කඳුකරයේ ගෝන රජදහන
ඒ මැදියම් රාත්‍රිය නොවේ. යාම්තමට අඳුර පොළොව වැළඳ ගත්තා පමණකි. එහෙත් සීතල දැනෙන්නේ හිමගිරක සිටින කලෙක මෙනි.
‘‘සෙල්සියස් ඍණ වෙන්නැති.’’
වෙව්ලන දෙතොල අමාරුවෙන් එක්තැන් කරගෙන මම මටම මිමිනුවෙමි. දෑත් දෙපා ඇතුළු මුළු සියොලගම එක සීරුවට වෙව්ලන හැටි!
කලිසම් කමිස පමණක් නොව උණුසුම් ජර්සියක් ද ඇඳ දෑත් දෙපා මේස්වලින් ආවරණය කරගෙන සිටියත් සීතල සුළඟ ඒ ඇඳුම් විනිවිදින හැටි සිතා ගන්නවත් බැරිය!
මම දෑත් මිටි මොලවාගෙන වෙව්ලමින් නිහඬව බලා සිටියෙමි. හුළඟ තුරු හිස් අඹරවාගෙන හමායන්නේ උච්ච ස්වරයේ ගීතයක්ද ගයාගෙනය.
එහෙත් ඒ සුළඟේ ගීතය මැඩගෙන සවන වැකුණේ කුර ගැටෙන හඬකි.
ගෝනෙක් දුවනවා.
අප සිටි වන බංගලාවේ අරක්කැමියා කීවේ වගේ වගක් නැතුවය.
ඉර කන්දෙන් බහින්නේ කොයි මොහොතකද ඒ මොහොතේම වනවදුලු අතරින් එළි බහින ගෝන්නු තැන්න පුරා එහා මෙහා ඇවිදිති. තැන්නේ - වැවුණු තණ පත් උලාකමින් ඔවුහු තැන්න ලස්සන කරති.
‘‘දැන් පිටත් වෙමු.’’
අපේ ගමනේ නියමුවා කීවේ, සීතල ගැන වගේ වගක් නැතුවය. අපිදු සීතල අමතක කළෙමු.
තැන්න පුරා නිදහසේ ඇවිදින ගෝන නාම්බන් නෑම්බියන්ගේ සුන්දරත්වය දැකීමට නම් රාත්‍රියකම තැන්නට බැසිය යුතුය!
බංගලාව අද්දර වූ ජීප් රිය අපත් නංවාගෙන තැන්න දිගේ ගමන් කළේය. වාහනයේ ඉදිරි ලාම්පුවේ ආලෝකයට එක් එක් ගෝනා ඉලක්ක වෙද්දී අපේ නෙත් සිත් ප්‍රීතියට පත්වේ.
මේ කඳුකර ගෝනුන් ලංකාවේ අනෙක් පළාත්වලින් හමුවන ගෝනුන්ට වඩා වෙනස්ය. උන්ගේ ලොම් ඇඳුම ඝනකම් නිසාය. ඒ සීතල දරාගන්නට ඔවුන්ගේ සිරුරුවලට හැකිවනු පිනිස සොබාදහම දුන් දායාදයකි.
ඇතැම් ගෝනෙක් අංතට්ටුව ද ඔසොවාගෙන බලා සිටින්නේ කේන්තියෙනි. අඳුරට හුරු වූ ඇස්වලින් සිය ප්‍රියම්බිකාවන් සහ දරු පැටවුන් සමග කරන සුන්දර සක්මන්වලට වාහනයේ ලාම්පු එළිය බාධාවක් වන බැවිනි.
එහෙත් ගෝනාට වාහනයට හෝ වාහනයේ සිටින අපට හෝ පහර දෙන්නට පුළුවන්කමක් නැත.
‘‘වද නොදී පලයල්ලා’’
ඌ හිස සොලවමින් තරහින් කියන්නේ එලෙසය.
එහෙත් අපට අවශ්‍ය ගෝනුන් මෙන්ම ගෝන නෑම්බියන්ගේ ද ඇවතුම් පැවතුම් දැක බලා ගැනීමටය. ගෝන පැටවුන්ගේ කෙළි සෙල්ලම් දැක බලාගැනීමටය. වනන්තරේ අසිරිය යනු වන සතුන්ගේ සොඳුරු දසුන්ම නොවේද?
එක් ඉසව්වක හුදෙකලා වුණු ගෝන නාම්බෙක් සහ නෑම්බියක් අපේ ලාම්පු එළියට අසුවිය. ඒ මොහොතේම එකිනෙකා සමග පෙම්බස් මුමුණමින් සිටි ඒ දෙන්නා වහාම පලා ගියහ. හරියටම ගෙදරට වැඩිහිටියන්ට හොරා උයනකට ආ කොල්ලෙකුට සහ කෙල්ලකුට කැමරාවක ආලෝකයක් දකින්නට ලැබුණාක් මෙනි. එකත් එකටම ගෝන නෑම්බියට ලජ්ජා සිතෙන්නට ඇත. ඇය ගෝන නාම්බාත් ඇදගෙන කාත් කවුරුවත් නැති තැනකට යන්නට උත්සාහ කරන්නට ඇත.
තැන්නේ සක්මන් කරන මේ ගෝනුන්ට වන ලොකුම කරදරය අපේ ලාම්පු එලි නොවේ! දිවියාය. තැන්නේ සිටින දිවියන් තමන්ගේ හා දරු පැටවුන්ගේ කුසගිනි නිවාගන්නේ ගෝන මසකිනි. ඒ නිසා උන්ද රාත්‍රී සීතල නොතකා තැන්නට බසිති. ගසෙන් ගසට මුවාවෙමින් කුරුමානම් අල්ලමින් ගෝන පැටවෙක් සිටින්නේ කොතැනදැයි විමසිලිමත් වෙයි. ගෝන නෑම්බියක හෝ නාම්බකු ගොදුරු කර ගැනීමට දිවියාට නුපුළුවන. ගෝන නාම්බන්ගේ හිසේ පැළඳි අං ඔටුන්නට අභියෝග කරන්නට මොන දිවියාටවත් නුපුළුවන් බැවිනි.
