කොටු පවුරේ සවාරියක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මුහුදේ රළ බිඳෙන්නේ මීටර් පන්සීයකට පමණ ඔබ්බෙනි. එතැන් සිට කොටු පවුර දක්වා ඇති මුහුද සංසුන්ය.

මම පවුර මත හිඳ රළ බිඳෙන සීමාවේ රළ බිඳෙන හැටි බලා හිඳිමි. සිසිල රැගත් සුළඟක් කොහේදෝ දුර බැහැරක සිට හමා එයි. මගේ මුහුණ සිප, නොනැවතීම ඈතට ඈතට හමා යයි...
ඔව්! මා රැඳී සිටින්නේ ගාල්ලේ ඉපැරැණි කොටු පවුර මතය!
කොටුව යනු ගාල්ලේ ඓතිහාසික ස්ථානයකි. නොඑසේ නම් ගාල්ලේ ලකුණයි. ගාල්ල කී පමණින් හිතට නැගෙන පළමුවැන්න වන්නේද ගාල්ලේ කොටුවම වන බැවිනි.
එනිසාම ගාල්ලට එන කවර සංචාරයකු වුවද කොටුවට ගොස් කොටු පවුර දිගේ ඇවිද යන්නේමය. ඇවිද යා යුත්තේමය. මේ ගමන එක් අතකට අතීතයේ සැරි සැරීමක් හා සමාන වන බැවිනි.
ඇත්තෙන්ම මාද මේ ඇතුල්වී සිටින්නේ අතීතයටය. වසරක් දෙකක් නොවේ. සියවස් හතරක පහක අතීතයකට
ගාල්ලට බලකොටුවක් නිර්මාණය කෙරුණේ 1588 දී පමණය. ඒ පෘතුගීසීන් පැමිණ කෝට්ටේ ගියාට පසුය. ඔවුන් කෝට්ටේ රජුගෙන් ඉල්ලා සිටියේ හරක් සමක් දිගයල විට වැහෙන තරමේ පුංචි ඉඩකඩකි. එහෙත් ගාල්ලේදී ඔවුන් තනාගත් බලකොටුව ඊට වඩා විශාල විය. එකල ඔවුන්ගේ ගෙවල් 225 ක් තරම් එහි තිබූ බව කියැවේ.
ඉන් සියවසකට පමණ පසුව ඕලන්දයින් හෙවත් ලන්දේසීන් ලංකාවට පැමිණ පෘතුගීසීන් පැරදවූහ. ගාල්ලේද පෘතුගීසි - ලන්දේසි සටනක් ඇතිවිය. එහිදී පෘතුගීසීන් සිය ගණනක් මරා දමන්නට ලන්දේසීහු සමත් වූහ. සටනේ කෙළවර ලන්දේසීන්ට බලකොටුව හිමිවීමය.
කෝට්ටේ රජතුමා ලබාගත්තේ ඉඟුරු දී මිරිස්ය. ලන්දේසීන් පෘතුගීසීන්ට වඩා දරුණු විය. ඔවුහු එතෙක් කලක් ගාල්ලේ පැවැති කුඩා බලකොටුව මැදිකර වඩාත් විශාල බලකොටුවක් කලුගල්වලින් බඳින්නට පටන් ගත්තේය.
මා දැන් ඇවිද යන්නේ අන්න ඒ විසල් පළල් සවිමත් කොටු පවුර මතිනි. මා මොහොතකට කලින් ගාලු කොටුවට පිවිසුණේ ද ලන්දේසීන් තැනූ දැවැන්ත දොරටුවෙනි. එහි 1669 සටහන්ව ඇත්තේ මෙය තැනුයේ එම වසරේදී වන නිසාය.
මාතර පැත්තේ සිට සමුද්‍ර මාවත දිගේ යන්නෙකුටද කොළඹ සිට එන්නෙකුටද ගාලු කොටුව දුර සිට හඳුනාගත හැක්කේ ඔරලෝසු කණුව නිසාය. ගල් කැටයමක් සේ පෙනෙන මේ ඔර්ලෝසු කණුව හැමවිටම නිවැරැදි වෙලාව ප්‍රදර්ශනය කරයි. අද ගාලු කොටුවට ආභරණයක්ව ඇති මේ ඔරලෝසු කණුව, ලන්දේසීන් කොටුව ඉදිරකරන සමයේදී නම් දක්නට නොලැබිණි. ඇත්තටම එය පසුකාලීනව ඉදිකරන ලද්දකි. එහෙත් බැලූ බැල්මට ඕනෑම කෙනෙකුට පෙනෙන්නේ මෙයද ලන්දේසීන් කොටුව නිර්මාණය කළ සමයේදීම ඉදිකරන ලද්දක් කියාය. හේතුව එය හැම අතින්ම කොටුවට ගැලපෙන ආකාරයට ඉදිකර තිබීමය. කෙසේ නමුත් එය ඉදිකෙරුණේ 1882 දීය. වාසල මහමුදලි සැම්සන්ද ආබ්‍රෙව් විජය ගුණරත්නගේ මුදලින් ඉදිකෙරුණු මේ ඔර්ලෝසු කණව ඉදිකළේ ඉංග්‍රීසි ජාතික වෛද්‍ය පීටර් ඩැනියෙල්ගේ සේවය අගය කිරීම වෙනුවෙනි.
