ජපානයයේ සුපිරි තෝකියෝව ජයගත් ශ්‍රී ලාංකිකයා
ලෝකය වටේ සංචාරය කරමින් යද්දී අපේ රටේ අවන්හල් එහෙමත් ඒ රටවලදී දැකගන්න පුළුවන්. තායිලන්තයේ ‘මානෙල් අක්කාගේ බත්කඩේ’ ලෙස ප්‍රකට අවන්හල ගැන අපි මීට පෙර විස්තර ගෙනාවා. මේ කියන්න හදන්නෙ ජපානයේ තෝකියෝ නගරයේ ඇති ශ්‍රී ලාංකිකයෙකු සතු අවන්හලක් ගැනයි. මේ ශ්‍රී ලාංකිකයා සැබැවින්ම අප්‍රතිහත ධෛර්යයෙන් යුතු මිනිසෙකු ලෙස හැඳින්වූවාට වරදක් නැහැ. මක් නිසාදයත් ලෝකයේ එක් මිනිසෙකු සඳහා දිනකට වැඩිම වියදමක් වැයවන තෝකියෝ සුපිරි නගරයේදී අවන්හලක් ස්ථාපිත කිරීම අතිශය දුෂ්කර කටයුත්තක් වන බැවිනි. තෝකියෝ නගරයේ අවන්හලක් ආරම්භ කිරීම යනු ජපානයේ වෙසෙන ජපන් ජාතිකයන්ටම අසීරු කටයුත්තක් වුවද, මේ අපූරු ශ්‍රී ලාංකිකයාට, තෝකියෝවේදී ශ්‍රී ලාංකේය අවන්හල් දෙකක්ම ස්ථාපිත කිරීමට හැකිවුණා.
ඔහු නමින් කපිල බණ්ඩාරය. තැප්‍රෝබේන් (Taprobane) නමින් කපිල තෝකියෝ නගරයේ මිල අධිකම පෙදෙසක් වන මිනාතෝකූ, මිනාමි අඔයාමාහිදී මුල්ම අවන්හල විවෘත කළේ මීට වසර කිහිපයකට ඉහතදියි. ස්පයිසි බිස්ට්‍රෝ තැප්‍රෝබේන් නමින් එදා විවෘත කළ මේ ශ්‍රී ලාංකේය අවන්හල ඉතා කෙටි කලකදී අතිශයින්ම ජනප්‍රිය අවන්හලක් බවට පත්වූවා. ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙන්ම ජපාන ජනතාව අතරත් එම අවන්හල වඩාත් ජනප්‍රිය වූයේ, ප්‍රණීත රසයට මෙන්ම ගුණයෙන්ද සපිරි ආහාර පිළියෙල වීම සහ පිළිගැන්වීම නිසායි. තෝකියෝවට ගැළපෙන රිද්මයට අනුව නිර්මාණය වූ මෙම අවන්හල Itcome Station අසල ඇති මිනාතෝකු මිනාමිහි Win Aoyama ගොඩනැගිල්ලෙහි 1F යන ස්ථානයෙහි ස්ථාපිතව තිබෙනවා.
මෙවැනි තැනක ව්‍යාපාරික ස්ථානයක් තැනීම අතිශය බැරෑරුම් කටයුත්තක් වුවද, කපිල ඒ අභියෝගයට මුහුණ දුන්නා. එය එක් රැයකින් ලද ජයග්‍රහණයක් නොව, දශක කිහිපයකට පෙරදී කපිල ජපානයට ගියේ සිසුවෙකු ලෙස අධ්‍යාපනය හැදෑරීම සඳහායි. ජපන් බසද ඉගෙන ගනිමින්, වියදම් සඳහා සුළු සුළු රැකියාද කරමින් සිටි කපිල නිතරම අලුත් දෙයක් ගැන සිත යෙදුව්වා.
