සීතලට මල් පිපෙන කඳුකරේ මල් උයන
එහෙමත් රෝස මල් සුවඳක්... මගේ හිත ගියේම කහ පාට රෝස මල්වලට. ඒක කවදාවත් වෙනස් නොවුණු කැමැත්තක්... තවත් කොච්චරක් නම් පාට රෝස මල් ඒ උද්‍යානයේ තිබුණද? සුදු, දම්, තැඹිලි, රතු, රෝස, දුඹුරැ, කහ පැහැගත් ඕකිඩ් මල් තිබුණද? එන්න ඒ මල් සුවඳ විඳගන්න... අපි ඉන්නේ හක්ගල... මේ සති අන්තේ walk 111 එක්ක අපි යන්නේ හක්ගල උද්භිද උද්‍යානයට.... වසන්තයට කොළපාට ගස්වැල් අතරේ හරි හරියට පාට පාට මල්... ඒ නිසාම තමයි අප්‍රේල් වසන්තයත් එක්ක හුඟක් අය නුවරඑළිය සීතල සනීපය වගේම සුන්දරත්වයත් විඳගන්න එන්නේ... වර්ෂ 1861 ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ තමා මේ කඳුකර උද්‍යාන රාජිනිය ඉපදෙන්නේ. මේ උද්‍යාන කුමරියට පීතෘත්වය දුන්නේ එවකට පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂක විදිහට හිටපු සර් එච්.කේ. තිවේටර්ස්. ඒ යුගයේ මේ උයනේ සින්කෝනා වගා කළා. සින්කෝනා කියන්නේ ඒ කාලයේ මැලේරියා රෝගය සඳහා භාවිත කළ වානිජ භෝගයක්. ඒ වගාවට යෝග්‍ය පේරැ රාජ්‍යයේ අන්දීස් කඳු වැටියේ තිබුණු දේශගුණයට සමාන දේශගුණයක් හක්ගල තිබුණ නිසා තමයි එහි දොරටු සින්කෝනා වෙනුවෙන් ඇරැණේ. අනිත් කාරණය එය කෝපි බෝගයට ආදේශක බෝගයක් විදිහටත් වගා කළා. සුද්දගේ කාලේ හිටපු නොක් නැමැති පවුලක් හක්ගල මල් උයන මලින් පොහොසත් උයනක් කරන්න සෑහෙන්න මහන්සි වී තියෙනවා. අදටත් ඒ උයනේ ඇති කුඩා ග්‍රීෂ්ම නිවස ඒ නොක් පවුලේ බැතිබර දායකත්වය සිහිකරන්නක්. ඒ නොක් පවුලේ හිටපු ජේ.කේ. නොක් කියන සාමාජිකයා තමා 1903දී මේ ග්‍රීෂ්ම නිවස හදලා තියෙන්නේ. ඒ නොක් මියගිහින් තියෙන්නේ නැව මුහුදු බත් වීමෙන්.
නුවරඑළිය නගරයේ සිට කිලෝමීටර් 9.6ක දුරකින් පිහිටි හක්ගල මල් උයන අක්කර 65ක පමණ භූමි ප්‍රමාණයකින් සමන්විතයි. රතු සහ රෝස පැහැයේ අසේලියා මල්, දුර්ලභ මීවන උයන, අලංකාර වීදුරැ ගෘහය ඇතුළු සොඳුරැ ඉසව් ගණනාවක් විද්‍යාත්මක පාරිසරික සහ අධ්‍යාපන වටිනාකම් සහිත මේ මනරම් උද්‍යානයේ තියෙනවා. වසරකට දෙස් විදෙස් සංචාරකයන් ලක්ෂ 18කට ආසන්න සංඛ්‍යාවක් හක්ගල නරඹන්න එන බව තමා කියන්නේ. වීදුරැ ගෘහයේ උෂ්ණත්වය ඉහළ අගයකින් යුක්තයි. ඒ නිසාම බාහිර පරිසරයේ සීතලට ඔරොත්තු නොදෙන ශාක හැදෙන්නේ වැඩෙන්නේ මේ වීදුරැ ගෘහයේ. සරැවට වැඩුණු ඉංග්ලිෂ් අයිව් ඒ අතර හිත නතර වෙන ශාකයක්.
හක්ගල මල් උයන නරඹන්න යද්දී මත්පැන් බීලා යන්නත් තහනම්. මත්පැන් ඇතුළට අරන් යන්නත් තහනම්. ඒ වගේම සංගීත භාණ්ඩ අරන් යන්නත් තහනම්. උයනක අසිරිය එපරිද්දෙන්ම රඳවා ගන්න තමා එහෙම නීති ඇති කරලා තියෙන්නෙත්.
අද හක්ගල මල් උයන තියෙන තැන එදා රාවණ රජුගේ ඔසුඋයන තිබුණ තැන කියලා තමා ජනප්‍රවාදය කියන්නේ. ඒ කොහොම වෙතත් අදටත් වටිනා ඔසු ශාක මෙහි තියෙනවා. සීතා දේවියට ඇස් රෝගයක් සැදුණු ඉනික්බිති මේ ඔසු උයනට රුගෙන විත් ප්‍රතිකාර කළ බවත් සඳහන්. සීතා කෝවිල වගේම සීතා දේවිය ස්නානය කළ ගංඟාවත් ලංකාවේ දුර්ලභ කළු වලාකුළු සහිත වනාන්තරත් හක්ගල පෙරටු කරගත් සොබාදහමේ සීමාවට අයත්. නිරන්තර වලාකුළුවලින් වැහෙන වනාන්තර තමා කළු වලාකුළු සහිත වනාන්තර නමින් හඳුන්වන්නේ.
ඉතින් හෙට ඉපදෙන අලුත් මලක... කහ රෝස කුසුමක සුවඳ සුන්දරත්වය විඳින්න හිතුණොත් මේ වසන්තයේ ඔයත් සීතල නුවරඑළියේ ගිහින් එන්න... එන ඉරිදට ආයෙත් යමු කොහේ හරි....
Text -Saara / Pic- Channa Kassapa Koralearachchi