හඳපානාගල හඳ පායන රෑ
සුළඟ සුවදායකය!
පහළ ඌවට අයත් කර්කශ පරිසරයෙන් ගතට දැනෙන විඩාව පළවා හරින්නට මේ සුළඟ සමත් වෙයි. හිරු හැංගෙන හැන්දෑවක් වන බැවින්දෝ ඒ සුළඟට අයත් සිසිල ගතට වැඩියෙන් දැනෙයි.
මම වැව් බැම්ම මත වාඩිවෙමි. ලහි ලහියේ සිදුවන සංවර්ධන කි‍්‍රයාදාමයේ සද්ද බද්ද කණට අමිහිරි වුවද මම ඒ සද්ද බද්ද අමතක කරමි. සුළඟ තුරුපත් මත වැදී නගන සර සරය පමණක් අසා සිටිමි. වැව් දිය ඉවුරේ වැදී නැගෙන සල සිලිලාරයේ හඬ අසා සිටිමි.
වැවට ඔබ්බෙන් පිහිටි උස්වූ කඳු ශිඛරය අහස සිඹින හැටිත් හාත්පස ඇති කඳු පංති වැවට තනි රකින හැටිත් මට පෙනෙයි. ඒ අස්සේ වැව කිට්ටුවෙන්ම තිබෙන ගල් ශිඛරය ද මට පෙනේ.
හඳපානාගල යනු මේ ගල් ශිඛරයදැයි මසිත කුහුලකි. වැවට ඔබ්බෙන් පෙනෙන්නේ හරිත පැහැගත් වනාන්තරයයි. අනන්ත වනස්පතින්ගෙන් සැඳුම්ලත් මේ වන රජදහන සිංහල රජ කාලයේ සිටම අලි ඇතුන්ගේ රාජධානියක් විය. එහෙත් නවසිය තිස් පහ තරම් කාලයේදී මේ පහළ ඌව සංවර්ධනය කෙරිණි. සංවර්ධනය යනු වනාන්තර එළිපෙහෙලි කර කුඹුරු ඉඩම් නිර්මාණය කිරීමය. එසේම තැන තැන වැව් අමුණු ඉදිකිරීමය.
හඳපානාගල වැවේ උපත සිදුවූයේද එසේය. කොස්ලන්ද - බෙරගල පැත්තේ ඇති කඳුකරයෙන් උපත ලැබූ ජල ධාරාවන්ගෙන් සැඳුම්ලත් කුඩා ඔය ඉලූක් අරාව ඔය පසුව කිරිඳිඔයට එකතු වී පහළ ඌව ප‍්‍රදේශය හරහා ගලා යයි. ඒ ගමනේදී හඳපානාගල වැවේ ජල මට්ටම උපරිමයට රැුගෙනවිත් ඉනික්බිති වෙනත් වැව් සොයාගෙන ගමන් කරයි. කෙසේ හෝ වේවා කිිරිඳි ඔයේ ජලධාරාවන්ගේ හේතුවෙන් හඳපානාගල වසරේ හැමදාමත් පාහේ ජලයෙන් පිරී තිරී තිබෙයි.
වන රජදහනේ රජකරන වල් අලි රංචු පිටින් පැමිණ ජල ක‍්‍රීඩා කර සතුටුව දිය බී නික්ම යනු පිණිස හඳපානාගලට පැමිණෙන්නට පුරුදු වූහ. වතුර මට්ටම අඩුවනවිට වැව්පිටිය නිල් තණ කොළ වලින් පිරී යයි. ඒ තණ කොළ අලි ඇතුන්ගේ පමණක් නොව ගෝනුන් මුවන්ගේ පවා රසබර ආහාරයකි.
හඳපානාගල වැව ජනපි‍්‍රයත්වයට පත්වූයේ මීට දශක තුන හතරකට පමණ පෙරාතුවය. හේතුව අලි x මිනිස් ගැටුම් නිර්මාණය වීමයි. මේ නිසා අලි බලන්නට කැමති අය හඳපානාගල වැවට අලි බලන්නට ගියහ. හැබැයි අලි x මිනිස් ගැටුමෙන් පීඩාවට පත්වූ මිනිසුන්ගේ යහපත වෙනුවෙන් අලි එළවන මහ මෙහෙයුම් ද ක‍්‍රියාවට නැංවිණ. ඒ හේතුව නිසා එකල පුවත්පත්වල හඟපානාගල අලි කරදර ගැන පුවත් පළ නොවූ දවසක් නැති තරම්ය. ඒ කාලයේ අලි එලවන මෙහෙයුම් බලන්නට අපේ පත්තර කාරයෝ ද ගියෝය.