ජීවිතය අභියෝගයක් මෙන්ම එය තෝකියෝව වගේ තැනකදී ජයගැනීමට නම්, අවදානමක් අනිවාර්යයෙන්ම ගත යුතු යැයි විශ්වාස කළ කපිල, එම අවදානම ගත්තා. මේ වනවිට යුගදිවියට එළැඹ සිටි කපිලට බිරිඳ මැණික්, වචනයේ පරිසමාප්ත අයුරින්ම මැණිකක්ම වූවා. කපිල සාර්ථක මිනිසෙකු වීම පිටුපස සිටි සැබෑ චරිතය ඇයයි. දිවා - රාත්‍රී නිදි නොලබා තම සැමියා වෙනුවෙන් අත්වැල සැපයූ අතර කපිලට තම බිරිඳ මහත් ආශීර්වාදයක් වුවා. ජපානයේදී නොවැටී ජීවත්වීමට නම්, පපුවට එනම් හැඟීම්වලට මුල්තැන නොදී ඔළුවටම මුල්තැන දිය යුතුමයි. බාධක කම්කොටොලු සේනා බළඇණි සේ ජීවිතය ඉදිරියට පැමිණියද කපිල කඳුළු සැලුවේ නැත. තව තවත් හිතට ගතට හයිය ගත්තේය. ඒ ගත්ත හයිය නිසාම ආර්ථික අතින් ශක්තිමත්ව නැගී සිටීමට ඔහුට හැකිවුණා. තෝකියෝවේ මොන්සෙන් නකචෝ (Monzen Nakacho) යනු ඉපැරණි ජපන් උසස් රසය, හැඩය, පැහැය, ගුණය සහ කලාත්මක රිද්මය රැගත් තැනක්. සුපිරි මිනාතෝ සිට මේ කලා සපිරි මොන්සෙන් නාකචෝ වෙත ඇති දුර කිලෝමීටර 12ක් පමණ වෙනවා. කපිල ස්පයිස් බිස්ට්‍රෝ තැප්‍රෝබේන් දෙවැනි අවන්හල නොබෝදා ස්ථාපිත කළේ මෙතැනදියි. දැන් ඊටද ලැබෙන ජනප්‍රියත්වය ඉතා ඉහළයි.
කපිල මේ ඔබගේ අවන්හල් සාර්ථක වීමට හේතුව කුමක්ද?
අහරක රස විඳිමින් සිටින අතරේදී මා ඔහුගෙන් විමසුවා.
“අපි අපේ ජීවිතයේ බොහෝ දේ වෙනුවෙන් මුල්තැන දෙනවා. නමුත් අත්‍යවශ්‍යම දේ වෙනුවෙන් මුල්තැන දීම කෙසේ වෙතත්, ඒ ගැන හිතන්නෙවත් නැහැ. මිනිසා නිරෝගී සෞඛ්‍ය සම්පන්න ලෙස කටයුතු කිරීමට නම් අනිවාර්යයෙන්ම තමුන්ගේ ආහාරවේල ගැන විශ්වාසවන්තව සිතිය යුතුයි.
ආහාරවේල ගන්නා අතරේ ඊට අවංක විය යුතුයි. එය ගුණාත්මකව ශරීරයට ප්රත්යක්ෂ වන්නේ එවිටයි. ආහාරපානවලින් ලබන වින්දනය නිසි ලෙස කළොත් මිනිසා වඩා නිරෝගී වනවා. ඉතින් අවන්හලකට ඇවිත් ඒ අහරක මිහිරක වින්දනය ලබන පිරිස වෙනුවෙන් අවංක සේවය සපයන්න ඕනෑ.
