසෙන ප්‍රදේශයක් ලෙසද මේ බිම් ප්‍රදේශය සැලකෙන අතර, හිස කළු දම් පිළිහුඩුවා, වගුරු පිළිවටුවා, කළු පිය ඉපල්පාවා, පොදු දම් කිතලා ඇතුළු නොයෙක් පක්ෂීන්ද මෙහි දැකගත හැක. එමෙන්ම දිගු කාලයක් තිස්සේ සිටම වල් තාරාවන්ගේ ගම්මානයක් ලෙසද කලමැටිය හැඳින්වේ.
කලමැටි කලපුවේ සංචාරක පක්ෂීන් දැක බලාගන්නට, ඡායාරූප ලබාගන්නට, ඔවුන්ගේ ජීවිතය අධ්‍යයනය කිරීමට සුදුසුම කාලය නොවැම්බර් මස සිට අප්‍රේල් අග දක්වා බව පැවසේ. එමෙන්ම කලමැටියෙහි ජීවත් වන පක්ෂීන් දැක ගැනීමට නම් මෙම කාලවලදී උදෑසන හයට හෝ සවස තුනට පමණ කලපුවට පැමිණිය යුතුය. සවස් කාලයේදී දැකගන්නට ලැබෙන ඇතැම් පක්ෂීන් හිමිදිරියේ දක්නට නොලැබේ. මේ නිසාම හිමිදිරි උදෑසන වන විටම විදෙස් සංචාරකයන් කලමැටි කලපුවට පාරුවකින් හෝ බෝට්ටුවකින් පැමිණේ. කුඩා කුඩා පක්ෂීන් මෙන්ම විශාල පක්ෂීන් රැසකගේ රාජධානියක් වන කලමැටිය කලපුව විවිධ පක්ෂී ක්‍රියාකාරකම් දැක ගැනීමට කදිම තෝතැන්නකි.
කලපුව මැද පිහිටා ඇති තවත් සුවිශේෂී ස්ථානයක් වන්නේ තාරගල නම් ගලයි. තාරගල මතට නැගීමට සංචාරකයන් දක්වන්නේ අපමණ උනන්දුවකි. ඒ තාරගලට නැගි විට අවට පරිසරය මනා ලෙස දැක ගැනීමට හැකි වීමයි. හිසට ඉහළින් පියාඹන පක්ෂීන් මෙන්ම විවිධ කඩොලාන ශාක ඇතුළු බොහෝ දෑ දැක ගැනීමට තාරගල ගලට නැගි විට හැකි වේ.
කිරල, වීර, කඩොල්, මසන්, මස්‌බැද්ද, රණවරා, පතොක්, මලිත්තං වැනි ශාක මෙහි බහුලව දැකගත හැකි වන අතර, දම් පැහැ මලින් ගැවසී ගත් ජපන් ජබර, හම්බු පන්, කලපු අන්දර යනාදී ආක්‍රමණික ශාකද කලමැටිය කලපුව ආශ්‍රිතව දැක ගැනීමට හැකි වේ. එමෙන්ම මුහුදු බිම්තඹුරු, වැටකෙයියා, මහා රාවණා, පිල වැනි ශාකද කලපුවේ සුන්දරත්වය වැඩි කරයි. තවද කලපුවේ ආශ්‍රිතව ජීවත් වන සතුන් ලෙස කිඹුලා, තලගොයා, කබරයා, කටුසු විශේෂ, සර්ප විශේෂ රැසක්ද දැක්විය හැක. එමෙන්ම දාරකැස්‌බෑවා, ඉස්‌සන් හා කකුළුවන්ද කලපුව ආශ්‍රිතව ජීවත් වේ. අභයභූමිය තුළින් මීමින්නා, හාවා, කළු වඳුරා, මුගටියා, වල්ඌරා, අඳුන් දිවියා, හෝතඹුවා, නරියා සතුන්ද නයා,පොළඟා, වැලි පොළඟා, කරවලා, කනඋල්ලා, දත්කැටියා වැනි සර්ප විශේෂයන්ද දැකගත හැකි වේ.
1938 වසරේදී වනසත්ත්ව හා තුරුලතා ආරක්ෂා කිරීමේ අඥාපනත හරහා කලමැටිය අභයභූමියක් ලෙස නම් කෙරිණි. නමුත් විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් 1946 වසරේදී එම තත්ත්වයෙන් ඉවත් කෙරුණු නමුත්, 1984 වසරේදී ශ්‍රී ලංකාවේ 41වන අභයභූමිය ලෙස කලමැටිය නැවත වරක් පත් විය. මේ වන විට කලමැටිය අභයභූමිය වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කෙරෙන අතර, හම්බන්තොට වනජීවි අඩවියට අයත් කලමැටිය අඩවි ආරක්‍ෂක කාර්යාලය මගින් සංරක්‍ෂණය කරයි.
සංචාරයට කැමති, පක්ෂීන්ට ආදරය කරන, පරිසරයට ආදරය කරන ඕනෑම අයෙක් ජීවිතයේ එක්වරක් හෝ යා යුතුම සුන්දර ස්ථානයක් ලෙස කලමැටිය කලපුව හැඳින්විය හැක. විදෙස් සංචාරකයන්ගේ සංචාරක සිතියමේ අනිවාර්යය නවාතැනක් ලෙස කලමැටිය කලපුව හැඳින්වෙන්නේ එතරම් සොබා සෞන්දර්යයක් කලමැටියෙහි ඇති නිසාය. කලමැටියට යන ඔබ සැමගෙන් අප ඉල්ලා සිටින්නේ එහි සුන්දරත්වයට හානි කරන කිසිවක් සිදු නොකර, එහි පරිසර පද්ධතීන් තවත් කාලයක් රැඳෙන ලෙස සුරක්ෂිතව තබා එවන ලෙසයි.
කැළුම් දේවින්ද / ඡායාරූප - සුපුන් උදයංග