කෝටි දෙකහමාරක ගඩොලින් තැනෙන සඳහිරු සෑය
හිත ආයෙත් නතර වුණේ මීට අවුරුදු ගාණකට ඉස්සර මේ මහ පොළොව ලෙයින් තෙත් කරමින් මුළු දේශයම මළගමක් කළ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයේ අමිහිරි මතකයන් ළඟ. දකුණේ අපිට නොදැනුණු හුඟාක් කටුක අත්දැකීම්, වගකීම්, යුතුකම් උපන් දෙරණ වෙනුවෙන් දෙවුර දරාගත්තේ අපේ ත්‍රිවිධ හමුදාවේ සොල්දාදුවන්. උපන් බිම වෙනුවෙන් ලෙයත්, ජීවිතයත් දන් දුන් ඒ විරුවන් සිහිවෙන්න ඉදිකරන සඳහිරු සෑයට ඔයත් එක්ක ගිහින් එන්න අපිට හිතුණා.
අපේ අනුරාධපුර චාරිකාවේ මේ සතියේ නවාතැන තමයි ඒ සඳහිරු සෑය. සඳහිරු සෑයට නගිද්දී සෑය නිර්මාණය කරන්න යොදාගන්න ගඩොලයකුත් අතින් අරන් නගින්න පුළුවන් ඔයා කැමතිනම්. එහෙම ගඩොලයක් අරගෙන උඩට නගිද්දි හුළඟ සැරට ඇවිත් ඇඟේ හැප්පෙනවා. ඒත් ඒ දැනෙන පින්සාර හැඟීම වචනයෙන් කියන්න බැරි තරම්. සඳහිරු මහා සෑය කියන්නේ අපේ ප්‍රෞඩත්වයේත්, වීරත්වයේත් අභිමානය, මුදුන් සලකුණ කියලා එය ඉදිකිරීමේ අරමුණ ගැන ගැඹුරට හිතද්දී හිතෙනවා. මේ සෑයේ උස අඩි 282 අඟල් 6ක්. වටප්‍රමාණය අඩි 800ක්.
මේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයේ කුහර හෝ පස් පිරවීමකින් තොරව සම්පූර්ණයෙන්ම ස්ථූප ගඩොලින් නිර්මාණය කරන බව තමයි කියන්නේ. ස්ථූප ගඩොලයක් කියන්නේ අඟල් 16ක් දිග අඟල් 8ක් පළල අඟල් 2ක ඝනකමින් යුත් ගඩොලයක්. ඒ ගඩොලය සාමාන්‍ය ඉංජිනේරු ගඩොල් 4කින් පමණ විශාල ගඩොලයක්. මේ සෑය සම්පූර්ණයෙන්ම නිමවන්න ස්ථූප ගඩොල් කෝටි දෙකහමාරක් වැය වෙනවා. සිමෙන්ති කොට්ට එක්ලක්ෂ අසූදාහකට වැඩි ප්‍රමාණයක් වැය වෙනවා. වැලි කියුබ් පහළොස්දාහක් පමණ වැය වෙනවා. අළු හුණු වැය වෙනවා කිලෝ එක්කෝටි දාසය ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක්. ප්‍රාකාර බැම්ම ඉදිවෙන්නේ ගල් කැටයම් 170කින් සමන්විත ප්‍රාකාර බැම්මක් විදිහට. වෙස්සන්තර ජාතකය ඇතුළු පන්සිය පනස් ජාතක කථා එහි නිර්මාණය කරන්න අදහස් කරලා තියෙනවා.
මේ ස්ථූපය ඉදිවන භූමිය මහමෙව්නා උයනේ ඉපැරණි ගැල් ගාල පිහිටි ස්ථානය විදිහට තමයි ඉතිහාසය දෙස් දෙන්නේ. එළාර දුටුගැමුණු - රජවරුන් විජිතපුරෙන් අරඹපු යුද්ධය අවසන් කළේ මේ ඓතිහාසික භූමිය මතයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා නිධන් කර ඇති මේ චෛත්‍ය නිර්මාණය කිරීම වෙනුවෙන් වැය වන ගඩොල් කැටයේ පටන් තනන්නේ රණවිරුවන්. ඒ වගේම මේ චෛත්‍ය නිර්මාණය කරන්න මුදල් ලබාදෙන්නේ රණවිරුවන්ගේ වැටුප්වලින්. මේ චෛත්‍ය ගොඩනගලා තිබෙන්නේ ශක්තිමත් පාදමක් මතයි. අඩි 800ක වටප්‍රමාණයක් ඇති ඒ පාදම ගොඩනගලා තියෙන්නේ අඩි 45ක් ගැබුරට පොළොවේ පස් ඉවත් කරලා. ඒ විදිහට පොළොවේ පස් ඉවත් කළාම මතු වී ඇත්තේ ස්වභාවික ගල. ඒ ගලට උඩින් ශක්තිමත් අත්තිවාරම් තට්ටු කිහිපයක් මත තමා මේ චෛත්‍ය ඉදිවෙන්නේ. ඓතිහාසික සලකුණක් ඇති පොළොවක අභිමානවත් විරුවන් සිහිකිරීමේ සදාතනික සිහිවටනයක් ලෙස ඉදිකරන මේ චෛත්‍ය වෙනුවෙන් එක ගඩොල් කැටයක් හෝ පූජා කිරීමේ සිතුවිල්ල ඔයාගේ හිතට ආවොත්, කට්ටියක් එක්ක එකතු වෙලා රණවිරුවන්ගේ දහඩියෙන් ගොඩනැගෙන මේ චෛත්‍ය මුදුනට ගිහින් චෛත්‍ය නිර්මාණය කිරීමේ කටයුතුවලට ශ්‍රමය වැය කරන්න ඕන කියන සිතුවිල්ල ඔයාගේ හිතට ආවොත් ඔයත් යන්න රට වෙනුවෙන් තිස් වසරක් තුළ දිවි ජූජා කළ 27000ක් රණවිරුවන් වෙනුවෙන්, අතුරුදන් වූ 3500ක් රණවිරුවන් වෙනුවෙන්, ආබාධිත වූ 37000ක් රණවිරුවන් වෙනුවෙන් හදවතින්ම නැගෙන ආශිර්වාදය, කෘත ගුණය, ගෞරවය පූජා කරන්න ඊට ලැබෙන මහඟු අවස්ථාවක් තමයි මේ.
ඉතින් ඒ නිසා පින්සාර හැඟීමෙන් සඳහිරු සෑයට ගිහින් එන්න කියලා ඔයාට කියන්න අපිට හිතෙනවා. එන සතියෙත් අනුරාධපුරයේ ඉඳන්ම හමුවෙමු.