සීගිරියේ සෙවනැල්ල වැටුණු මහ කිඹිස්ස වැව
සීගිරියට වහින්නේ එහෙමත් දවසකය. ගිනි රස්නයට හිරු පායමින් තිබූ පෙබරවාරියේ එක් දවසක අපි සීගිරියට ගියෙමු.
එහෙත් ගුරු පාට පාරවල් මත චිරිචිරි මඩ ඉතිරි කරමින් ධාරාණිපාත වැස්සක් සීගිරියට ඇද වැටී තිබිණි.
අහස මත කළු සළු අඳිමින්, වැහි දෙවඟනෝ තවත් වැස්සකට අර අඳිමින් සිටියහ.
සීගිරි ගල තරමක් දුරින් පෙනෙයි. ඊට ඔබ්බෙන් පිදුරංගලය. මේ වැහි සළු ලිහී ගිය විට සීගිරියට සේම පිදුරංගලට ද වැස්ස වැටෙනු ඇත.
අපේ ගමනාන්තය වූයේ සීගිරියේ වැවකි.
මහ කිඹිස්ස වැව ලෙස නම් ලද මේ වනගත වැව සොබාදහමේ ලස්සනම නිර්මාණකැයි සිතමි.
ගොවි ජනතාවක් ජීවත් වන මහකිඹිස්සේ සංචාරක ව්‍යාපාරයක් ද යම් තරමකට පවතින හැටි පෙනෙයි. විදේශීය සංචාරකයන් පාරිසරික සංවරණයට බොහෝ කැමති වීම ඊට හේතුවයි. තදබදයෙන් තොර ගමන් වින්දනයක් ලබාගැනීමට එතෙර සංචාරකයෝ ප‍්‍රිය කරති.
මහකිඹිස්ස පොලිසිය පෙනී පෙනී ඇති ගල් ඇල්ලූ පාර දිගේ ගියවිට මහකිඹිස්ස වැව තෙක් ගමන් කළ හැකිය.
පාර අද්දර ඇත්තේ රූස්ස වනස්පතියකි. දශක හය හතක් තිස්සේ හැදුණු මේ විසල් ගස, එක් ගසක් නොව ගස් දෙක තුනක සංකලනයක් බව බැලූ බැලූමට පෙනෙයි. එහෙත් එකිනෙක වැළඳ ගෙන එකට වෙලී පවතින මේ රූස්ස ගස සොබාදහමේ අපූරුවකි.
පාරේ දකුණු පස කොළ පාටට දිළෙන සාරවත් කුඹුරුයායකි. රන්වන් පැහැය ගන්නට බලා ඉන්නා කරලින් යුත් ඒ ගොයම් යාය සුදු පාට තංගුස් නූල්වලින් වටකර ඇත්තේය. පාර දිගටම මේ තංගුස් නූල් ඇද ඇති අතර ඒවායේ තැන තැන බියර් ටින් ද එල්වා තිබිණි.
සුළඟ හමනවිට මේ බියර් ටින්වලින් නැගෙන්නේ සිහින් හඬකි. කණ ළඟටම කිට්ටු කර මදුරුවා නගන හඬ මෙන්ම මේ හඬ ද සිහින්ය. එහෙත් කන් අඩි පවා හිරි වට්ටන තරම්ය.
පාර අද්දර ඇති හැම උස ගහකම පාහේ පැලක් ද ඉනිමඟක් ද වේ. ඒ ඉනිමඟ දිගේ පහසුවෙන් පැල් කොටයට නැග ගත හැකිය.
‘ඔය අලි එනවට’.
මහකිඹිස්ස වැවට අපට මඟ පෙන්වූ කාන්තාව කීවාය.
පුංචි කාලයේ ඇසූ තේරවිල්ලක් එක පාරටම මතක් විය. අලියා නොයන මඟ ඉනිමඟ ලෙසින් විසඳු ඒ තේරවිල්ල අනුව අලියා ඉනිමඟ දිගේ පැලට නගින්නේ නැත.
