උඩරට රජුන්ගේ තහංචි කැලේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිංහල රජ සමයේදී රාජධානියේ තිබූ බොහෝ වනාන්තර සැලකුණේ තහංචි කැලෑ වශයෙන්. මේ තහංචිය පනවා තිබුණේ රට වැසියාට පමණි. රජ පවුලේ කිසිවෙකුට මේ තහංචි කැලෑවල තංහිචියක් නොතිබිණි.

කෙසේ වෙතත් රජු විසින් මේ කැලෑවලට තහංචි පමුණුවන ලද්දේ හේතු කිහිපයක් ඇතිවය. එකක් නම් කැලේ ජීවත් ​ෙවන වන සතුනට නිදහසේ ජීවත්වීමට ඉඩකඩ සැලසීමය. අනෙක් කරුණ මේ වනාන්තර ආරක්ෂා කළ යුතුව තිබීමය. රාජධානියට මෙන්ම රජවාසලට ආරක්ෂාව සැපයීමද සතුරු ආක්‍රමණයකදී මේ කැලෑවල සිට සතුරන්ට පහරදීමද තවත් අරමුණකි. 

මහනුවර රාජධානිය තුළ පිහිටි ප්‍රමුඛතම තහංචි කැලෑව වූයේ උඩවාසල වනාන්තරයයි. අද උඩවත්ත කැලේ ලෙස ප්‍රචලිත මේ වනයට තහංචි දමා තිබුණත් රජ පවුලේ සාමාජිකයන් වන සිරි නැරැඹීම පිණිස උඩවත්ත කැලෑවට නිතර නිතරම ගමන් කළහ.

ගම්පොල රාජධානි සමයේදී සේනාසම්මත වික්‍රමබාහු රජතුමා ඔහුගේ එක් මන්දිරයක් තැනුවේ තහංචි කැලෑවකය. අනතුරුව මාලිගය අවට වනය එළි පෙහෙලි කෙරෙව්වේය. රජතුමා තැනූ මන්දිරය උඩවාසල ලෙස හැඳින්වුණු අතර උඩවාසල උද්‍යානය යන නම මුල්වරට භාවිතයට පැමිණියේය.

ඔය කාලයේදීම සෙංකන්ඩ නම් බමුණෙක් මේ කැලෑව මැද වූ ගල්ලෙනක වාසය කළේය. ඔහු විසූ ලෙන පසුකලෙක සෙංකන්ඩ ලෙන ලෙසද නම් ලැබීය.

උඩවත්ත කැලෑවේ ඇති සුවිශේෂ නිර්මාණය නම් පොකුණයි. මේ විසල් පොකුණ මහනුවර රාජධානියේ රජකම් කළ බොහෝ රජවරුන්ගේ දිය කෙළි සඳහා භාවිත විය. දෙවැනි රාජසිංහ රජු උන්හිටි හැටියේ රාජ සභාවෙන් පිටව ගොස් මොහොතකින් නාගෙන සිරුරේ දිය බේරෙමින් යළි රාජ සභාවට පැමිණ නිලමේවරුන් පුදුමයට පත් කරන්නට පුරුදු වී සිටියේය. රජු හදිසියේම ගොස් දිය නෑවේ මේ උඩවත්ත කැලේ මැද ඇති පොකුණෙනි. 

මේ පොකුණ පිළිබඳව අසන්නට ලැබෙන අපූරු ජනප්‍රවාදයක්ද තිබේ. එය නම් මේ පොකුණෙහි මතු​ෙවන රන් සෙම්බුවක් පිළිබඳ කතාවකි. හැබැයි මේ ජනප්‍රවාදයට සම්බන්ධ කිනම් රජකුගේ බිසවක්දැයි අවිනිශ්චිතය.

ඒ ජනප්‍රවාදය මෙසේය.

රජ මෙහෙසිය හැමදාමත් තම සේවිකාවන් පිරිවරාගෙන උඩවත්ත කැලේ පොකුණට දිය නාන්නට පැමිණියාය. ඇය දිය නෑමට පාවිච්චි කරන රන් සෙම්බුව රැගෙන එන්නේත් රැගෙන යන්නේත් සේවිකාවකි.

මේ රන් සෙම්බුව දුටු වන රැකවලෙකුට එම සෙම්බුව ගැන ආශාවක් උපනි. ඔහු කළේ මෙහෙසියගේ සේවිකාව සමග මිතුරුවීමයි.
අපි දවසක මේ රාජධානියෙන් පලා යමු.

වන රැකවලා සේවිකාවට පැවැසුවේය. 

ඔහුට ආශක්තව සිටි සේවිකාව දෙවරක් නොසිතාම ඊට අවනත වූවාය.

එසේ නම් ඔබ සෙම්බුවත් රැගෙන පැමිණෙන්න. 