හඳපානාගල රජ කළ අලි තලාකොල වැව, දඹේ වැව, පොරමැඩිල්ල වනය, කුඩා ඔය හරහා ලූණුගම්වෙහෙර වනෝද්‍යානයටත්, යාල වනෝද්‍යානයටත් පලවා හැරිණි. අලි වෙඩිවලට බයෙන් තම නිජබිම හැර ගිය අලි, ආපසු ඔවුන්ගේ පරණ නිජබිම් හොයාගෙන ආහ. අලි ඇතුන් යනු තනිකරම රස්තියාදු කාරයන්ය. තම දරු පැටවුන්ද මැදිකරගෙන රංචු ගැසී කමින් බොමින් සැතපුම් ගණන් ඇවිදීම උන්ගේ පුරුද්දයි. සමහරවිට මේ ඇවිද්දවීම ඔවුනට සොබා දහම පුරුදු කරන්නට ඇත්තේ අලි ඇඟට ව්‍යායාම අවශ්‍ය නිසා විය හැකිය.
කෙසේ හෝ වේවා පලවා හරින අලි ආයෙමත් හඳපානාගල වැවේ දිය කෙළින්නට ආහ.
අන්තිමේ මේ ප‍්‍රශ්නයට විසඳුම් වූයේ විදුලි වැටකින් ඔවුන්ගේ සීමා නිර්ණය කිරීමයි.
මම හඳපානාගාල වැවේ නිල් දිය දෙස බලා සිටින්නේ බොහෝ කාලයකට පසුය. මීට කලින් වසර දහයකට පහළොවකට පමණ පෙර දවසක මනරම් හැන්දෑවක හඳපානාගල වැව බලන්නට පැමිණියෙමි. එදාත් මා සමඟ සිටියේ අද සිටින ඇලෙක්සැන්ඩර් බාලසූරියමය. එදා විදුලි වැටක් නොතිබිණි. එබැවින් වැව් පිටියට පා තැබුවේ හිතේ බියද ඇතිවය.
අලියෙක් වත් පැන්නුවොත්...?
අපේ ඇබා මුලින්ම බිය පළ කළේය.
එහෙත් මගේ පැතුම වූයේ වැව් දියේ සෙල්ලම් කරන අලි සිය ගණනක් දැකීමය.
‘‘අන්න’’
ඇබා වන සීමාව ආරම්භවන හරියේම තිබුණු කළු පාට බෝල වගයකට අත දිගු කරමින් කීවේය. ඔහු තම කැමරාවට නෙත ඔබා ගෙන දුර දසුන් ළඟට ගනිමින් අලි රැුඟුම් බලා සිටියේය. අන්තිමේ ඒවා කැමරා කාචයේ සටහන් කරගෙන, මටද කැමරා ඇස ළං කළේය. දුර දසුන් ළඟට ගෙන මමද ඒ අලි රැුඟුම් රස වින්දෙමි. එතැන අලි හය දෙනෙක්ද පැටවෙක්ද සිටියහ. අලි රංචුවේ හැම සාමාජිකාවක්ම අර පැටවා මැදිකරගෙන ඌට ජීවත්වෙන හැටි කියා දෙමින් සිටියහ.
වැව් පිටිය දිගින් දිගටම පැතිර තිබිණි. කොළ පාට තණ පිටියේ කොළ පැහැය, අඳුරු පැහැයට හැරෙමින් තිබුණේ සන්ධ්‍යාව එළැඹි බැවිනි.
මොනරෙක් ‘‘ඥාව්’’ ගාන හඬ ඇසිණි. කුරුලූ රංචුවක් වැව් දියේ ගෑවී නොගෑවී පියාඹා යනු පෙනිණි. උන් ඉගිල ගියේ ඈතින් තිබූ වන රජදහන දෙසටය. දවසේ ආහාර කිස නිමාකර ලැඟුම් හල් කරා ගියා විය යුතුය.
සන්ධ්‍යාව මනරම් විය. බහින ඉරේ රත්පැහැ කිරණ වැව් දිය මතින් ද පෙනිණි. කෝකටත් මම අහස දෙස බැලීමි. ඉර බැස ගිය පසු හඳපානාගල අඳුර නසන්නට සඳ බබලන්නට බලා සිටියේය. සඳ තිබුණේ වන රජ දහනට ඉහළට වන්නටය.
‘‘අපි යමු... ? වෙනකොට අලි කොහෙන් කොහෙන් එයිද දන්නේ නෑ.’’
