කමකුරා බලන්න kotoku-in පන්සලට යමු
සඳුන් එක්ක ලෝකෙ වටේ
1952 දී විතර ලෝක සාම සමුළුව ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සින්කෝ නුවරදී පැවැත්වුණා. දෙවැනි ලෝක යුද්ධය නිසා ඇති වෙච්ච විරසක වීම් මත මේ වනවිට ඇමෙරිකාව ජපානය එක්ක බද්ධ වෛරයකින් හිටියෙ. මතකනෙ හිරොෂිමාවට බෝම්බ පවා හෙළූ විදිහ. එය සදාකාලික ශෝකයක් උරුමකළ ඛේදාන්තයක්. අදටත් පරමාණු බෝම්බයේ අනිසිඵල හිරොෂිමාව අවට ජනයා අතිවිඳින බව කියන්න පුළුවන්. නමුත් ඒ ඔක්කොම අතීත සිදුවීම් අමතක කර දමා ජපානය පසු කලෙක ඇමෙරිකානුවන් සමග මිත්රත්වයක් ඇති කරගත් බව සැබෑය.
එහෙත් එදා 1952 සැන් ෆ්රැන්සිස්කෝ නුවරදී පැවැත්වූ සාම සමුළුවේදී ජපානයට එරෙහිව බද්දක් පැනවීම සඳහා ඇමෙරිකාව යෝජනා කරද්දී, ඊට මිත්ර පාර්ශ්වයේ සමහර රටවල් ඇමෙරිකාව සමග එක්වෙද්දී, අපේ හිටපු ජනපතිවරයෙකු වන ජේ.ආර්. ජයවර්ධන මහතා එදා ශ්රී ලංකා ආණ්ඩුවේ ඇමතිවරයෙකු ලෙස එම සමුළුවට සහභාගීවී සිටියා. එතුමා බෞද්ධ දර්ශනයේ හරය කියා දෙමින් ‘නහී වේරේන වේරානි’ හෙවත් අප කවුරුත් දන්නා පරිදි ‘වෛරයෙන් වෛරය නොසන්සිඳේ, අවෛරයෙන්ම වෛරය සන්සිඳේ’ යන්න, එතුමාගේ චතුර ඉංග්රීසි කථනයෙන් ප්රකාශ කර සිටියා.
ඒ දර්ශනය කෙතරම් දුරට සමුළුවේ අය සාක්ෂාත් කර ගත්තාද යත්, ජපානයට බදු පැනවීම කෙසේ වෙතත් ඒ යෝජනාවත් අහක් කෙරුණා. මේ සිදුවීමට පෙර සිටම ජපානය ශ්රී ලංකාව සමග නාවුක කටයුතු වැනි දේ සමග සබඳතා පවත්වා තිබුණද, ලොකු මිත්රත්වයක් නම් හටගෙන තිබෙන්නේ ජේ.ආර්. ජයවර්ධන මැතිඳුන් එදා ජපානය වෙනුවෙන් පෙනී සිටි නිසා යැයි, අප කවුරුත් දන්නා කරුණක්. ජපානය ජේ.ආර්. ජයවර්ධන මහතාට කෙතරම් ගරු කළේද යත්, කමකුරා පන්සල් භූමියේදී සමරු ඵලකයක් පවා තැනුවා. තනලා එතුමාගේ රුව සහිතව ‘නහී වේරේන වේරානි’ වැකියද සමග වූ විස්තරයක් එහි සඳහන් කර තිබෙනවා. වතාවක මේ කලාපය සුනාමියකට හසුවීම නිසා මේ ඵලකයට හානි සිද්ධ වුණා. ඒත් නැවතත් සමරු ඵලකය පිළිසකර කර ප්රදර්ශනයට සැලැස්වීමට ජපාන බලධාරීන් කටයුතු කළා. ලෝකය වටේ යන අතරේ ජපානයේ සංචාර අලළා ‘සාරවිට’ ගෙනෙන ලිපි මාලාවේ අද මා කතා කරන්නේ මේ සමරු ඵලකය දැකගත හැකි කමකුරා පන්සල සහ ඒ අවට භූමිය ගැනයි.
