සීතල පිණි බිංදු ඉසින රම්බොඩ ඇල්ල
ගහකොළට, වන සතුන්ට පෙම් බඳිමින් පරිසරයට ඇලුම් කරන විවිධ වූ මිනිසුන් අතරේ සුන්දර දියඇළිවලටද ප්‍රියකරන මිනිස්සු බොහෝ සිටිති. එවැනි දියදහරාවන්ට ආදරය කරන දෙස්-විදෙස් සංචාරකයන් විශාල වශයෙන් සංචාරය කරන සොඳුරු දසුනක මං සලකුණු ගෙන එන්නයි මෙවර අපගේ සූදානම.
‘සාඳුරු ඇල්ල’, ‘පූනා ඇල්ල’ යන නම්වලින්ද හඳුන්වන මෙරට 11වන ස්ථානය හිමිකර ගන්නා රම්බොඩ ඇල්ල, ලෝකයේ දියඇළි අතරින් 729 වන ස්ථානය හිමිකර ගනියි. මෙම දියඇල්ල වෙත පිවිසීමට රම්බොඩ නගරයට පිවිසිය යුතුයි. පේරාදෙනිය නගරයේ සිට පැමිණෙන සංචාරකයන් රම්බොඩ ඇල්ල නැරඹීම සඳහා පසුගිය වර අප ගමන් කළ සංචාරක ස්ථානය වන රම්බොඩ නව උමං මාර්ගය ආරම්භ වන ස්ථානයෙන් පහළට තිබෙන මාර්ගය ඔස්සේ ගමන් කළ යුතුය.
එම මාර්ගයේ ගමන් කරන විට හමුවන ‘Ramboda Falls’ හෝටලය තුළට පැමිණ රම්බොඩ ඇල්ලේ පහළ කොටස තේජාන්විත ලෙස ගලාබසින ආකාරය සංචාරකයන්ට දැකබලා ගැනීමට හැකිය. මේ සඳහා හෝටලයේ කාර්ය මණ්ඩලයේ අවසරය ලබාගැනීමටද සිදුවේ.
ඇල්ලේ ඉහළ කොටස සහ දියකෙළි නංවමින් ගල්තලාවන් තුළින් පෙනපිඬු නංවමින් ගලා බසින ඇල්ලේ අසිරිය විඳගැනීමට නම්, රම්බොඩ නගරය පසුකරනවාත් සමගම හමුවන පාලම අසලින් තිබෙන අඩිපාර ඔස්සේ ඉහළට ගමන් කළ යුතුය. ඒ සඳහා රුපියල් 50ක ප්‍රවේශ පත්‍රයක් ලබාගැනීමටද සංචාරක ඔබට සිදුවේ.
දියඇල්ලේ පාමුලට පැමිණීම සඳහා කිලෝ මීටර් 2ක පමණ දුරක් ඉහළට ගමන් කළ යුතුවේ. මේ සඳහා ගමන් කිරීමට ඇත්තේ ඉතා අසීරු ගමන් මගක් වුවත්, එම ගමන සඳහා ගතට විඩාවක් නොදැනේ. දිය දහරාවේ අසිරිය නරඹිමින් ගස්වැල් අතරින් ගමන් කරන එම අත්දැකීම වචනයෙන් පවා විස්තර කළ නොහැකි තරම් සොඳුරුය.
මෙම මාර්ගය ඔස්සේ ඉහළට ගමන් කරන විට එක් ස්ථානයක දී පහළට බැස යාම සඳහා මාර්ගයක් හමුවේ. එම මාර්ගය ඔස්සේ පහළට ගමන් කළහොත්, දියඇල්ලේ පාමුලට පිවිසිය හැකිය. අප එම ඉසව්වේ සංචාරය කළ, කාලවකවානුවේදී එම ප්‍රදේශයට අධික වර්ෂාවක් පතිත වූ බැවින් ඇල්ලේ පාමුලට අපට ගමන් කිරීමට නොහැකි විය. දියඇල්ලෙන් ඇඳ හැලෙන දිය දහරාව එතරම් ප්රචණ්ඩ වී තිබුණි. අප එතැනට වී දිය දහරාවෙන් පහළට වෑහෙන පිනි බිඳුවලින් ආස්වාදයක් ලබාගත්තේ එය සොඳුරුතම අත්දෑකීමක් වූ බැවිනි.
අප අතැනින් නික්ම දියඇල්ල නැරඹීම සඳහා සකස් කර තිබෙන නැරඹුම් අට්ටාලය සොයා ගමන් ඇරඹුවේ කඳු අතරින් පැමිණෙන සීතල සුළඟේ පහසද විඳගනිමිනි. රම්බොඩ ඇල්ලේ ආරම්භක ස්ථානයෙන් ජල දහරාව පහළට ගලා හැලෙන අසිරිය අපට එහි දී විඳගැනීමට හැකියාව ලැබුණි, එය මනස්කාන්ත දසුනකි. කොතරම් වෙලාවක් ඒ දෙස නෙත් යොමා සිටියත්, මනසට විඩාවක් ගෙන නොදෙයි.
පැයකට අධික කාලයක් එහි රැඳී සිටි අපි නැවතත් පැමිණි මාර්ගයේම පහළට ගමන් කිරීම සඳහා ගමන් ඇරඹුවෙමු. අපි ඉහළට ගමන් කරන විට, විඳීමට සිදු වූ දුෂ්කරතාවයන්ට වඩා දුෂ්කරතාවයක් එම ගමනේ දී විඳීමට සිදුවූවේ මාර්ගය ලිස්සන සුළු නිසාවෙනි. ඔබ මෙහි සංචාරය කරන්නේනම්, ඔබගේ ආරක්ෂාව සලසා ගැනීම ඔබගේ වගකීමකි. මෙහි දියනෑම එතරම් යෝග්‍ය නොවන බව ගම්වාසීන්ගේ මතයයි. එම නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ඔබ ගෙන යන කසළ එම භූමියේ දමා නොයාමටත් වගබලා ගන්න.
සටහන සහ ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර