සැරියුත් මුගලන් ධාතූ ඇති ආරණ්‍ය සේනාසනය
ලංකාද්වීපය පුරාම ආගමික වශයෙන් මෙන්ම ඓතිහාසික වශයෙන් විශාල වටිනාකම් සහිත පූජනීය ස්ථාන රැසක් තිබේ. මේ අතරින් නැගෙනහිර පලාතේ අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර නගරයට කිලෝමීටර් කිහිපයක් දුරින් පිහිටා ඇති 'බුද්ධංගල ආරණ්‍ය සේනාසනයෙහි' ඇති පුරාවිද්‍යා වටිනාකම සහ ආගමික වටිනාකම කියා නිම කළ නොහැක. දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන බුද්ධංගල ආරණ්‍ය සේනාසනය අද වනවිට බෞද්ධයන්ගේ සහ සංචාරකයන්ගේ නොමඳ ගෞරවයකට ලක් වන ස්ථානයකි. බෞද්ධ වශයෙන් වැදගත් වන මෙම බිනර පොහෝ දිනයේදී ඔබට බුද්ධංගල ආරණ්‍ය සේනාසනය පිළිබඳව ලිපියක් පල කරන්නට අප සිතුවේ මෙම ආරණ්‍යයේ ඇති වැදගත්කම පිළිබඳව ඔබට පැවසීමටය.
බුද්ධංගල ආරණ්‍යයෙහි ඉතිහාසය ක්‍රිස්තු පූර්ව දෙවන සියවස දක්වා ඈතට විහිද යයි. එකල දිගාමඬුල්ලේ පාලකයා වූ දීඝායූ කුමාරයා විසින් දියුණු කරන ලදැයි සැලකෙන බුද්ධංගල ආරණ්‍ය සෙනසුනට ඉන් පසුව බිහිවූ පාලකයන් කිහිප දෙනෙකුගේද නොමද අනුග්‍රහය ලැබී ඇති බවට සාක්ෂි හමුව තිබේ. ශත වර්ශ ගණනාවක්ම රහතුන් වහන්සේලා වැඩ සිටි බවට සඳහන් වන බුද්ධංගල ආරණ්‍ය කාලිංග මාඝ ආක්‍රමණයෙන් අනතුරුව මිනිස් ජනාවාසයන්වලින් ඈත් වූ බවට ජනප්‍රවාදය කියා පායි. නමුත් වරින් වර භික්ෂූන් වහන්සේලා භාවනා යෝගීව වැඩ සිටි මෙම ආරණ්‍ය ඒ ඒ කාලයන්හිදී සිදු වූ විවිධ හේතූන් නිසා කාලයෙන් කාලයට ජන ශූන්‍ය වී තිබේ. අතීතයේ මෙම පුද භූමිය 'කරක්ධිගල' යනුවෙන් හඳුන්වා තිබෙන බව පුරාවිද්‍යාඥයින් විශ්වාස කරයි. කෙසේ නමුත් බොහෝ කාලයක්ම මහ වනයකින් වැසී තිබුණු බුද්ධංගල 1964 වසරේදී ගල්ඔය සංවර්ධන ව්‍යාපෘතියේදී නැවත ප්‍රතිසංස්කරණය කරමින් බෞද්ධයන් සඳහා විවෘත විය.
බුද්ධංගල ආරණ්‍ය සේනාසනයට අයත් භූමි වපසරිය අක්කර 1200කට අධික බව සොයාගෙන තිබෙන අතර ඉන් අක්කර 200ක භූමි ප්‍රමාණයක් තුළ පුරා විද්‍යාත්මක නටඹුන් තිබේ. විශාල ගල් පර්වත කිහිපයකින් වට වූ භූමියක් තුළ තිබෙන බුද්ධංගල වනයෙහි නිරන්තරයෙන් වනසතුන් ගැවසේ. විහාරය සාදා ඇති ගල් පර්වරතයන් තුළට යෑම සඳහා අද වනවිට කුඩා කුඩා පාලම් නිර්මාණය කර ඇත. මෙහි ඇති සෑම ගල් තලාවකම තැනින් තැන නටඹුන් තිබෙන බවට විශ්වාස කරයි.
