සංරක්ෂිත පරිසර පද්ධතියේ ජාතික වනෝද්‍යානය
නුවරඑළියේ සංචාරයක නිරතවන ඕනෑම පුද්ගලයෙකුගේ සිත් ඇoගන්නා ස්ථාන අතරින් හෝර්ටන්තැන්නට විශේෂ තැනක් හිමිවෙනවා. නුවරඑළිය වසන්ත සැණකෙළිය පසුගිය මාසයේ පැවැත්වුණු අතර, ඒ සඳහා සම්බන්ධවීමට පැමිණි බොහෝ පිරිසක් හෝර්ටන් තැන්නේද සංචාරය කළා. මේ හෝර්ටන් තැන්න පිළිබඳව දිගහැරෙන කතාවයි. 2010දී හෝර්ටන් තැන්න ලෝක උරුමයක් ලෙසද නම්කොට තිබෙනවා.
හෝර්ටන් තැන්න
මහ එළිය නැත්නම් හෝර්ටන් තැන්න සංරක්ෂිත පරිසර පද්ධතියක් මෙන්ම බොහෝ දෙනෙකු නොදන්නා පරිදි ජාතික වනෝද්‍යානයක්ද වෙනවා. නුවරඑළියේ සිට කිලෝමීටර් 32ක දුරකින් මේ සුන්දර පරිසර පද්ධතිය පිහිටා තිබෙනවා. හෝර්ටන් තැන්නට පැමිණීමට මාර්ග කිහිපයක් පවතිනවා. අඹේවෙල පට්ටිපොල හරහා, ලිඳුල ආගරපතන හරහා මෙන්ම ඔහිය හරහාද හෝර්ටන් තැන්නට පැමිණිය හැකියි. හෝර්ටන් තැන්න පිවිසුම දක්වා වාහනයකින් ගමන්ගත හැකිවුවද, ඔබට මේ සුන්දර පාරිසරික පද්ධතියේ පහස විඳීම සඳහා වනෝද්‍යානය තුළ පයින්ම ගමන් කිරීමට සිදුවෙනවා.
පිහිටීම
මුහුදු මට්ටමේ සිට මීටර් 2100 – 2300ත්අතර උසකින් හෝර්ටන් තැන්න පිහිටා තිබෙනවා. එහි වපසරිය හෙක්ටයාර් 3160කට ආසන්නයි. හෝර්ටන් තැන්න පරිසර කලාපය විවිධ පුද්ගලයන්, විවිධ පරිසර කාණ්ඩයන්ට ඇතුළත් කොට තිබෙන බව අන්තර්ජාලයේ සඳහන් වෙනවා. නිරක්ෂීය වනාන්තර හා පහත් තණ බිම් කාණ්ඩය, කඳුකර වනාන්තර හා නිවර්තන සදාහරිත වනාන්තර කාණ්ඩයටතේ විවිධ පුද්ගලයන් හෝර්ටන් තැන්න වර්ග කොට තිබෙනවා. ලංකාවේ පිහිටි උසම තැනිතලා භූමිය වශයෙන්ද හෝර්ටන් තැන්න පිළිගැනෙනවා.
කාලගුණයේ වෙනස්වීම
හෝර්ටන් තැන්නේ කාලගුණය නොසිතන පරිදිවෙනස් වන අතර, හොඳින් ඉර එළිය පායා ඇති විටක පිණි වැසිද බලාපොරොත්තු විය හැකියි. ඇතැම් විට පැහැදිලිව අවට පරිසරය දිස්වුවද, මොහොතකින් මුළු පරිසරයම ඝන මීදුමකින් වැසී යන අවස්ථාද තිබෙනවා.
වැස්ස පවතින අවස්ථාවක ක්ෂණයකින් හිරු එළිය පතිත වීමද හෝර්ටන් තැන්නේ සංචාරයක නිරත වන ඔබට විඳිය හැකි විවිධ කාලගුණික ලක්ෂණ වෙනවා. එය ඇතැමෙකුට ප්‍රියජනක අත්දැකීමක් වුවත් තවත් අයෙකුට එය මහා කරදරකාරී හැඟීමක්ද වන බව දැකිය හැකියි.හෝර්ටන් තැන්නේ සාමාන්‍ය වර්ෂාපතනය වර්ෂයකට මිලිලීටර් 2000ක් පමණ වෙනවා.
ඇතැම් කාලවල හෝර්ටන් තැන්නේ තද ශීතල දේශගුණයක් පවතින අතර, එම අවස්ථාවල රාත්‍රීඋෂ්ණත්වය සෙල්සියස් අංශක පහක පමණ සීමාවක් දක්වා පහත වැටෙනවා. ඇතැම් අවස්ථාවල එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 27 දක්වා උපරිමයකට ළඟා වී තිබෙනවා.
