සංචාරක සිත් මෝහනය කරන දියකොමළිය දියලුම
ගහකොළට, වන සතුන්ට පෙම් බඳිමින් පරිසරයට ඇලුම් කරන විවිධ වූ මිනිසුන් අතරේ සුන්දර දියඇලිවලටද ප්‍රියකරන මිනිස්සු බොහෝ සිටිති. එවැනි දියදහරාවන්ට ආදරය කරන දෙස්-විදෙස් සංචාරකයන් විශාල වශයෙන් සංචාරය කරන සොඳුරු දසුනක මං සලකුණු ගෙන එන්නයි මෙවර අපගේ සූදානම.
හපුතලේ නරගයට පහළින් පිහිටා තිබෙන බෙරගල නගරයේ සිට වැල්ලවාය දෙසට දිවෙන මාර්ගයේ බෙරගල සිට කිලෝමීටර් 24ක් ගමන් කළ විට හමුවන ‘දියලුම’ ඇල්ල දේශීය සංචාරකයන්ගේ පමණක් නොව, විදේශීය සංචාරකයන්ගේද නොමද ජනාදරයට පත් ඌව පළාත තුළ පිහිටි සංචාරක ස්ථාන අතුරින් සුවිශේෂී ස්ථානයකි.
මෙම ඉසව්වට පිවිසීම සඳහා ප්‍රධාන මාර්ග ද්විත්වයක් පවතී. කොළඹ දෙසින් පැමිණෙන සංචාරකයන්ට කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගය ඔස්සේ බෙරගල නගරයට පැමිණ, එතැන් සිට වැල්ලවාය දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර් 24ක් ගමන් කරමින් හෝ මොණරාගල දෙසින් පැමිණෙන සංචාරකයන්ට වැල්ලවාය නගරයට පිවිස එතැන් සිට බෙරගල දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර 14ක් පමණ ගමන් කිරීමෙන්ද මෙම දිය කොමළිය අසලට ළඟාවීමට හැකියාව ලැබේ.
අතීතය සමග බැඳුණු කතා
දියලුම හා බැඳි ජනකතා රාශියක් පවතී. ඒ අතරින් සුප්‍රසිද්ධ කතා පුවත වන්නේ තරුණ රජකෙනෙකු සහ කුලයෙන් අඩු කාන්තාවක් සම්බන්ධ ශෝකාන්තයක් පිළිබඳ ප්‍රකට ඉතිහාසඥයෙකු වූ ආචාර්ය ආර්.එල්.බ්‍රොහියර් මහතා පවසන කතා පුවතය. පංති භේදය තදින් පවතින ලද අතීත කාලයේ දී ලක්දිව වාසය කරන ලද තරුණ රජ කෙනෙක් පහත් කුලයක කාන්තාවක සමග ආදර සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබේ. ඒ හේතුවෙන් රජතුමාට රාජ්‍යත්වයෙන් පසු වීමට නොහැකි හෙයින් මොවුන් දෙදෙනා පැන ගොස් සැඟවී වාසය කිරීමට තීරණය කර ඇත. මොවුන් සැගවී සිටීමට තොරාගෙන තිබෙන්නේ වර්තමානයේ දියලුම ඇල්ල පිහිටා තිබෙන පර්වතය මුදුනය. මෙම පර්වතය තරණය කිරීමට රජතුමන්ට හැකි වුවද, කාන්තාවට එය තරණය කිරීමට නොහැකි වී තිබේ. එම නිසා රජතුමා වැල් දෙකක් ගෙන එය තදින් ඔතා පහළට දමා ඒ ඔස්සේ එම කාන්තව ඉහළට ගැනීමට උත්සහා කර ඇත. උත්සාහාය සාර්ථක වුවත්, පර්වතයේ මඩ කොටසට එම කාන්තාව ළඟා වෙත්ම ඇයගේ අතින් වැල්පට අත්හැරී පහළට ඇද වැටී ඇයගේ ජීවිත කතාව නිමාවට පත්විය. එයින් අති‘ශය සංවේගයට පත් රජතුමා පර්වතය මුදුනේ සිට හෙලූ කඳුළුවලින් ඇල්ල නිර්මාණය වූ බව ඔහුගේ මතය වී තිබේ.
සුන්දරත්වය
දුටු පමණින් සංචාරක සිත් මෝහනය කරන්නා වූ දියලුම ඇල්ල සොබාදහමින් ඌව පළාතට හිමි වූ මහඟු සම්පතකි. බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දියලුම පිහිටියේ වැල්ලවාය බෙරගල මහා මාර්ගය ආසන්නයේ කොස්ලන්ද සහ ගම්පහ යන ගම්මාන අතරේය. පුනාගල ඔයෙන් පෝෂණය වන දියලුම උසින් මීටර් 171කි. මෙම දිය කොමලිය ශ්‍රී ලංකාවේ තිබෙන දියඇලි අතර උසින් තෙවන ස්ථානය හිමිකරගන්නා දිය ඇල්ල වන අතර, උස අනුව එය ලෝකයේ 361වන ස්ථානයේ පසුවෙයි. පුනාගල ග්‍රාමය ආශ්‍රිතව තිබෙන දියඇලි සංඛ්‍යාවෙන් අවසන් දියඇල්ල සේ සලකනු ලබන දියලුම පළමුව කුඩාඔය හා එක්ව ගලාබැස ඉන්පසුව කිරිඳි ගංඟාවට මුසු වී පසුව තිස්සමහාරාමය ආසන්නයේ දී මුහුදට එක්වේ.