මේ කමකුරා නගරය පිහිටා ඇත්තේ ජපානයේ ටෝකියෝවේ දකුණු පෙදෙස වන්නට මුහුදු සීමාවට නුදුරින් පිහිටා තිබෙනවා. ටෝකියෝවේ සිට කවසාකි සහ යොකෝහාමා මග ඔස්සේ ප්රවේශය ලබාගැනීම වඩාත් පහසුය. ඒ මග ඔස්සේ ගිය විට ගතවන්නේ පැයකුත් විනාඩි දහයක වැනි කාලයක් ගත වන අතර, ටෝකියෝවේ නැත්නම් තෝකියෝවේ සිට කමකුරා සඳහා ඇති දුර (ඒ මග ඔස්සේ) කිලෝමීටර් 62ක්.
කමකුරා නගරය අයත් වන්නේ කනගාවා දිස්ත්රික්කයටයි. නගරයක් ලෙස නිර්මාණය වී ඇත්තේ 1939 දී විතර. පසු කලෙක නවීනත්වයට තරමක් නතු වූ කමකුරා යනු ජපානයේ දිගු ඉතිහාසයකට උරුමකම් කියන නගරයක්. එය හැඳින්වෙන්නේ කමකුරා සමය ලෙසිනි.
මේ කමකුරා ශ්රී ලාංකිකයන් මෙන්ම කමකුරා වෙත පැමිණෙන ලෝ පුරා වෙසෙන බෞද්ධ ජනයා අතර වඩා ප්රකටව ඇත්තේ කමකුරා - බුද්ධ ප්රතිමාව නිසාය. එනම් ඉහත සඳහන් කළ ජේ.ආර්. මහතා වෙනුවෙන් සෑදූ සමරු ඵලකය ඇති පන්සල් භූමියේය. 4 Chome z – 28, Hase, Kamakara, Kanagawa Prefecture 2480016 යනු ඊට අයත් ලිපිනයයි. අමිතාභ බුද්ධ ලෙස හැඳින්වෙන මෙම කමකුරාහි තනා ඇති අති විශාල බුද්ධ ප්රතිමාව තනා ඇත්තේ තනිකරම තඹ ලෝහ යොදා ගෙනයි. ‘Kotoku-in’ යනුවෙන් පන්සල් භූමිය නම් කර තිබෙනවා. මෙම බුද්ධ ප්රතිමාව වැඳ පුදාගැනීමට යාමට පෙර, ඇතුළුවන පරිශ්රයේ ඇති ජල තටාකයෙන් අත් දෝවනය කර ගෙන යාමට බැතිමතුන් අමතක නොකරයි.
අතීතරයේ සිට අවස්ථා කීපයකදීම භූ කම්පන හා සුනාමි තත්ත්වයන් නිසා පිළිමයට සුළු සුළු හානි සිදු වූ අතර පසුව ඒ සියල්ලට ඔරොත්තු දෙන පරිදි නිම කිරීමට බලධාරීන් සමත් වී තිබෙනවා. දත්තයන්ට අනුව මෙම පිළිමයෙහි බර ටොන් 121කි. උස අඩි 43.8ක් පමණ වේ. පිළිමය පිටුපස පෙදෙසින් ඇතුළත ගර්භයට ප්රවේශ විය හැකි පරිදි තනා තිබේ. බැතිමතුන් ඇතුළත ගර්භයට යාමට අමතක නොකරයි. මේ katoku-in පන්සල් භූමිය අවට නිස්කලංකව ගත කිරීමට බොහෝ සංචාරකයන් මනාපයක් දක්වනවා. සංචාරකයන් අතර කමකුරාහි බුද්ධ ප්රතිමාව ලෙස වඩා ජනප්රියව ඇති අතර, එය ජපානයේ ඇති විශේෂිත සලකුණක්ද වනවා. ජපානයෙහි මොන තරම් දේ නැරඹිමට ගියද බෞද්ධ බැතිමතුන් මේ කමකුරා වෙත යාමට නම් අමතරක කරන්නේම නැහැ. කමකුරා ඇතුළු ජපානයේ සංචාරයක නිරත වීමට ඔබ අදහස් කරන්නේ නම් 011-2869986 රාජගිරියේ Ni-cey international අමතන්න.
සටහන හා ඡායාරූප - සඳුන් ගමගේ