තැනිතලා හා ඝන වනාන්තරය
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ පවතින තැනිතලා එහි සංචාරය කරන්නන්ට චමත්කාරයක් එක්කරනවා. තැනිතලා අතරින් පවත්නා මාර්ගවල ගමන් ගන්නා ඔබට ඇතැමි විට හුදෙකලා හැඟීමක් දැනෙනු ඇති. එයින් මෑත්ව මහා රූස්ස ගස් අතරින් ගමන්ගන්නා විට හිතට යම් චකිතයක්ද ඇතිවෙනු නොඅනුමානයි. දූඹුරු පැහැගත් තෘණ පඳුරුවලින් ගහන හෝර්ටන් තැන්න කුඩා කුරුල්ලන්ගේ මෙන්ම ඇතැම් විට සර්පයන්ගේද රජ දහනක් වෙනවා.
කාලය හා දුර
හෝර්ටන් තැන්නේ සම්පූර්ණයෙන්ම සංචාරය කරන්නෙකුට ඒ සඳහා අවම වශයෙන් පැය තුනක පමණ කාලයක් වැය වෙනවා. ඒ වෙනුවෙන් ඔබ ගෙවා දමන දුර කිලෝමීටර් නවයකට ආසන්න වෙනවා. නමුත් කෙනෙකුගේ රුචි අරුචිකම් අනුව එම කාලසීමාව වෙනසකට ලක්විය හැකියි. මුලින්ම තැනිතලා මාර්ගපසුකරන අතර ඉන්පසු පැමිණෙන්නේ අඳුර සහිත වනාන්තර පෙදෙසකටයි.ඔබතවත් කිලෝමීටර් දෙකක් පමණ ඈතට යන විට ඊටත් වඩා අඳුරු සහිත වනාන්තර පෙදෙසකට ගමන් කිරීමට හැකිවේවි.
පුංචි ලෝකාන්තය හා ලෝකාන්තය
හෝර්ටන් තැන්නේ සංචාරය කරන දෙස්විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථාන අතර ලෝකාන්තය හා පුංචි ලෝකාන්තය ඉදිරියෙන්ම පවතිනවා. දැඩි බෑවුම් සහිත ප්‍රදේශයක් වන හෙයින් මෙම ස්ථානයෙන් පහළ බැලූ විට අඩි 3000කට ආසන්න ප්‍රපාතයක් දැකගත හැකි බැවින් එයට ලෝකාන්තය යැයි කියනවා. එය නරඹා මඳ දුරක් බේකර්ස් ඇල්ල දක්වා ගමන් ගන්නාවිට පුංචි ලෝකාන්තය හමුවෙනවා. මෙම ප්‍රපාතය අඩි 900ක් පමණ ප්‍රපාතයක් වෙනවා.
ලෝකාන්තය ක්ෂණයකින් මීදුමෙන් වැසීයන හෙයින් එහි නියම දසුනක් බැලීමට නම් මීදුමෙන් තොර කාලගුණයක් පැවැතිය යුතුයි.
ලෝකාන්තය නැරඹීම ඇතැම්විට අවදානමක්ද ගෙනදෙනවා. පුංචි අතපසුවීමක් ඔබගේ දිවියේ අවසානයද විය හැකියි. ඒ ආකාරයට නොසැලකිලිමත්ව මෙහි සුන්දරත්වය විඳීමට ගිය දෙස් විදෙස් සංචාරකයන් කිහිප දෙනෙකුටම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ අවස්ථා පිළිබඳවද තොරතුරු වාර්තා වෙනවා.
ලෝකාන්තයෙන් වැටී බේරුණු පුද්ගලයන්ද සිටින අතර ඒ ඔබගේ වාසනාව අනුව සිදුවන්නක්. ලෝකාන්තයෙන් වැටී මියගිය අයෙකුගේ සිරුරු සොයාගැනීමද ඇතැම්විට තරමක් අසීරු කටයුත්තක්. ලෝකාන්තයේ සුන්දර දසුනක් දැකගැනීම සඳහා සුදුසුම වේලාව වශයෙන් සැලකෙන්නේ උදෑසන 7.00ට ආසන්න කාලසීමාවයි.
ලෝකාන්තයේ අවසානය
ලෝකාන්තයෙන් පහළ බැලූවිට ගිනිපෙට්ටි හැඩයට ගොඩනැගිලි කිහිපයක් දිස්වෙනවා. නන්පෙරියල් වත්තේ ඉහළ කොටස මේ ආකාරයට දිස්වෙනවා. මේ කොටස බලන්ගොඩට අයත් නිසා ලෝකාන්තයෙන් වැටුණු අයෙක් හමුවෙන්නේ බළන්ගොඩින් යැයිද පැවසෙනවා.
