සතුන් එළියෙ අපි කූඩුවේ
ලංකාවේ සත්ත්ව උද්‍යාන ඕනෑ තරම්. ඒ හැම එකකම වගේ සත්තු කූඩු ඇතුළේ. බලන්න යන සංචාරකයෝ එළියේ. සංචාරකයින්ට බලන්න අර අහිංසක සත්තු කූඩු ඇතුළේ දුක් විඳින්න ඕනෑ. අවිහිංසාව වගේම වන සතුන් සුරකින්නත් දැවැන්ත වැඩපිළිවෙළ යෝජනා වෙන ලෝකේ මේ ක්‍රමවේදය දැන් ටිකක් යල් පැනගිය එකක්. මේ නපුරැ සත්වෝද්‍යාන ක්‍රමය වෙනුවට දැන් ලෝකයේ තිබෙන අලුත්ම ක්‍රමය තමයි සත්තු එළියේ බලන්න යන සංචාරයින් කූඩුවේ. එළිමහත් සත්වෝද්‍යාන, එහෙමත් නැත්තම් සෆාරි උද්‍යාන කියලා හඳුන්වන මේ නව ආකාරය ලෝකයේ වේගයෙන් ව්‍යාප්ත වෙනවා. ඔබ නොදන්නවා වුණාට දැන් එවැනි අපූරැ එළිමහන් සෆාරි උද්‍යානයක් ශ්‍රී ලංකාවේත් තියෙනවා. ඒ තමයි රීදියගම සෆාරි උද්‍යානය. මේ දවස් ටිකේ අපි හම්බන්තොට හරහා කතරගම යද්දී සංචාරය කරන්න පුළුවන් වෙනස් ස්ථාන රුසක් ගැන ඔබට කිව්වා. මේ ඒ වගේම තවත් වෙනස්ම තැනක්.
දැනට සති දෙකකට පමණ පෙර අපි කිව්වා මිරිජ්ජවිල උද්භිද උද්‍යානය ගැන. එතැන පහුකරලා මද දුරක් ගියාට පස්සේ ඔබට මේ එලිමහන් සෆාරි උද්‍යානයට යන්න පුළුවන්. මෙතැන ඇයි විශේෂ කියන එකට එක පිළිතුරක් ඔබට දැනටමත් ලැබිලා තියෙනවා. මේ තමයි ලංකාවේ ප්‍රථම හා එකම එළිමහන් සෆාරි උද්‍යානය. උද්‍යානය භුමි අක්කර 500ක්. උද්‍යානය වටා ආරක්ෂිත තාප්පයක් හා විදුලි වැටක් ඉදිකරලා තියෙන්නේ.
උද්‍යානය එකිනෙකට වෙන් කළ කලාප කිහිපයක් තියෙනවා. එහෙම කරලා තියෙන්නේ එකක් පැමිණෙන අයගේ ආරක්ෂාවට. අනෙක උද්‍යානයේ ඉන්න මාංශ භක්ෂක සතුන් උද්‍යානයේ ඉන්න සතුන්වම මරාගෙන කන එක නතර කරන්න. දැනට අප්‍රිකා සිංහ කලාපය අක්කර 35ක් ද, ලෝක ශාක භක්ෂක කලාප අක්කර 80ක් ද හා ශ්‍රි ලාංකික අලි කලාපය අක්කර 54 කින් සමන්විතයි. මෙතැන සතුන් නිදැල්ලේ සැරිසරනවා. ඒ වන සතුන් බලන්න යන්න ඕනෑ නම් ඔබට සිද්ධ වෙනවා ආරක්ෂාකාරීව සකස් කළ විශේෂ බස් රථයකට නගින්න. වායුසමනය කරලා, වනෝද්‍යානය පිළිබඳ අපූරැ පැහැදිලි කිරීමක් කරන මාර්ගෝපදේශකයෙකුත් සමඟ ඔබට ඒ බස් රථයේ ගිහින් සෆාරි උද්‍යානය බලන්න පුළුවන්. විදේශීය සංචාරකයන් සඳහා රැපියල් 2500ක් ද, වැඩිහිටි පුද්ගලයකුට රැපියල් 300ක් ද, පාසල් ළමයින්ට රැපියල් 50ක් ද, මව්පියන් සමඟ පැමිණෙන ළමයින්ට රැපියල් 200ක් ද මුදලක් ඒ සඳහා අය කරනවා. මේ මුදල වෙනස් වෙන්නත් පුළුවන් ඉදිරියේදි. සමහර විට ඔබට හිතෙනවා ඇති එළිමහන් සත්වෝද්‍යානයක් නිසා මෙතන ඉන්නේ සුරතල් සතුන් වෙන්න ඇති කියලා. කිසිසේත්ම නැහැ. අප්‍රිකානු සිංහයින්, මිනීකන කිඹුලන්, ගෝරිල්ලන්, සීබ්රා, ජිරාෆ්, තිත් මුවන්, මොල්ලි දෙකේ මුවන්, ඉන්දියානු නිල් ගවයා, පැස්බරා, අප්‍රිකානු කුළු හරක් වගේම හිපපොටේමස් ඇතුළු සත්ත්ව ගණනාවක්ම මේ උද්‍යානයේ ඉන්නවා. මෙහි දෙවැනි අදියර විදියට බෙංගාල ව්යාඝ්ර කලාපය, ශ්‍රී ලංකා දිවියන්, ඕස්ට්‍රේලියානු සත්ව කලාපය, ශ්‍රී ලංකා වලස් කලාපය සහ ශ්‍රී ලංකා උග්‍ර කලාපයත් හැදෙනවා.
ඒ වගේම අපි එහි යන සමයේ සෆාරි උද්‍යානය තුළම රාත්‍රිය ගත කරන්න පුළුවන් වෙන ආකාරයේ සංචාරක නිකේතන සෑදීමටද සූදානමක් තිබුණා. ඈතින් පෙනෙන රිදියගම වැවත්, හමාගෙන එන දකුණු ඉන්දියානු සාගරයේ දිය මුසු සුළඟත්, කෑගසන සිංහයින් හා ගෝරිල්ලන් මැද අනාගතේ දවසක හම්බන්තොට රූ අහසේ තරැ එක්ක කතා කරන්න හිතාගෙන අපි ආවා. දැන් ඔබ එහි යන්න...
Text / Pic - Vimukthi