‘‘මේ තංගුස් නූල දැක්කාම අලි හිතන්නේ මේකත් විදුලි වැටක් කියලා. මේ බියර් ටින් හෙල්ලෙන කොට නැගෙන හීන් හඬට අලියා රැුවටෙනවා.’’
පටු ගුරු පාර දිගේ තවත් ඉදිරියට යමි. වැවේ ඉවුරේ නතර කර ඇති පාරු දෙකකි. ලී ඔරු දෙකක් එකට යා කර ඒ මත හැ¥ පාරුව නිසා මේ පාරු සුන්දර නිර්මාණයකි. ඒ තට්ටුව මත මැදටවන්නට තැනූ වේදිකාවේ දහදෙනකුට පමණ වාඩිවන්නට පුළුවන. අව්වෙන් වැස්සෙන් ආරක්ෂා වන්නට තැනූ පොල් අතු වහලයකි.
‘මේ ටුවරිස්ට්වලට හදපු ඔරුනෙ’.
අපේ මඟ පෙන්වන්නිය පවසයි.
‘‘ටවුමෙ තියෙනවා සංචාරකයො එකතු කරන තැනක්. එතනින් තමයි ජීප් සෆාරි, කරත්ත සෆාරි ලෑස්ති කරන්නේ. ජීප් සෆාරිය යන්නේ සත්තු බලන්නේ එහෙම. දඹුල්ලට හිඟුරක්ගොඩට වගේ කැමැති තැනකට’’ කරත්ත සෆාරිය යන්නේ ගම මැදින්. පටු ගුරු පාරවල්වලින් අන්තිමට කරත්තෙ ඇවිත් වැව අද්දර නතර කරනවා. එතැනින් සංචාරකයො මේ පාරුවට නගිනවා. ඊට පස්සේ වැව වටේ රවුමක් එක්ක ගෙන ගිහින් වැවේ එහා කෙළවරේ තියෙන හට් එකට එක්ක යනවා. එතෙන්දී කෙටි කෑම එක්ක තේ එකක් දෙනවා. ටික වෙලාවකට පස්සේ ගමේ සිරි වැවේ සිරි නරඹන සංචාරකයන් හිටපු තැනටම ආපහු එක්කගෙන යනවා.
‘ඉතින් මේ කරත්ත සෆාරියට සංචාරකයො එනවද?’
මගෙන් අතුරු ප‍්‍රශ්නයකි.
‘අපොයි ඔව්. ටුවරිස්ලා මේ වගේ දේවල්වලට කැමැතියි. දැන් මේ වගේ කරත්ත ගමන් කොළඹවත් දකින්න නැහැනේ’.
මේ සෆාරි කරත්ත ඇඳගෙන යන්නේ දිගු අං සහිත සුදුපාට හරකුන්ය. සාමාන්‍යයෙන් ඔවුන් හඳුන්වන්නේ කින්නියා හරක් යන නමිනි. මේ හරක් අපේ අනෙක් හරකුන්ට වඩා ලස්සනය.
වැවේ මැදක්වන්නට අපි දැන් පැමිණ ඇත්තෙමු. වැවට ඔබ්බෙන් පෙනෙන්නේ පැතලි ගලකි. බැලූ බැල්මට මේ ගලේ දිග වැඩිය.
පිදුරංගල මම මටම කියා ගතිමි.
‘‘ඔය පිදුරංගල නෙමේ. දුවන්නා ගල. පිදුරංගල තියෙන්නේ. සීගිරිගලට වම් පැත්තෙන්.’’
අපේ මඟපෙන්වන්නිය කියයි.
‘‘දුවන්නාගල.’’?
මම විමතියෙන් විමසමි.
‘ඔව් අපි පුංචි කාලෙ ආතලා ආච්චිලා කියලා තියෙනවා ඔය ගලේ නිදන් තිබුණා කියලා. ඒ නිදන් පරෙස්සම් කරන යක්ෂණියක් හැමදාම ?ට ඔය ගල දිගේ එහාට මෙහාට යනවා. නිකම් නෙමෙයි ලොකු හුලකුත් අරගෙන ඒ යක්ෂණී යන්නේ දුවගෙන. ඒ නිසා දුවන්නාගල කියන නම මේ ගලට වැටිලා තියෙන්නේ.
