විශාලතම හා පැරණිතම ජාතික වනෝද්‍යානය 'විල්පත්තුව'
වසර 17ක් පුරාවට කුරිරු යුද්ධයේ සෙවණැල්ලට වැසී තිබූ ශ්‍රී ලංකාවේ විශාලතම හා පැරැණිතම ජාතික වනෝද්‍යානය ලෙස විල්පත්තුව හඳුන්වාදිය හැකිය. වසරේ මැයි 14 වන දින විල්පත්තුව වනෝද්‍යානයේ හුනුවිලගම මූලස්ථානයට මිලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල විය. එම ප්‍රහාරයෙන් එහි සේවය කළ සේවකයන් 26 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම සිදුවීමත් සමග විල්පත්තුව උද්‍යානය වසා දැමූ අතර, එහි පාලනය ශ්‍රී ලංකා යුද හමුදාවේ ග්‍රහණයට නතුවිය. එසේ වසා දැමූ විල්පත්තුව කුරිරු යුද්ධය නිමවීමෙන් පසු 2010 වසරේ පෙබරවාරි 10 වන දින නැවතත් මහජනතාවට නැරඹීම සඳහා විවෘත්ත කෙරුණි. මේ වනවිට බියක් සැකයක් නොමැතිව වනෝද්‍යානය නැරඹීමට සහ රාත්‍රි‘යේ එහි තිබෙන සංචාරක බංගලාවක නතරවී සොබාදහමේ අසිරිය විදීමට සංචාරක ඔබට අවස්ථාව සැලසී තිබේ. එළැඹෙන පාසල් නිවාඩු සමයේ දී පවුලේ සැමට සෆාරි අත්දැකීමක් සමගින් නිදහසේ සැරි සරන සතුන් නැරඹීමට යා හැකි මෙම වනෝද්‍යානයේ සිරිය සොයා අප මෙවර හෙක්ටයාර 131,000ට අධික භූමි ප්‍රමාණයකින් වට වී තිබෙන අනුරාධපුර, මන්නාරම සහ පුත්තලම් දිස්ත්‍රික්කයන්ට මැදිව පිහිටා තිබෙන %විල්පත්තුව^ ජාතික වනෝද්‍යානය තුළ සැරි සැරුවෙමු. මෙවර අප ලබාගත් සංචාරක අත්දැකීමට වඩා ඒ තුළ තිබෙන පාරසරික, ඓතිහාසික වටිනාකමට මුල්තැනක් ලබාදීමට සිතුවේ මෙහි තිබෙන සුවිශේෂීත්වය නිසාවෙනි.
ගමන් මාර්ගය
කොළඹ සිට මීගමුව, හලාවත, පුත්තලම හරහා අනුරාධපුරය මාර්ගයේ පැමිණ විල්පත්තුව හන්දියෙන් හැරී කිලෝමීටර් 8ක් පමණ දුර ගිය විට හුණුවිල ගම්මානය පිහිටි ඉසව්වෙන් උද්‍යානයට පිවිසීමේ මාර්ගයට පැමිණිය හැකිය. මේ සඳහා කිලෝමීටර් 185ක් පමණ දුර ගෙවා දැමිය යුතුවෙයි. මීට අමතරව කොළඹ, වරකාපොල, කුරුණෑගල, ගල්ගමු හරහා පුත්තලමට පැමිණ පුත්තලම හරහා අනුරාධපුර මාර්ගයේ පැමිණ විල්පත්තුව හන්දියෙන් හරී හුණුවිල ගම්මානයේ තිබෙන උද්‍යාන පිවිසුම් කාර්යාලයට පිවිසිය හැකිය. ඊට අමතරව දඹුල්ල දෙසින් පැමිණෙන්නේ නම් කැකිරාව, මරදන්කඩවල, අනුරාධපුරය හරහා පුත්තලම මාර්ගය භාවිතයෙන් මෙම ස්ථානයට ළඟාවිය හැකිය. කවර දෙසින් පැමිණියත්, උද්‍යානයට ඇතුළු විය හැක්කේ හුණුවිල ගම්මානයෙන් පමණි.