මෙයින් වඩාත් ප්‍රධාන වන්නේ දැනට ස්ථූපය සහ බුදු මැදුර පිහිටා ඇති විශාල ගල් පර්වතයයි. මෙහි පැරණි ගොඩනැගිලි හයක පමණ නටඹුන් තිබූ බවට සොයාගෙන ඇත. ඉන් එකක් පැරණි ස්ථූපයක් බවටද පුරා විද්‍යාඥයෝ පවසයි. මෙම ගොඩනැගිලිවල තිබුණු දැනට සොයාගෙන ඇති ගල් කණු පැරණිම යුගයේ ස්වරූපය දරයි. පසුකලෙක බුද්ධංගල ආරණ්‍යය ප්‍රතිසංකරණයේදී මෙහි පොලොවේ යට සැඟව තිබූ දඹරන් කරඬුවක් ඇතුළු පුරාවස්තු රැසක් හමුව තිබේ. එම නිධන් වස්තු ප්‍රතිසංස්කරණය කළ ස්ථූප ගර්භයෙහි තැන්පත් කර තිබෙන බවට පවසයි.
බුද්ධංගල විහාරය බෞද්ධ වශයෙන් බොහෝ වැදගත් වන්නේ සැරියුත් සහ මුගලන් අග්‍ර ශ්‍රාවක වහන්සේලාගේ ධාතූන් තැන්පත් කර ඇති නිසාය. මෙම ධාතූන් වහන්සේලා සෑම වර්ශයකම පොසොන් පොහෝ දිනයන්හිදී ලෝකවාසී බෞද්ධයන් සඳහා වැඳපුදා ගැනීමට ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබේ.
බුද්ධංගල ආරණ්‍යයේ දක්නට ලැබෙන නටඹුන් අතර අනුබුදු මිහිඳු හිමියන් සමග ලංකාවට වැඩම කළ සර්වඥ ධාතූන් වහන්සේලා සහ අග්‍ර ශ්‍රාවක ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම සඳහා උත්තිය රජු විසින් නිර්මාණය කළ වටදාගෙයක් දක්නට ලැබේ. එකල රෝහණයෙහි හඳුනාගත් වටදාගෙවල් දහ අටෙන් එකක් ලෙස මෙම වටදාගෙය හඳුන්වනු ලබයි.
තවද ලක්දිව බුද්ධ ප්‍රතිමා නිර්මාණය ආරම්භ වීමට පෙර මිනිසුන් වැඳුම් පිදුම් කළ බවට සැල කෙරෙන 'රවුම් දුර්ලභ ගණයේ පදලස් ශිලාවක්'ද බුද්ධංගල ආරණ්‍ය සේනාසනයෙහි දක්නට ලැබේ. තවද මෙම වනයෙහි භාවනා කළ භික්ෂූන් වහන්සේලා උදෙසා චිත්‍රා දේවිය, දීඝායූ පරපුරෙන් පැවත එන දීඝගාමීණී හා උත්තිය රජු වැනි පාලකයන් විසින් ඉදිකළ භාවනා ලෙන්ද දක්නට ලැබේ. මේ ආකාරයෙන් මහා සංඝයා වෙනුවෙන් භාවනා කුටි සඳහා ගල් ලෙන් කටාරම් කොටා බිත්ති බැඳ මහා සංඝයාට පිදූ බව මෙහි ඇති බ්‍රාහ්මීය ලිපිවලින් පවසයි.
1964 වසරේදී මෙම ස්ථානය නැවත සොයාගෙන ප්‍රතිසංස්කරණයේදී අති පූජ්‍ය 'කලුතර ධම්මානන්ද මා හිමියන් සහ අතිපූජ්‍ය බටයායේ අරියවංශ හිමියන්' මහත් වූ දායකත්වයක් ලබා දී ඇත. වර්තමානය වනවිට මෙහි විශ්‍රාම ශාල, දාන ශාලා ඇතුලු සියල අංගවලින් සමන්විතව විශාල දියුණුවක් ලබා ඇත.
මේ වනවිට දෙස් විදෙස් සියළුම සංචාරකයින්ගේ ආකාර්ශණය දිනූ බෞද්ධ පුදබිමක් වන බුද්ධංගල ආරණ්‍යය නැරඹීම සඳහා දිනකට විශාල පිරිසක් පැමිණෙනු ඇත. සංචාරකයින් කොපමණ පැමිණියත් තවමත් මෙහි වටපිටාව නිහඬ නිස්කලංකත්වය නොමැකී ආරක්ෂා වී තිබේ. එම නිසා මෙම ඓතිහාසික පූජනීය නරඹන්නට එන ඔබගෙන් අප ඉල්ලා සිටින්නේ මෙය නරඹා, වැඳපුදා, අවශ්‍ය ඉතිහාසාත්මක දැනුම ලබා මෙහි වටිනාකම මතු පරපුරටත් දැක බලාගැනීමට ආරක්ෂා කරන ලෙසයි.
කැළුම් දේවින්ද / ඡායාරූප - ශමීර රාජපක්ෂ