මම කොටු බැම්ම දිගේම ඇවිද යමි. අඩි විසිපහක පමණ පළලට තැනූ කොටුබැම්ම මත තැනෙක පිටතට නෙරා තැනූ අට්ටාලය. කොටු බැම්මේ තැන් තැන්වල තැනූ ගල් බංකුය.
මේ බංකුවක ඉඳගත්විට මුහුදු සුළඟ හමා එන්නේ මුහුණටමය. දෙනෙත පැහැර ගන්නේ සොඳුරු මුහුදයි. තැන තැන පුංචි පුංචි ගල්පරය. මුහුදු රැල්ල ඒවායේ හැපී නංවන සුදුපාට පෙණ කැටි නෙත් අද්දර මවන්නේ විසිතුරු දසුනකි.
එහෙත් මම ඉදිරියටම ඇවිද යමි. ඇතැම්විට සංචාරකයෙක්, තවත් වරෙක අපේම ශ්‍රී ලාංකිකයෙක් කොටු බැම්ම දිගේ මගේ ඉදිරියට එයි. තවත් පිරිසක් මට ඉදිරියෙන් යයි!
මට දැන් හමුවන්නේ සන් බැස්ටියමයි. බැස්ටියම යනු මුරපොලට කියන වචනයකි. ගාලු කොටුවේ සිව් කොනේම මුරපොළවල්ය. මේ සූර්ය මුරපොළ පෘතුගීසි කොටුවේද තිබූවකි. 1620 දී ඉදිකෙරුණු මෙයට එදා දී තිබූ නම සාඕ ලාගෝය.
ගාලු වරායේ දසුන මොනවට පෙනෙන පරිදි තැනූ මේ මුරපොලට මුහුදෙන් සතුරෙක් එන්නේ නම් මුලින්ම පෙනෙයි. පසුකලෙක ලන්දේසි හමුදා ගාලු වරායට සේන්දු වෙද්දී ඒ බව මුලින්ම දකින්නට ඇත්තේ මේ මුරපොලේ සිටි සෙබලුන්ය.
මම මොහොතකට ගාලු වරාය දෙස බලා හිඳිමි. මුහුදු සුළඟ හමා යන්නේ ගත පමණක් නොව හිතද සිහිල් කරමිනි. ගාල්ල මොනතරම් නම් ලස්සනදැයි මම මගෙන් විමසමි. කොටුව ඇතුලෙන් ඕලන්ද පල්ලිය, ඝන්ඨා කුළුණ, සමුද්‍ර කෞතුකාගාරය, සියළු ශාන්තුවරයන්ගේ පල්ලිය, පැරණි ගේට්ටුව ආදිය දැක බලා ගනිමින් පවුර දිගේම ඉදිරියට යන විට හමුවන්නේ කළු කොටුව හෙවත් ස්වාම් බැස්ටියමය. ලංකාවට දෙල්ගස හඳුන්වා දුන්නේ ලන්දේසීය. ඔවුන් ගෙනා පළමුවැනි දෙල්ගස රෝපණය කළේද ගාලු කොටුව තුළය. මා දැන් මේ රැඳී සිටින්නේ අන්න ඒ පළමුවැනි දෙල්ගස පෙනෙන ඉසව්වේය.
තවත් කිවයුත්තක් තිබේ. ලන්දේසීන් ගාලු කොටුව හැදුවේ ස්වභාවිකවම පිරිසිදු වන ආකාරයටය. ගලන වේලාවට මුහුදු වතුර ගාලු කොටුවට ඇතුළු වෙයි. පාරක් පාරක් ගානේ ගලා යමින් හැම පාරක්ම පිරිසිදු කරන්නට මේ වඩදිය සමත් වේ. එනිසා ඊළඟ දවසේ උදේට පා තබන්නේ සුන්දර පිරිසිදු නගරයකටය.