අතීතයෙන් බිඳක්
ශ්‍රී ලංකාවේ විශාලතම ජාතික වනෝද්‍යානය වන විල්පත්තුව වනෝද්‍යාන සංකීර්ණයකි. වර්ෂ 1905 දී රක්‍ෂිත භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණු මේ වන පෙතේ පළමු කොටස වූ අනුරාධපුර සහ පුත්තලම් යන දිස්‌ත්‍රික්‌ක දෙකට අයත් හෙක්‌ටයාර 54953.2ක භූමි ප්‍රමාණය ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද්දේ වර්ෂ 1938 පෙබරවාරි 25 වැනි දිනය. ඉන්පසුව වර්ෂ 1967 අප්‍රේල් 28 වැනි දින හෙක්‌ටයාර 7012.4ක්‌ද, 1969 අගෝස්‌තු 27 වැනි දින හෙක්‌ටයාර 22981ක්‌ද, දෙසැම්බර් 05 වැනි දින හෙක්‌ටයාර 25252.9ක්‌ද, අවසන් වරට වර්ෂ 1973 දෙසැම්බර් 07 වැනි දින හෙක්‌ටයාර 21484.8ක්‌ද යනාදි වශයෙන් එක් වීමෙන් වත්මන් විල්පත්තු ජාතික වනෝද්‍යානය හෙක්‌ටයාර 131693.7ක භූමි ප්‍රමාණයකින් සමන්විත වේ. එනම්, වත්මන් විල්පත්තුව ජාතික වනෝද්‍යානය කොටස් පහකින් යුත් උද්‍යාන සංකීර්ණයකි. එසේම විල්පත්තුව ජාතික වනෝද්‍යානය හා විල්පත්තු උතුරු අභයභූමිය තබ්බෝව අභයභූමිය සහ වීරක්‌කුල්චෝලේ-එළුවන්කුලම යෝජිත රක්‍ෂිතය වැනි වනාන්තරද මේ හා සම්බන්ධ වෙයි.
ඈත අතීතයේ එනම්, අදින් වසර මිලියන 12කට පමණ පෙර මුහුදෙන් ඉහළට එසවුණු කොරල් පර ශ්‍රී ලංකාවේ දක්‌නට ලැබී ඇත්තේ දෙකකි. ඉන් එකක් යාල ජාතික වනෝද්‍යානයට අයත් මිනිහාගල්කන්ද නම් වූ ස්‌ථානය වන අතර, අනෙක විල්පත්තුව ජාතික වනෝද්‍යානය වෙයි. මේ ස්‌ථාන දෙකම වසර මිලියන 12කට පමණ පෙර කොරල් පරයක් වුවද වර්තමානයේ සරුසාර වන බිම්ය.මෙයින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සැඟවුණු අතීතය පිළිබඳව විමසීමේ දී පුරාවිද්‍යාත්මක අතින් සුවිශේෂී වටිනාකම් දක්‌නට ලැබේ. මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ මේ සියලුම ඓතිහාසික වටිනාකම් මහා ගන වනාන්තරයකින් වැසී තිබීමය. එහි තිබෙන ෆොසිල වසර මිලියන 12කට වඩා පැරැණිය. එනම්, මයෝසීන යුගයට අයත්ය. ප්ලයිස්‌ටොසීන යුගයට අයත් ෆොසිල විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පස් වැනි කොටසේ කුදිරමලේ ප්‍රදේශයෙන් හමුවෙයි. මෙතෙක් සොයාගත් එසේම නොදන්නා වටිනා සංස්‌කෘතියක් මේ වනවිට බිමේ වැළලී තිබේ. එනම්, අදින් වසර 125000ත් 5000ත් අතර කාලයකට අයත් ප්‍රාග් ඓතිහාසික යුගයේ ගල් ආයුධ හමුවීමත්, පූර්ව ඓතිහාසික යුගයට අයත් වළං කටු හා යකඩ තාක්‍ෂණය භාවිත කළ බවට මෙවලම් හමුවීමත් අපගේ රටේ සැඟවුණු ඉතිහාසය කියාපාන්නකි. මේ ස්‌ථාන අතර පොන්පරිප්පුව නම් ප්‍රදේශයෙන් ඉපැරැණි සුසාන භූමියක සලකුණු ද හමුවී තිබේ. මෙහි මිනිස් සිරුරු 8000ත්, 12000ත් අතර ප්‍රමාණයක් වළ දමා තිබුණු බැව් හමුවන සුවිසල් මැටි භාජනවලින් කියාපායි. මේ සාධක අනුව ශ්‍රී ලංකාවේ ඉපැරැණි ශිෂ්ටාචාරය උතුරු ඉන්දියාවේ මොහන්දජාරෝ හරප්පා ශිෂ්ටාචාරවලට සෘජු සම්බන්ධතාවක් දක්‌වන බැව් පෙනී යයි.
