හනුමා අතිත් හැලුණ හරි ලස්සන රූමස්සල
කනට ඇහෙන්නේ කුරැලු කුජනය.. ඇහැට පේන්නේ සදාහරිත නිම්නය.. ඇහැට පෙනෙන කොළ පාටත් කනට ඇහෙන කුරැලු ගීතත් හිතට අරන් එන්නේ සැහැල්ලුව.. ආතර් සී ක්ලාක් ඇතුළු විද්‍යාඥයන් කීවේ රෑමස්සල කියන්නේ උල්කාෂ්මයක් කඩා වැටීමෙන් නිර්මාණය වුණු භූමියක් කියලා...
මහා ගුප්ත සුන්දරත්වයකින් අනූන මේ නිහඬ බිම ගැන ජනකතා රාශියක් තියෙනවා. රෑමස්සල කියන්නේ පුලතිසි කියන සෘෂිවරයාගේ ඔසු උයන කියලත් කියනවා. කොහොම නමුත් අදටත් මෙහි සුදු හඳුන්, දුම්මැල්ල, ඇත් දෙමට, යක් කපු, කළු බෝවිටිය ආදී ඔසු වර්ග 150කට අධික සංඛ්‍යාවක් තියෙන බව තමා කියන්නේ. රෑමස්සල කන්ද පසුබිම් කරගෙන තියෙන අනිත් ජනකතාව තමා රාම රාවණ යුද කතාව. රාම රාවණ යුද්ධයේදී රාම කුමාරයාගේ සහෝදරයා වෙච්ච ලක්ෂ්මන් කුමාරයාට හීසර පහරක් වැදී තුවාල වුණාලු. ඔහු සුවපත් කරන්නනම් ඉන්දියාවේ හිමාලය වනයේ පමණක් ඇති ඔසුවක් අවශ්‍ය බව කීවලු. මේ ඔසුව රුගෙන ඒමේ වගකීම බාරගත්තේ හනුමලු. හනුමා එයාගේ ශක්තියෙන් හිමාල වනයේ කොටසක් කරපින්නාගෙන ආවලු. ඒ කරපින්නාගෙන ආව කොටස නැවත රුගෙන යාමේදී ඉතුරැවුණු කොටසක් රෑමස්සල ඔසු උයනක් බවට පත් කළ බවත් කියනවා. ඒ වගේම හනුමා ඉතුරැ වූ කොටස රුගෙන යාමේදී එයාගේ ඇඟිලි අතරින් හිමාලයේ වන කොටසින් කෑල්ලක් කඩාවැටුණු බවත් එය උණා වැටුණා වී පසුව උණවටුන බවට පත්වූ බවත් කියවෙනවා. තවත් ජන කතාවක් කියන්නේ රාවණ රජු සීතාව රෑමස්සල ගල් ගුහාවක සඟවා තබා එහි දොරටුව විශාල ගල් පතුරකින් වසා තැබුවාලු. රාමා යුද ජයග්‍රහණයෙන් පසු සීතාව බේරාගනිද්දී ඒ ගල් පියන උස්සා විසිකර දැමුවාලු...
රාමා ඉස්සූ ගල පසුව රෑමස්සල වුණාලු. ඔන්න ඔහොම තමා රෑමස්සල ලස්සන නිල් කන්ද ගැන ජනකතා ගෙතී තියෙන්නේ. මීටර් 120ක් උස රෑමස්සල කන්ද හෙක්ටයාර් 170ක පමණ භූමි ප්‍රමාණයක විහිදී පැතිරී තියෙනවා. 2003දී රෑමස්සල අභයභූමියක් බවට පත්කළා. මේ නිදහස් වන අරණේ සමනල විශේෂ 84ක් කුරැලු විශේෂ 70ක් පමණ ඉන්න බව තමයි පරිසරවේදීන් කියන්නේ. ඒ වගේම විවිධ පරිසර පද්ධති රුසක සංයෝජනයක් ලෙස හඳුන්වන්න පුළුවන් රෑමස්සල තෙත් කලාපය වියලි කලාපය සහ ශුෂ්ක කලාපය කියන කලාප තුනටම අයත් ශාක විශේෂයන්ගෙන් සැදුම් ලද්දක්.
රෑමස්සල යන අතරේ යන්න පුළුවන් තවත් දෙස් විදෙස් ආකර්ෂණයට ලක් වූ ඉසව්වක් තමා JUNGLE BEACH කියන්නේ. ලෝකයේ හොඳම මුහුදු තීර 12න් එකක් වන මෙහි සීයට හැත්තෑවක් පමණ සජීවී කොරල්පර තියෙනවා. ඒ නිසාම මේ ඉසව්ව සමුද්‍ර ජීව විද්‍යාඥයන්ගේ අවධානයට ලක්වෙච්ච ඉසව්වක්. සනීපෙට ඇති තරම් නාන්නත් JUNGLE BEACH කියාපුම තැනක්. කැලේ මැද්දෙන් වැටී ඇති පාරක් දිගේ බැහැගෙන බැහැගෙන යද්දි JUNGLE BEACH නමින් හඳුන්වන මේ ලස්සන මුහුදු තීරය හමුවෙනවා.
ඉතින් ගාලු ගියොත් කඳුත් නැගලා නාලත් එන්න... එහෙමනම් එන සති අන්තෙත් හිත පුරා සතුට විඳගෙන යමු කොහේ හරි ඇවිදලා එන්න.
Text -Saara / Pic- Channa Kassapa Koralearachchi