‘‘දැන් ඒ යක්ෂණී නැද්ද?’’
‘‘දැන් නම් නැහැ.’’
‘‘ගිනිහුල වැවට වැටිලා නිමෙන්න ඇති එහෙනම්.’’
මම විහිළුවට කීවෙමි.
තවත් ටිකක් දුර යනවිට දුවන්නාගල සීගිරිය සහ පිදුරංගල යන ගල් ශිඛර තුනම පෙනෙන්නට විය. සැබැවින්ම එය සුන්දර දසුනකි.
මේ දසුන නිසාම මහකිඹිස්ස වැව සංචාරක ආකර්ෂණීයට පත් වූ තැනක්ව ඇත.
වැවේ මැදින් උස් ගස් දෙපේළියකි. හරියටම බැලූවොත් වැව මැද ඒ ගස් දෙපේළිය ලතාවකට රෝපණය කළාක් වැනිය.
එකී ගස් ජලයේ සෑදෙන ගස් විශේෂයකි.
‘‘වැවේ වතුර අඩු කාලෙට අලි එනවා පීනගෙන. සමහර දවස්වල හවහට, හැන්ඳෑවට මේ වැවට අලි රංචුවක් එනවා. ඊට පස්සේ උන් වැවෙන් ගොඩ වෙලා අහලපහළ ගෙවතුවලටත් යනවා. කුඹුරුවලටත් බහිනවා. ඒ නිසා කළුවර වැටුණට පස්සේ ගෙවල්වලින් පිටඉන්නේ පැල් රකින කට්ටිය විතරයි. අපි නම් ගෙවල්වල දොරවල්වත් අරින්නේ නෑ.’’
මඟපෙන්වන්නිය කියන්නේ හිතේ බියද සංත‍්‍රාසය ද උපදවමිනි.
අපි වැවේ කෙළවර දක්වාම ගියෙමු. එතැන පිටවාන සාදා ඇත. වැවට අතිරික්ක වතුර ඒ පිටවාන දිගේ ඉවතට ගලා යයි.
‘‘තව ටිකදුරක් ගියාම තවත් වැවක් තියෙනවා. ඒක පටන් ගන්නේ දුවන්නා ගල පාමුලින්. ඒ වැවේ නම එගොඩ වැව. ඔය විදිහට ළඟින් ළඟින් වැව් පහක්ම තියෙනවා.’’
ඇගේ කටහඬ ඉක්මවමින් කිරලකුගේ ඝෝෂාව ඇසෙයි. ඒ එක්කම ඈතින් ඇසෙන්නේ මොනරකුගේ කෑ ගැසීමයි.
මේ සියල්ලටම සවන් දියයුත්තේ රැුයක වැව අද්දර පැල් කොටයක නැගගෙනය. නිකම්ම නොවේ සඳ පායන රාත‍්‍රීයකය. සඳ එළිය වැව් දිය හා මුසු වූ විට මැවෙන්නේ කවියකි. සුළඟ තුරුපත්වල වැදී නගන සිරි සිරිය සංගීතයක් වෙයි. එවිට අර කවිය ගීයක් බවට පත්වෙයි.
කිරල් හඬ
මොනර හඬ
නරින්ගේ හූ හඬ
අලින්ගේ කුංච නාද ආදී වූ විවිධ හඬවල් රාත‍්‍රියේ නිහඬ බව බිඳින විට කලාතුරකින් මෙහි එන සංචාරකයකුට සුන්දරම අත්දැකීමක් ලැබෙනු ඇත. එහෙත් සීගිරියේ ගැමියන්ට නම් එවැනි සුන්දරත්වයක් නොදැනෙනු ඇත.
හේතුව මේ සියල්ල ඔවුන්ගේ ජීවිතවලට කටුක බව එක් කිරීමය.
ශාන්ත කුමාර විතාන