බේකර්ස් ඇල්ල
ලෝකාන්තයේ සංචාරය කරන්නන්ගේ තවත් සිත් ඇදගත් ස්ථානයක් ලෙස සුන්දර බේකර්ස් ඇල්ල හඳුන්වා දිය හැකියි. බේකර්ස් ඇල්ල සාපේක්ෂව අඩු උසකින් යුක්ත වෙනවා. එහි වාර්තා වන උස මීටර් 20 ක්. නමුත් එය එසේ වූවායැයි කියා සුන්දර දියඇල්ලක පහසවිඳීමට තරම් එය බාධාවක් නොවෙයි. 1847 හා 1855 කාලසීමාවේ ශ්‍රී ලංකාවේ වාසය කළ සැමුවෙල් බේකර්ස් විසින් මෙම ඇල්ල සොයාගෙන තිබෙනවා.
ඔහු ශ්‍රී ලංකාවේ දඩයම් කිරීම සඳහා සුදුසු ස්ථාන සොයා සංචාරය කර තිබෙන අතර, ඔහුගේ එක් නැවතුම් පොළක් බවට හෝර්ටන් තැන්න පත්ව තිබෙනවා. එහි ප්‍රතිපලයක් ලෙස බේකර්ස් ඇල්ල සොයාගෙන ඇති අතර, බෙලිහුල් ඔයෙන් බේකර්ස් ඇල්ල නිර්මාණය වෙනවා.
හෝර්ටන් තැන්නේදී ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව විශේෂ මෙන්ම ශාක විශේෂ කිහිපයක්ද සංචාරයකයන්ට දැකගැනීමට හැකියි. ගෝනුන් හෝර්ටන් තැන්නේදී දැකිය හැකි සුලබම දසුනයි. හෝර්ටන් තැන්නේදී කලාතුරකින් දිවියන්ද දැකගත හැකිවෙනවා. නමුත් එවැනි දසුනක් දැකීමටනම් ඔබ ඇත්තෙන්ම වාසනාවන්ත පුද්ගලයෙකු විය යුතුයි.
විවිධ වර්ගයන්ට අයත් පක්ෂීන් මෙන්ම ලේනුන්, මුගටින්, වලසුන්, වඳුරන්, දිය බල්ලන්, වැනි ක්ෂරපායී සතුන් හෝර්ටන් තැන්නේදී නිතර නිතර ඇස ගැටෙන ක්ෂරපායීන් වෙනවා.
අලි පිළිබඳව කියවෙන කතාව
අතීතයේ හෝර්ටන් තැන්නේදී වනඅලින් දැකගත හැකිවූ බවට තොරතුරු වාර්තා වුවත්,වර්තමානයේදීනම් ඒ ආකාරයෙන් අලි දැකගැනීමේ අවස්ථාවක් හිමිවන්නේ නැහැ. ඒ එහි සිටි සියලු අලින් වඳවී ඇති නිසයි. නුවරඑළිය වැසියන් සඳහන් කරන ආකාරයට (පසුගිය කලාපයේ අප විස්තර කළ පරිදිත්) නුවරඑළියේ මෙන්ම බදුල්ලේදසිටිසහකාර ආණ්ඩුකාරවරයෙකු වන කපිතාන් විලියම් රොජර්ස්ගේ හිතුවක්කාර අලි දඩයම මීට හේතුවයි.හෝර්ටන් තැන්නේ දැකිය හැකිවූ අලින් තරමක් කුරු බවද කියැවෙනවා.
මල්තුහින පතිතවීම
හෝර්ටන් තැන්න මධ්‍යම කඳුකරයේ පිහිටා තිබෙන හෙයින් වසරේ ශීත කාලසීමාවේදී ඇතැම්විට මල් තුහින පතිත වෙනවා. තැන්නට මල් තුහින පතිත වී තිබෙන විටහෝර්ටන් තැන්න හිමවලින් වැසුණු ප්‍රදේශයක සිරියක් ගෙනෙනවා.
ආරක්ෂා කිරීම
ලෝක උරුමයක් මෙන්ම ඉතාමත් වැදගත් පාරිසරික පද්ධතියක් වන හෝර්ටන් තැන්න රැකගැනීම දේශීය මෙන්ම විදේශීය සංචාරයකයන්ගේද වගකීමයි. දිනකට විශාල පිරිසක් හෝර්ටන් තැන්නේ සංචාරය කරන හෙයින් අපද්‍රව්‍ය බැහර කිරිමේදී වැඩි වශයෙන් අවධානය යොමුකළ යුතුයි. හෝර්ටන් තැන්නට පිවිසීමේදී පොලිතින් මෙන්ම ප්ලාස්ටික් රැගෙන වනෝද්‍යානයට ඇතුළත් වීම තහනම් වන හෙයින් එම නීතිරීති අකුරටම පිළිපැදීම වගකිවයුතු සංචාරකයෙකු වශයෙන් ඔබ සිදුකළ යුතුම කාර්යයක්ද වෙනවා.
චානක චන්ද්‍රසේකර / ඡායාරූප - දර්ශන ජූලියන්