ඉස්තරම්ම කුළුබඩු, ඉස්තරම්ම කළමනා යොදාගෙන අහරක ගුණ නොමරා, රසය ඇතිව ඒවා පිළිගැන්වීම කරන්න ඕනෑ. වට්ටෝරුවකට අයකරන මුදල ගැන සිතනවාට වඩා ඒ ආහාරවේල පිළියෙල කිරීමේ සිට පිළිගැන්වීම යනු තවත් කලාවක්. ඒ සියල්ල මා අත්දැකීමෙන් ලද දේවල්. මට ඒ මොහොතට අවංක වෙන්න ඕනෑ. බොරු කළොත් එය තාවකාලිකයි. ඒ හැරත් පිළිවෙළ කියන දේ මට තිබිය යුතුම දෙයක්. එය මාගේ ආත්මයෙන්ම ආ ගුණයක්. වාසනාවකට මගේ බිරිඳත් එහෙමයි. මම මගේ ළඟ සේවය කරන අයටත් ඒ පිළිවෙළ ගැන තමයි කියා දෙන්නේ. හැබැයි පිළිවෙළ අල්ලලා යන්නේ නැති අයට ‘කපිල බණ්ඩාර’ එක්ක වැඩ කරන්න බැහැ කියලත් හිතෙන්න පුළුවන්. කරන්න දෙයක් නැහැ. අපට ආහාරපාන එක්ක සෙල්ලම් කරන්න හෝ එය විහිළුවකට ගන්න බැහැ. අහරක රස සැබෑ ලෙස වින්දනය කරන රසවතාට ලෙඩත් අඩුයි, ඒ නිසා අපිට ආහාරපාන කලාවේදී ඒ ගැන සිතන්නම වෙනවා.
කපිල ඔබ ගැන ඔබට හිතෙන්නේ කොහොමද? තෝකියෝවේ අවන්හල් ද්විත්වයකම හිමිකාරීත්වය දැරීම ගැන? කොහොමද මේ දේ කළේ?
මීට අවුරුදු තුනකට පෙරදී ඔබ ජපානයට ඇවිත් සිටි මොහොතක AOYAMA හි තැප්‍රොබේන් අවන්හලට ආ ඔබ මගෙන් ඔය ප්‍රශ්නයම ඇහුවා.
“තෝකියෝවේ මේ වගේ සුපිරි තැනක අවන්හලක් දාන්න බය හිතුණේ නැද්ද?
මැරෙනවා නම්? මැරෙන්න ඕනේ යුද්ධයක් තියෙන තැනකදී. යුද්ධය දිනලා හෝ පැරදිලා මිය යන්නේ යුධ පිටියේදියි. ඒ අභියෝගය බාර ගන්න ඕනෑ. මෙහේ සල්ලි තියෙන ලාංකේය මිනිස්සු ලංකාවට ගිහින් අවන්හල් දානවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒත් ජපානයේ අවන්හලක් දැමීම ලොකු අවදානමක් බාරගැනීමක් වගෙයි. ලංකාවේදී විදේශිකයෙකු ආවාම විශේෂ සැලකිල්ලෙන් පිළිගෙන සත්කාර ලබා දෙනවා. නමුත් තෝකියෝවේදී විදේශීයද ආගන්තුකද? කියා කාටවත් වෙනසක් නැහැ. ක්‍රමයක් තියෙනවා, අධික මිලක් අයකරනවා. ඊට අදාළ සේවය ලබාදෙනවා. ඒ අභියෝගය ජයගන්න පුළුවන් කෙනා දිනනවා. මම ජපන් බස කතා කළත්, ජපාන ගමන් බලපත්‍ර හිමියෙකු වූවත්, තවම මම මෙතැනට ආගන්තුක පිටරැටියෙක් වගෙයි. ඒ තාප්පය බිත්තිය කඩාගෙන යන්න මම ආසයි. බැහැයි කියන දේ කරලා පෙන්වන්න, උත්සාහයක් හරි අරගෙන බලන්න මම ආසයි. ජපන් අය හරි හොඳයි. ඒ අයට මමත් ආදරෙයි. හොඳ වගේම ඒ අය නරකයි කියන්නත් පුළුවන්. එහෙම කියන්නෙ එයාලා එයාලගෙ රටට හරිම ආදරෙයි. තව කාටවත් ඇවිත් එයාලගෙ ක්‍රමය, විනය, දැක්ම, අපිරිසුදු කරන්න එයාලා ඉඩ දෙන්නෙ නැහැ. ඉතින් ඒ සියලු දේට අනුකූලව තමයි මම මේ ප්රයත්නය ජයගත්තේ. ඇත්ත වශයෙන්ම ලංකාවටත් අවශ්‍ය වෙන්නේ ඒ වගේ ප්‍රතිපත්තියක්. අවන්හලක් දැම්මත් දාන්න ඕනෙ, දැනෙන තැනෙක. රිදෙන තැනක, ඒක හරියට කපන්න බැරි අත ඉඹිනවා වගෙයි. අභියෝග ජයගන්නවා කියන්නෙත් ඒකටයි. මම මේ කළේ එයයි.
