කල්පිටි වෙරළෙන් ඩොල්ෆින් අතරට
කොයි අත බැලුවත් සුනිල සාගරයයි. එකක් පසුපස එන විසල් රළ ගෙඩි අපේ බෝට්ටුවේ බඳේ වැදී හදිසියේ බිඳීයයි. ඒ රළ ගෙඩිවලට බෝට්ටුව එහාටත් මෙහාටත් වැනෙන්නේ, අප සයුරු තොටිල්ලේ නැලවෙන බිළිඳුන් බවට පත් කරවමිනි.
මම ආ මග දෙස ආපසු හැරී බලමි. මව්බිමේ එහෙමත් නැත්නම් කල්පිටියේ ගොඩබිම යම්තමින්වත් නොපෙනේ. කිලෝමීටර් තිහක පමණ දුරක් මුහුද දිගේ පැමිණ ඇති නිසාය.
මුහුදු වේදිකාවේ පෙන්වන ඩොල්ෆින් සතුන්ගේ රැඟුම් ගැයුම් බලන්නට අප ආවේ උදේ පාන්දරින්මය. එහෙත් දැන් වේලාව උදේ නවයටත් ආසන්නය. එසේ වෙතත් මුහුදු මැද පෙන්වන ඩොල්ෆින් රැඟුම් වලට ආරම්භක මොහොතක් හෝ අවසාන මොහොතක් හෝ නැති බැවින් ප්‍රශ්නයක් නොවේ. එහෙත් තාමත් කිලෝමීටර් තිහක දුරක් මුහුද මැදට ආවත් එකද ඩොල්ෆින් සතෙකුවත් අපේ නෙත් ගැටුණේ නැත.
මම ඉදිරිපස බලමි. පෙරලී පෙරලී ඇදී එන රළගෙඩිම විනා අන් කිසිවක් නොපෙනේ.
කෝ ඩොල්ෆින්?
මසිත ප්‍රශ්න කරයි
අද ඩොල්ෆින්ලා නැතුවවත්ද?
ඒ සමඟම හිතේ පුංචි සාංකාවක්ද හටගනී මන්දයත් අප පෙරුම් පුරාගෙන මුහුදු ආවේ ඩොල්ෆින් සොයාගෙනම වන බැවිනි. ඉතින් ඩොල්ෆින් රංචුවක් දකින්නට නොලැබුණොත් මේ ගමන අරුත් සුන් එකක් වනු ඇත.
මුහුදින් ඉහළ නැගුණු යම්කිසිවක් අඩි පනහක් පමණ දුරක් පියඹා ගියේය. එක්වරම යළි මුහුදට වැටී නොපෙනී ගියේය.
මුහුදට උඩින් පියාඹන්නේ නම් ඒ කුරුල්ලකු විය යුතුය. එහෙත් මේ අමුත්තාට අත්තටු තිබුණේ නැත. මහලොකු දුරක් පියාඹුවේද නැත. මතුවූයේද මුහුදෙන්මය.
එසේ නම් මේ කුරුල්ලෙකු නොවේ,
එහෙනම්?
අපේ බෝට්ටුව වහා ඒ පැත්තට ඇදෙන්නට පටන්ගත්තේය.
තවත් මුහුදු කුරුල්ලෙක් මුහුදින් මතු වී ටිකක් දුර පියඹාගොස් මුහුදටම වැටුණේය.
පේනවද පියාමැස්සො.
අපේ බෝට්ටුවේ නියමුවා ඇසුවේය.
ඒ පියාමැස්සොද... මට හිතාගන්න බැරිවුණා. මොකද්ද කියලා. පියැඹුවට කුරුල්ලො නෙවෙයි කියල නම් තේරුණා.
මම කීවේමි
පියාමැස්සො.. උන් ඔය පියාඹන්නෙ ඩොල්ෆින්ලට බයේ ඩොල්ෆින්ලගෙ ප්‍රියතම ආහාරය තමා පියාමැස්සො. අර මුහුද උඩ කළු පාට ගුලි වගේ දෙයක් පේනවනේද? ඒ තමා ඩොල්ෆින්.
මම දෑස කුඩාකර ඈත බලමි පියාමස්සන් පියෑඹූ ඉසව්වේ මුහුද මත කළු පාට ගුලි තිබෙන බවක් පෙනිණි.
පියාමැස්සො ඉගිල්ලෙන කොට අපි දන්නව එතැන ඩොල්ෆින්ල ඉන්නව කියලා.
බෝට්ටු හිමිකරුවා කීවේය. ඒකෙම අනිත් පැත්ත තමා ඩොල්ෆින්ල ඉන්නව නම් එතන මාලු රංචුත් ඉන්නවා. ඒ නිසා ධීවරයො ඩොල්ෆින්ල දැකපු ගමන් එතෙන්ට යනවා මාළු හොයාගෙන. ඒකනෙ ඩොල්ෆින්ල මිනිස්සුන්ගෙ යාළුවො වෙලා තියෙන්නෙ.
දැන් අප සිටින්නේ ඩොල්ෆින්ලා අසලමය. මුහුද මත පෙනුණු කළු පාට ගුලි දැන් අඩි අටක් දහයක් දිග ඩොල්ෆින්ලා සේ පෙනෙයි.