දියලුම දියඇල්ල ‘ජලජ පහණ’, ‘විස්මිත දියඇල්ල’ ලෙසින්ද හඳුන්වනු ලැබේ. අතීතයේ දියෑලුම ඇල්ල ලෙසත්, දියහලුම ඇල්ල ලෙසත් මෙය නම්දරා ඇත්තේ එහි ආකර්ෂණීය ලෙස දිය ගලා හැඩය හා පිළිවෙළ නිසාවිය යුතුය. දියුලුම ඇල්ල ආශ්‍රිත පහත් හෙල් කොටසේ සේම පහත් බිම්වල කොළ දිවියා, ඉතා දුලබ කටුසු වර්ගයක් වන ‘පඳුරු කටුස්සා’ සහ ‘නෙමස්පීස් පොඩි හුනා’ නමින් හඳුන්වනු ලබන හුනූ විශේෂය දැකගැනීමට හැකියාව ලැබෙන බව පරිසර විද්‍යාඥයෝ පවසති.
විනෝදාස්වාදය
කුඩා වයසේ සිට වැඩිමහල් පිරිස් දක්වා දිය කෙළියෙහි යෙදෙන්නට ඉතාමත් ආරක්ෂාකාරී ස්ථාන රාශියක් මෙම ඇල්ල අවට පිහිටා තිබේ. කොතරම් සංචාරකයන් සිටියත්, ඔවුන්ට බාධා නොවන අයුරින් බජව්වක් දමා සතුටු වන්නටද, පෙම්වතුන්ට රිසිසේ පෙම්බස් දොඩවන්නටද ඕනෑ තරම් ස්ථාන, ඇල්ල පිහිටි පරිසරයේ ස්වභාවිකවම පිහිටා තිබේ. මත්පැන් පානය කිරීමට නීතිමය අවසරයක් නොමැති වුවත්, අප එහි සංචාරය කළ අවස්ථාවන්හි දී සව්දිය පුරවා සතුටු වන පිරිස් තැනින් තැනවල දක්නට ලැබුණි. එමෙන්ම ඡායාරූපකරණයේ යෙදෙන්නට මෙම භූමිය කදිම තෝතැන්නකි.
එමෙන්ම මෙම දියඇල්ල නිර්මාණය වන ස්ථානයටද ගමන් කිරීමටද හැකියාවක් පවතින බව ප්‍රදේශවාසීහු පවසති. නමුත්, ඒ සඳහා වෙනත් මාර්ගයක් භාවිත කිරීමට සිදුවෙයි. ඒ සඳහා කොස්ලන්ද නගරයට ගමන් කළ යුතුය. දියලුම ඇල්ලේ මුදුනත පිහිටා ඇත්තේ කොස්ලන්ද සිට පුනාගල හරහා බණ්ඩාරවෙල දක්වා වැටී තිබෙන පටු හා දුෂ්කර මාර්ගයේය. මෙම මාර්ගයේ වල්අලි ගැවසෙන බැවින් එම මාර්ගයේ ගමන් කිරීම තරමක් භායනකය. ඔබ එහි සංචාරය කරන්නේනම්, ගම්වාසියෙකුගේ උපකාරය ලබාගැනීම වඩාත් යෝග්‍ය වේ. අප මෙම දිය කොමලියාගේ පහස විඳගැනීමට එම සොඳුරු ඉසව්වට ළඟා වූවේ සවස් කාලයක බැවින්, එම ගමනාන්තය වෙත අපට ගමන්කිරීමට නොහැකි වුවත් නුදුරු දිනයක දී ත්‍රාසය කැටි වූ එම ඉසව්ව වෙත ගමන් කිරීමට අපි බලාපෙරොත්තු වෙමු.
සැලකිලිමත් බව
ඇල්ල පාමුලට ගමන් කිරීම සඳහා නිශ්චිත ගමන් මාර්ගයක් නොමැත. එසේ ගමන් කරන්නේනම්, ලදු කැලෑව අතරින් මාර්ගයක් තනාගෙන යා යුතුය. කෙසේ හෝ ඇල්ල පාමුලට සේන්දු වීමට හැකිනම් දුරින් හිද බලනවාට වඩා ඉතා සොඳුරු දසුන් ඒ අසල සිට විඳගැනීමට හැකියාව ලැබේ. දිය දහරාව ඇඳ හැලෙන තාටටකය පාමුල දිය නෑමට එතරම් උචිත ස්ථානයක් නොවේ. ඇල්ල බැලීමට ගමන් කිරීමේදී මතුපිට තිබෙන ගල් ලිස්සන සුලු බැවින් ජංගම දුරකථන, කැමරා උපාංග, මුදල් පසුම්බි පරිස්සම් කරගත යුතුය. පරිසරය රැකගැනීම උදෙසා පොලිතීන්, ප්ලාස්ටික් එම භූමියේ දමා නොයාමටද සංචාරකයන් සැලකිලිමත් විය යුතුය.
සටහන සහ ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර