සද්දන්ත සුරතලුන්ගේ දඟකාරකම් බලන ඇත් අතුරු සෙවණ
පුංචි දරුවන් බලාගන්න එක හරියට අලිපැටවු බලාගන්නව වගේ කියලා ජනවහරේ කියවෙනවා. අපේ වැඩිහිටියෝ එහෙම කියන්නේ දරුවන් හුරතල් වගේම දඟකාර නිසයි. එක තැනක රැඳී සිටීම පුංචි දරුවන්ට කොහොමවත් බැරි දෙයක්. ඒ වගේම තමයි පුංචි අලි සුරතලුන්ටන් හරිම දාංගලේ. අලි නැරඹීමට හැමදෙනාම ප්‍රිය කරනනේ එවැනි දඟකාරකම් නිසා වෙන්න ඇති. කොතරම් දැක්කද එපා නොවන මේ සද්දන්තයා ඉතිහාසයේ සිටම මිනිස් ක්‍රියාකාරකම්වලට සම්බන්ධව සිටි සමීපතම සත්ත්වයෙක්.
අති උතුම් දළදා වහන්සේ පිට මත තබාගෙන ගමන් කිරීමට තරම් භාග්‍ය සම්පන්න වූ සතෙක්. වනයේදී කොතරම් සද්දන්තයෙකු වුවත් මිනිසා සමග සමීපතවම කටයුතු කරන මිනිසාට බොහො උපකාරී වන සතෙකි. පුංචි නිවාඩුවකදී අලි නැරඹීමට සංචාරය කිරීමට ඔබ වැඩි උනන්දුවක් දක්වන්නෙත් ඒ පෙර සිට ආ බැඳීම් නිසාම වෙන්නට ඇති.
අද ඔබට හඳුන්වා දෙන්නේ පුංචි සද්දන්ත පැටවුන්ගේ හුරතල් සමීපයේ සිටම විඳගැනීමට ඇති ස්ථානයක් පිළිබඳවයි. උඩවලව ඇත් අතුරු සෙවණ් ඔබ සංචාරය කර ඇතැයි අප සිතනවා. එය සැබැවින් පුංචි දරුවන් සමග දැක බලා ගැනීමට අගනා තැනක් වන බවද නොකිවමනාය.
1995 වසරේදී පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ලෙස මෙය ආරම්භ කර තිබෙනවා. ස්වාභාවික විපත්, විවිධාකාර මානව ක්‍රියාකාරකම් වගේ මව් සෙනෙහස අහිමි වී අනාථ අලි පැටවුන් දැක බලාගැනීම මෙහි ප්‍රධාන අරමුණ බවට පත්ව ඇත.
70 දශකයේ මුල් භාගයේදී එවකට රජය විසින් වනඅලින් ඇල්ලීම තහනම් කිරීමෙන් අනතුරුව අලි ඇතුන් සංරක්ෂණය කිරීමේ වගකීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අලි ඇතුන්ට පිහිටවීම සඳහා මධ්‍යස්ථානයක් පිහිටුවා තිබේ.
මෙහි පළමු සාමාජිකාව වන්නේ කේරළේ ඇතින්නියක බවයි මෙහි වෛද්‍ය විජිත පෙරේරා මහතා සඳහන් කර සිටියේ. ඇගේ සුරතල් දඟකාරකම් නිසා කෝමලී යන නම යොදා ඇත. අද වන විට වයස 5-7 අතර අලි පැටවු මෙහි ආරක්ෂාව ලබමින් හැදී වැඩෙති. ඇත් අතුරු සෙවණට රැගෙන එන පැටවුන්ට රැගෙන එන ප්‍ර‘දේශ අනුව නමක් තැබීම සිරිතකි.
මේ අනුව අම්පාර නාමල් ඔයෙන් හමුවු පැටවා නාමල්ය. මීගලෑවෙන් රැගෙන ආ පැටවාට මිගාර යන නම තබා ඇත. එසේම ඇත් අතුරු සෙවණ රැකවරණය ලබන පැටවුන්ට කැපකරු මාපියෝ ද සිටිති. ඒ අනුව ඔවුනට කැමති නමක් තැබීමට අවස්ථාව හිමිව තිබේ. සෙරන්ඩිබ්, ඉන්දි, මැටිල්ඩා එවැනි නම්ය.
ඇත් අතුරු සෙවණේ රැකවරණය ලබන සුරතලුන්ට කිරි ලබාදෙන අවස්ථා කීපයකි. දවසේ උදේ 6.00 - උදේ 9.00, දහවල් 12.00, සවස 3.00 - සවස 6.00 වැනි වේලාවන්වලදීය. මෙම අවස්ථාවලදී සංචාරකයන්ට කුඩා අලි පැටවුන් නැරඹීමට අවස්ථාව උදාකර දී තිබෙනවා.
පැටවුන්ට කිරි ලබාදෙන අවස්ථාව හරිම හරිම ප්‍රිය උපදවන දසුනකි. කිරි ලබාදීමට රැළෙන් පැටවුන් දෙදෙනා ලෙස මුදා හරිති. අවස්ථාව උදාවන තුරු පැටවුන් සිටින්නේ නොඉවසිල්ලෙනි. කිරි බීමට පොර කති. කිරි මදිව කෑ ගසති. කිරි ලබාදෙන බටය හොඬෙන් තද කර ගනිමින් තවත් ඉල්ලති. එකිනෙකා පොර බදිති. මෙම දසුන් හරිම අපූරුය. සේවකයන්ට පැටවුන් හැසිරවීමට අපහසු වන අවස්ථා බහුලය. ඇතැම් විට ඒ සඳහා කෝටුවක් පෙන්වීමට සිදුවන අවස්ථාද එමටය.
මේ දිනවල සිටින පැටවුන් අතර චූටි මැණිකේ කාගෙත් හිත දිනා ගැනීමට සමත් වී ඇත. චූටි මැණිකා කිසිදු කලබලයක් නැතිව කියන දේ හොඳින් අසන බව දැක ගත හැකිය. මෝනිස් ටිකක් විතර දඟයි. තමන්ට ලැබෙන කිරි ප්‍රමාණයෙන් සෑහීමකට පත්වන්නේ නැති හැඩයි.
මෙවන් කදිම වූ දසුන් රැගත් ඇත් අතුරු සෙවණ දැක බලාගැනීම හරිම සොඳුරුයි. වෛද්‍ය විජිත පෙරේරා මහතා සඳහන් කළේ පැටවුන්ගේ ආරක්ෂාව ගැන සෞඛ්‍ය පිළිබඳ නිරන්තර කල්පනාකාරීව කටයුතු කරන බවයි.
වනජීවී රක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යන මෙම ඇත් අතුරු සෙවණ පවත්වාගෙන යන්නට විශාල පිරිවැයක් දැරීමටද සිදුවන නිසා මහජනතාවටද ඒ සඳහා පරිත්‍යාග කිරීමට හැකියාව පවතින බවත් ඒ මහතා පවසා සිටියේය.
ස්ථාන භාර පශු වෛද්‍ය නිලධාරී, ඇත් අතුරු සෙවණ, උඩවලව යන ලිපිනයෙන් ඒ පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට හැකිය.
ශාන් බන්දු වීරසිංහ