බෝට්ටුවේ එන්ජිම අක්‍රිය කළ බෝට්ටු හිමියා අපට ඩොල්ෆින්ලා බලන්නට ඉඩ දී නිහඬ වූයේය. ඩොල්ෆින් යාළුවෝ අපේ බෝට්ටුව වට කර ගත්තේය. කොයි පැත්ත බැලුවත් ඩොල්ෆින්ලාය. උන් පිහිනන්නේ නැත. පැන පැන ඉදිරියට යති. එනිසාම ඩොල්ෆින්ලාගේ සිරුරු විටෙක ජලයෙන් මතුවෙයි. උන්හිටි ගමන් එකෙක් දෙන්නෙක් අඩි හයක් හතක් තරම් උඩට පැන යළි මුහුදට පනියි.
එක් ඩොල්ෆිනයෙක් උඩ පැන්නේ අපේ බෝට්ටුව අද්දරින්මය. ඌ උඩ පැන යළි මුහුදට පැන සැඟවුණු මොහොතේ විසිවුණු වතුර වලින් අපේ සිරුරුද තෙතබරි විය. එහෙත් ඌට චෝදනා කළ නොහැකිය. අපේ සිත් නෙත් පිනවන්නේ අන්න ඒ සුන්දර රැඟුම් වන බැවිනි. මම හතරපස බලමි. හතර වටේටම සිටින උඩ පනින ඩොල්ෆින්ලා ගණන දහසක්වත් ඇතැයි සිතේ.
ලංකා මුහුදේ ඩොල්ෆින් විශේෂ කිහිපයක්ම වෙති. උන්ගේ පෙනුම අනුව උන් වර්ග කර ඇත. ඒ අනුව ලංකා මුහුදේදී හමුවන ඩොල්ෆින් විශේෂ වන්නේ, තිත් ඩොල්ෆින්, සන්නාලි ඩොල්ෆින්, බෝතල් නාසි ඩොල්ෆින් සහ මුක්කන් ඩොල්ෆින්ය. මුල්ලා යනුද ඩොල්ෆින්ට කියන තවත් නමකි. විශේෂයෙන්ම ධීවරයන් ඩොල්ෆින් හඳුන්වන්නේ මුල්ලා යන නමිනි
එක්වරම කණට වැටුණේ විසිල් හඬකි. මම අපේ බෝට්ටුවේ සිටි සියල්ලන් දෙස බැලීමි. එහෙත් විසිල් ගැසූ කිසිවෙක්ම නොවීය.
ඔය ඩොල්ෆින් කෑ ගහන සද්දෙ
අපේ බෝට්ටු හිමියා කීවේ මගේ කුහුල මඩිමිනි.
ඒ සමගම තවත් ඩොල්ෆිනයෙක් විසිල් ගැසුවේය.
උන් ප්‍රීති ප්‍රමෝදයට පත් වූ සැටියකි. අප උන් දැක ප්‍රීතිවන්නක් මෙන් ඩොල්ෆින්ලා අප දැක ප්‍රීතියට පත්ව සිටිති.
මුහුද එකම සැණකෙළියකි. ඒ අස්සේ මගේ මතකයට එන්නේ බැංකොක් නුවරදී දුටු ඩොල්ෆින්ලාගේ සෙල්ලම්ය. බෝල ගසන, වළලු අල්ලන ඩොල්ෆින් සෙල්ලම් මොනතරම් අපූරුද? ඒ හැම ජයග්‍රහණයක් සමගම ඌට ලැබුණේ මස්සෙකි.
මේ මුහුදේද උන් මේ තරම් සෙල්ලම් පෙන්නන්නේ නිකම් නොවේ. මාළු ආහාරයට ගනිමින්ය.
බැංකොක් නුවර ‘සෆාරි වර්ල්ඩ්’ හි සේම, ඩුබායි රටේද ඩොල්ෆින් රැඟුම් පාන ස්ථාන තිබේ. ඩුබායි ඇළ අද්දර ඇති ඩොල්ෆිනේරියම් එවැනි එක් ස්ථානයකි.
මේ සියලු ඩොල්ෆින්ලා සර්කස් පුහුණුව ලද්දවුන් බැවින් ඔවුන්ගේ රැඟුම් මේ මුහුදේ රැඟුම් පාන ඩොල්ෆින්ලාගේ රැඟුම්වලට වඩා විශිෂ්ටය.
මගේ මතකයේ ඒ විශිෂ්ට රැඟුම් ද එකින් එක ඇඳෙන්නට පටන් ගත්තේය.
ඩොල්ෆින් රංචුව අපේ බෝට්ටුවෙන් ටිකින් ටික දුරට යමින් සිටියහ. මසුන් ආරක්‍ෂාව පතා ඈතට යන විට ඩොල්ෆින්ලා උන් පසු පසින් යති. දැන් ඉතින් අපට සිදුවන්නේ ඩොල්ෆින්ලා පසුපසම යන්නටය.
මෙතෙක් නිහඬ කර තිබූ එන්ජිම පණ ගැන් වූ අපේ බෝට්ටුකරුවා ඩොල්ෆින් හඹායන්නට පටන් ගත්තේය. මෙය නොනවතින ගමනක් නොවේදැයි මට සිතිණි.
ශාන්ත කුමාර විතාන