සොබා දහමේ සංසිද්දීන් මේ අයුරින් සිදුවෙද්දී කොයියම්ම මොහොතක හෝ ගෝන පැටියකුගේ විලාප හඬක් රැයේ නිහඬතාවය බිඳිනු ඇත. ඒ විලාපය කියන්නේ දිවියකුට රාත්‍රී ආහාරය ලැබුණු බවය!
අපි පැයක් පුරාවට ගෝන්නු බලමින් තැන්න පුරා ගියෙමු. ආපසු බංගලාවට පැමිණ උණුම උණු කෝපි කෝප්පයක රස බැලුවෙමු.
අන්තිමේ අඳුරට ගුලිවුවද දෙනෙතෙහි සිත්තම් වූයේ නන් විධ ගෝනුන්ගේ රූප සටහන්ය.
හෝර්ටන් තැන්නේ ගෝනුන්ගේ රාජධානියේ ගෙවූ රාත්‍රියක මතකය ඉනික්බිති හැමදාමත් මසිත ඉතිරිව තිබිණ. ඉන්පසු දවස් ගණනාවක්ම හෝර්ටන් තැන්නට ගිය අතර ඒ හැමදාමත් ගෝනකු දකින විට අර සොඳුරුතම සීතල රාත්‍රියේ ගෝනුන් නැරඹූ හැටි සිහිපත් විය.
හෝර්ටන් තැන්නට යන ඕනෑම කෙනකුට ඕනෑම දවසක ඕනෑම මොහොතක හීලෑ ගෝනුන් දැකගත හැකිය. ඌ ඔබෙන් ද කන්නට යමක් ඉල්ලනු ඇත. ඕනෑම නම් ඔබට උගේ හිස පිට ස්පර්ශ කිරීමට ද ඌ ඉඩදෙයි. ඌ මිනිස් ඇසුරට ප්‍රිය කරමින් සතුටින් ජීවත් වෙයි.
කොහොමටත් හවස හතර පසුවන විට තැනින් තැන සැඟවගත් ගෝනුන් එකා දෙන්නා එළියට බහින්නට පටන් ගනී. හවස පහමාර හය වෙද්දී තැන්නේ ඈත ඉසව් ගෝනුන්ගේ රූපවලින් පිරී යන හැටි අපූරුය. මේ ගෝනුන් දකිනවිට ඔබට යාල කැලේ කලපුවල ලැග සිටින ගෝනුන් සිහිපත්වීම වළක්වනු නොහැකිය. ලුණු රසයට ප්‍රිය කරන උනුත් මේ කඳුකර ගෝනුනුත් එකිනෙකා සමග සංසන්දනය කරන්නට නොසිතුවොත් එයද පුදුමයකි.
කෙසේ වෙතත් හෝටර්න් තැන්නට යන දවසක හවස හතර පසුවෙන තුරු රැඳී සිට කඳුකර ගෝනුන්ගේ රූප දැකගැනීමට ද අත්‍යවශ්‍ය කාරණයකි.
සඳ එළිය කඩා වැටෙන රැයක හෝටර්න් තැන්නට ආ යුතුයැයි ඔබට සිතෙන්නට බැරි නැත. ඒ සඳ එළියෙන් ඇති පදම් ගෝනුන් දැක බලා ගන්නටය. එහෙත් ඔබට – මට එබඳු වාසනාවක් නම් නොලැබේ. හේතුව හෝටර්න් තැන්නේ රාත්‍රිය මීදුමින් නැහැවීමය. මුළු තැන්නම බලා කියා ගන්නට අපට වරම් නොලැබේ. එදා අප වුවද ජීප් රියේ ලාම්පු එළියෙන් පමණක් ගෝනුන් දැක බලාගත්තේ එබැවිනි.
අද ලංකාවේ ගෝනුන් සිය ගණනක් දැකබලා ගත හැකි එකම තැන හෝර්ටන් තැන්න වුවද අතීත ලංකාවේ හැම බිම් අඟලකම ගෝන්නු ජීවත් වූහ. ඝන වනාන්තර ප්‍රිය කරන කුලෑටි සතකු වන ගෝනා, අද හෝටර්න් තැන්නටත් වියළි කලාපීය වනාන්තර කිහිපයකටත් කොටුවී සිටී.
ගෝනා ගැන මේ ටිකත් කිව යුතුය. ඌ තනිව ජීවත් වන සතෙකි. පෙම් කරන කාලයේදීත් දරුවකු ඇති දැඩි කරන කාලයේදීත් හැරුණු විට අනෙක් කාලය ඌ ගෙවන්නේ තනිවමය. එහෙත් හෝර්ටන් තැන්නේ ගෝනුන්ට ඒ කතා පොදු නොවේ. හෝටර්න් තැන්නේ හැම බිම් අඟලක්ම ගෝනුන්ගේය. ඇරත් එහි ඇති ගෝන ගහනයේ හැටියට කිසිවකුට හුදෙකලාවීමට නුපුළුවන.
එබැවින්ම අප ගෝනුන් දකින්නට නම් යායුතු හොඳම තැන්න හෝර්ටන් තැන්නයි. එය ලංකාවේ එකම එක ගෝන රජදහනයි.
ශාන්ත කුමාර විතාන