මම යලිත් ඇවිද යමි. ඉදිරියෙන් පෙනෙන්නේ ප්‍රදීපාකාරයයි. ගාල්ලට ආභරණයක් වූ මේ ප්‍රදීපාගාරය තෙක් ඇවිද යද්දී එක් පසෙක මුහුද තිබුණත් අනෙක් පස ඇත්තේ විවිධ ගොඩනැගිලිය. උට්‍රෙච් අටල්ල පිහිටියේද මෙතැනමය. හැබැයි මේ ප්‍රදීපාගාරය ලන්දේසීන්ගේ නිර්මාණයක් නොවේ. ඉංග්‍රීසි ආණ්ඩුව 1939 වසරේදී ඉදිකරන ලද්දකි.
මට හිතෙන්නේ ගාලු කොටුවට අයත් ලස්සනම තැන මෙතැන කියාය. ප්‍රදීපාගාරයට පිටුපා ගන්නා ඡායාරූපයක් ජීවිත කාලයටම වටිනා අගනා සිහිවටනයක් වනවාට කිසිදු සැකයක් නැත. ඉතින් මම ප්‍රදීපාගාරය අසල වැඩි කාලයක් ගත කරමි.
ලන්දේසි සමයේදී මෙතැන වෙඩි බෙහෙත් ගබඩාවක් තිබිණි. දුරින් තිබෙන්නේ කොඩිගහ එසවූ ස්ථානයයි. එහෙත් අතීතයේදී ප්‍රදීපාගාරය ගොඩනගා තිබුණේ මෙතැනය. ගෑස් පහන් මාර්ගයෙන් නැව්වලට පාර පෙන්වූ මෙය 1848 සිට 1930 දක්වා මුහුදු යාත්‍රාවලට පාර පෙන්වූ ප්‍රදීපාගාරයකි. එහෙත් එය 1930 වසරේදී ගිනි ගත්තේය.
එසේම මෙතැන කොඩි ගහක්ද විය. එනිසා කොඩිගහ අටල්ල යනුවෙන් මේ මුරපොළට නම ලැබිණි. ඒ කොඩිගහ දහවල් කාලයේදී මුහුදු යාත්‍රාවලට මග කියා දුන්නේය. කොටු පවුර දිගේ තවත් ඉදිරියට ඇවිද යනවිට හමුවන්නේ ට්‍රයිටන් අට්ටාලයයි. පසු කලෙක ඉදිකළ මෙහි සුළං මෝලක් සවිකර තිබිණි. එමගින් මුහුදු ජලය පොම්ප කිරීමේ හැකියාවක්ද තිබිණි. නැප්චූන් ක්ලිපන්බර්ග් සහ ඇයෝලන් මුරපොලවල් තවත් ඉදිරියේදී හමුවේ.
කොටු පවුරේදී හමුවන ප්‍රධානම මුරපොල වන්නේ තාරකා අටල්ලයි. බංකර සංකීර්ණයක් අනෙකුත් මුරපොලවල් වෙත උමං මාර්ග, භූගත සිර කඳවුරු වහලුන්ගෙන් වැඩගත් වෙඩි බෙහෙත් කඳවුරු ආදිය තිබුණේ මේ තාරකා අටල්ල හා සම්බන්ධවය. කොටු පවුර දිගේ තවත් ඉදිරියට යනවිට හමුවන්නේ ඔර්ලෝසු කණුව පිහිටි සඳ අටල්ලයි. අතීතයේදී ගොඩබිමට මුළුමනින්ම ආවරණය කළ කාලතුවක්කු කවුළු නවයක් මේ චන්ද්‍ර නැත්නම් සඳ අටල්ලේ සවිකර තිබිණි.
මෙතැනින් අපේ ගමන අවසන්ය. දැන් ඉතින් නැවත වරක් ඔරලෝසු කණුවට එබී වේලාව බලාගත හැකිය. කොටු පවුරේ චාරිකාවට ගතවුණු කාලය දැන් ඉතින් ගණනය කරගත හැකිය.
අද නැතත් අතීතයේදී මේ කොටු පවුර මත කාලකුවක්කු සවිකර තිබිණි. සෙබලු බොහෝ උනන්දුවෙන් තම ‘රාජධානිය’ ට මුරකාවල් යොදමින් සිටියහ.
එහෙත් අද ඒ සියල්ලම අතීතයට එක්වී අවසන්ය. අපි ඒ අතීතයට ඇවිද යන සංචාරකයන් පමණක් වෙමු. වර්තමානයට වඩා අතීතයේ ඇවිද යාම මනරම් අත්දැකීමක් නොවේදැයි මොහොතකට සිතා බලන්න.

ශාන්ත කුමාර විතාන