දැන් මේ අවන්හල් ද්විත්වය තෝකියෝවේ ජනප්‍රියයි. කොහොමද ඔබ එය ජනප්‍රිය කරගත්තේ?
මම මං ගැන ආඩම්බර වෙන්නේ මගේ ධෛර්ය හා කැපවීම නිසයි. ප්‍රධානම දේ ජපානයට ඇවිත් මම ඉගෙන ගත්ත දේ තමයි පිළිවෙළ, පිළිවෙළකට වැඩක් කිරීම. වෙලාවට වැඩක් කිරීම වගේම සියලු දේ. මම ජපානයට ණයගැතියි. ක්‍රමයත්, විනයත් තියෙන රටක් වට්ටන්නට බැහැ. ජපානය ආදරයෙන් උගන්වන දේ ඉගෙනගන්න කියන එක ශ්‍රී ලාංකිකයින්ට මම කියන්න කැමතියි. අම්මගෙන්, තාත්තාගෙන් ඉගෙන ගත්ත පිළිවෙළ මම මෙහිදී වැඩිදියුණු කරගත්තා.
අපිට ජීවිතය, ජීවත් කරවීමට ප්‍රධාන ආහාරවේල් තුන හරිම වැදගත්. ඒත් කීයෙන් කී දෙනාද ආහාරවේලකට මුල්තැන දෙන්නේ? තමුන්ට ආදරේ නම් තමුන්ගෙ ආහාර වේලටත් මුල්තැන දෙන්නම ඕනෑ. සමහර අයට වේල්තුනම හොඳට කන්න පුළුවනි. සමහර අයට එක වේලක්වත් කන්න නැහැ. එහෙනම් අපි ඉතා ගෞරවනීයව අපේ ආහාරවේලට මුල්තැන දෙන්න ඕනෑ. මගේ අවන්හලට පැමිණෙන සියලු දෙනාට ඒ අවකාශය සලසා තියෙනවා. මේ සියලු දේ නිසා තමයි මොන්සෙන් නාකචෝහි ඇරඹි මේ අවන්හලත් ජනතාව අතර ප්‍රකට වුණේ.
තෝකියෝව ජයගත් කපිලගේ ඒ ගමන සැබැවින්ම මොන්සෙන් නකචෝ වෙතින් නතර නොවේවි. තෝකියෝව යනු විශාල භූමි පරාසයකට විහිදී ගිය සුපිරි නගරයකි. කපිල එතැනින් නොනැවතී ජපානයේ තව තවත් නගර වෙත මේ අවන්හල් ජාලය ව්‍යාප්ත කරාවි. එතැනින්ද නොනැවතී ලෝකයද ජයගනීවි.
එලෙසින් ව්‍යාපාර ජයගැනීමේ රහස හැටියට මා දකින්නේ, ඔහුගේ සාර්ථක පවුල් ජීවිතයයි. එමෙන්ම ඔහු සතු ධෛර්යවන්තකමයි. තමුන්ට තමුන් විශ්වාස නම්, කළ නොහැක්කක් නොමැත. කපිල තෝකියෝවේ සිට අපට කියන්නේ ඒ පණිවුඩය නොවේද? තෝකියෝවට ගියොත් ඉඩක් ලදොත් යන්න මේ කපිල සතු Spicy Bistro Taprobane අවන්හල වෙත. එහි අහරක රසය ඔබට සතුටක්ම ගෙන දෙන බව නොඅනුමානයි.
සටහන / ඡායාරූප - සඳුන් ගමගේ