සේවිකාව ඒ සඳහා උපක්‍රමයක් යෙදුවාය. මෙහෙසිය දියනා පොකුණෙන් පිටව ටික දුරක් ගිය පසුව සේවිකාවට යම් දෙයක් පොකුණ ළඟ අමතකව ආ බව පැවැසුවාය.

මම ඉක්මනින් එය රැගෙන එන්නම් ඇය මෙහෙසියගෙන් අවසර පැතුවාය.

අවසරය ලැබුණු විගස ඇය සෙම්බුවත් රැගෙන පොකුණ වෙත ගියාය.

වන රැකවලා වහා ඇගේ අතින් අල්ලාගෙන තහංචි කැලයෙන් නික්මෙන්නට සැරසුණෝය. එහෙත් ඔවුනට වැඩි දුරක් යන්නට නොලැබිණි. වන කෝරාල ඔවුන්ගේ මඟ හරස් කළේය. ඉන් බියපත් වූ වන රැකවලා සහ සේවිකාව ආපසු හැරී පොකුණ දෙසටම දිව යන්නට වූහ. කෝරාල තමන් අල්ලා රජු ඉදිරියට පැමිණ වුවහොත් අපමණ දඬුවම් විඳින්නට සිදු​ෙවන බව දෙදෙනාටම වැටහිණි. ඔවුන් දිව යද්දී කැලෑ කෝරාල ද ඔවුන්ගේ පසුපසින් පැන්නූහ.

තරුණයා තරුණියගේ සුරතින් අල්ලාගෙන පොකුණට පැන්නේ වෙන කරන්නට කිසිවක්ම නොවූ තැනය. අන්තිමේදී ඒ දෙදෙනාම පොකුණේ ගිලී මිය ගියහ.

එදා සේවිකාව අත වූ සෙම්බුව එතැන් පටන් හැම වසරකදීම කිසියම් දවසකදී පොකුණ මතුපිට පාවෙන බව කියති. හැබැයි එය ගන්නට උත්සාහ කරන කිසිවකුට යළිත් ජීවත්වෙන්නට වරම් නොලැබෙන බවද ප්‍රචලිතය. 

උඩවත්ත කැලයට පිවිසෙන ඔබට මට මෙවැනි ජනප්‍රවාද හිතට අපූරුවක් තිළිණ කරනු ඇත.

උඩවත්ත කැලේ අක්කර සිය ගණනක් විශාලය. එහි මැදින් ගමන් කරනු පිණිස ගුරු පාරවල් කිහිපයක්ම තිබේ. ඒ ගුරු පාරවල් ඉදිකරන ලද්දේ ඉංග්‍රීසි පාලන සමයේදීය. සිංහල රජ කාලයේදී පනවා තිබූ තහංචි ඉවත්කළ ඉංග්‍රීසීන් උඩවත්ත කැලෑව දඩයම් බිමක් ලෙස පාවිච්චි කළේය. ගස් කපා වනය විනාශ කළේය. වනයේ ජීවත්වුණු අලි ඇතුන් ඇතුළු සතා සීපාවන්ට උඩවත්ත කැලේ අහිමි කළෝය. අපි අද ඇවිද යන්නේ එදා ඉංග්‍රීසීන් තැනූ පාරවල් දිගේය. ඒ අතර හෝර්ටන් ආණ්ඩුකාර සමයේදී ඉදිකළ ලේඩ් හෝර්ටන් මාවතද තිබේ.
උඩවත්ත කැලේ අද තිබෙන ආශ්චර්යය වන්නේ යෝධ පුස් වැලයි. අක්කර ගණනක් පුරා විහිදුණු මේ යෝධ පුස්වැල උඩවත්ත කැලෑවට ආභරණයක් බව කිව යුතු නොවේ. ඒ හැරුණු විට කෝන්, අංකෙන්ද, මදටිය, වල්දෙල්, කොළ උණ, මා වේවැල්, දවට, කහට, කිතුල්, දූරියන් මොර, පිහිඹියා, ඇත්දෙමට, නා, වැනි ගස් වර්ග රැසක් උඩවත්ත කැලයට සෙවන සලසයි. බොහෝ පක්ෂීන්ද මේ වන ගහනයේ නිදහස භුක්ති විඳිති. ඔවුන්ගේ කිචි බිචි මෙන්ම සොඳුරු දසුන්ද ඔබේත් මගේත් නෙත් සිත් මෙන්ම සවන්ද පිනවන්නේය.
මහනුවරට යන ඔබ වැව රවුමට තරමටම උඩවත්ත කැලෑවටද ආදරය කරන්නට පටන් ගනු නියතය.

ශාන්ත කුමාර විතාන 
ඡායාරූප - අන්තර්ජාලයෙනි.