ඇබා අනතුරු ඇෙඟව්වේය.
‘‘තව චුට්ටක් ඉම්මු. මට ආසයි, හඳපානාගලට හඳ පායන හැටි බලන්න.....’’
මම කිවෙමි.
ඒ වෙද්දී,
‘‘තණමල්විල මල්ගෝමර පොකුරු පිපෙන්න
හඳපානාගල මුඳුනින් වැවට බහින්න
කන්ද උඩින් ගෝමරියේ වැවට බහින්න...’’
සිංදුව සමන් ජයනාත් ජිනදාස ගයා තිබිණි. ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මේ ඉසව්වේ කරක්ගසද්දී හිතේ උපන් ගී සංකල්පනාව එලෙසින් ලියා තිබිණි. මම හඳපානාගලට හඳ පායන හැටි බලා සිටියේ ඒ ගී පදයද මුමුනමිනි.
අන්තිමේදී බල හුවමාරුව සිදුවිය.
ඉරු අඳුරු විය.
සඳු සොඳුරු විය.
සඳේ සෙවනැල්ල හඳපානාගල වැව් දියෙන් පෙනිණි.... අලි රංචු මොහොතකට නිහඬව ඒ සඳ එළිය දෙස බලා සිටියා වැන්න.
මොනරෙක් කෑ ගසන හඬ යළිත් ඇසිණි. අහස් වියනේ වවුල් රූ පෙනිණි.
රාත‍්‍රිය ඔවුන්ගේය.
‘‘යමු’’
අපේ ඇබා යළිත් කීය.
අකමැත්තෙන් නමුදු හඳපානාගල අතැර ආවෙමි.
ඒ එදාය.
අද හාත්පස අලි වැටය. වැව දිගටම අලි වැට ගසා ඇත්තේ අලින්ට වැට පනින්නට ඉඩ නොතබාය.
අපි අලි වැට පැන, වැවට පහළින් වූ කනබිසවාරාම පන්සලට ඇවිද ගියෙමු.
අතීත නටබුන් පිරුණු ඒ පන්සල් බිම් මැදින් ඇවිද ගිය අපි හඳපානාගල වැව ගැන විපරම් කළෙමු.
මීට අවුරුදු ගණනකට කලින් වැවේ බැම්ම කැඩුනනෙ. ඒ වෙලාවෙ මේ පන්සලත් යටවුණා.
අපට කීවේ හාමුදුරු කෙනෙකි.
දැන්නම් වැව් බැම්ම හොඳට හයියට හදන පාටයි.
‘‘ඔව්; ඔය උමා ඔය ව්‍යාපෘතියෙ කොටසක් විදිහට වැව සංවර්ධනය කරනවනෙ. උමා ඔයෙන් එන ජලය, හඳපානාගල වැවෙන් එකතු කරනවා. ඊට පස්සෙ අස්වද්දන්න පුළුවන් කුඹුරු අක්කර ගණනක් වැඩි වෙනවා...’’
මේ හරියට අලි එන්නෙ නැද්ද?
අලි වැට තියෙන නිසා මේ හරියට එන්නෙ නෑ. ඒත් උදේ නම් ඔය වැව් බැම්ම දිගෙත් අලියෙක් යනවා දැක්කා.
ඒ වෙලාවෙ අපිත් හිටියා නම් ලස්සන පිංතූරයක් ගන්න තිබුණා නේද?
මම ඇබාගේ බබා මූණ බැලූවෙමි.
අලි එක්ක ගත්තු පින්තූර මගෙ ළඟ තියෙනවා. මම මේ හඳපානාගල ආපු තුන්වෙනි වතාව. නැත්නම් හතරවෙනි වතාව.
‘‘හඳපානාගල හඳ පායන රෑ
ලස්සන දැකුමට මා ළඟ ඔබ නෑ
වැව් පිටියට වී ඔබට තුරුලූ වී
මොහොතක් ඉන්නට මා පින්කර නෑ
හඳපානාගල හඳ පායන රෑ...’’
අනුරාධ අබේසිංහගේ සංගීතයට යුදිනි ජයසිංහ ගැයූ ගීතය මගේ දෙතොලතර මුනු මුනු ගාන්නට විය.
එහෙත් හඳ අහසේ සිට හඳපානාගල වැව් කොමලිය දෙස පේ‍්‍රමයෙන් බලා සිටිනු පෙනිණි.
ශාන්ත කුමාර විතාන
ඡායාරූප - ඇලෙක්සැන්ඩර් බාලසූරිය