බාහිරින් වනාන්තරයක් ලෙස දිස් වුවත්, මෙහි භූ ගර්භයේ සැඟවී ඇත්තේ කියා නිමකළ නොහැකි ඉතිහාසයකි. අදින් වසර 2500කට පමණ පෙර කාලය පිළිබඳව විමසීමේ දී ඉපැරැණි විහාරස්‌ථාන හා දේවස්‌ථාන 68ක් මේ වන බිමෙන් හඳුනාගෙන ඇත. විල්පත්තුව වන උයනේ වීරසෝලි නම් ප්‍රදේශයෙන් හමු වූ පුරාවස්‌තු අතර මුචලින්ද නාගදරණය මැනැවින් පෙන්වන බුදු පිළිමය විශේෂිතය. ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ අභිමානය සේ සැලකෙන විජය කුමරුගේ ශ්‍රී ලංකාගමනය තහවුරු කරන තම්බපන්නිය මේ වන උයනේ පිහිටා තිබීම ද සුවිශේෂී සිහිවටනයකි. පල්ලන්කන්ද ප්‍රදේශයේ පිහිටි පැරැණි ඕලන්ද පල්ලිය ද අතීත සිහිවටනයකි. අද ලක්‌වැසි කිතුණු බැතිමතුන් මඩු පල්ලි වන්දනාවේ යන්නා සේ අතීතයේ ලක්‌වැසියන් මේ පල්ලන්කන්ද පල්ලිය වන්දනාවේ ගිය බවට සාක්‌ෂි හෙළිවෙයි. මෙවන් ශ්‍රී ලාංකේය අනන්‍යතා පැහැදිලි කරන ඓතිහාසික ස්‌ථාන රැසක් මහ වනයෙන් වැසී ආරක්‍ෂා වී තිබේ. නමුත් එහි යන ඔබට මෙම ස්ථානයන්ගෙන් දැකගත හැක්කේ පොම්පරිප්පු නම් ස්ථානය පමණි. එයත් නැරඹිය හැක්කේ ගමන් කරන වාහනයේ සිට පමණි. එම ස්ථානය පිළිබඳ දීර්ඝ හැදින්වීමක් කුලියට ගන්නා සෆාරී ජීප් රථ රියදුරන් විසින් එහි යන සංචාරකයන්ට පහදා දෙයි.
භෞතික ලක්ෂණ
මුහුදු මට්‌ටමේ සිට මීටර් 1.5ක පමණ උසකින් පිහිටා ඇති විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමේ මල්වතු ඔය හා මෝදරගම්ආරු ද, දකුණු මායිමේ කලාඔයද, බටහිරින් තැනින් තැන කුඩා ගල් පර්වත සහිත තැනිතලා බිමක් හා වෙරළ තීරයක් ද, නැඟෙනහිරින් හුණුවිලගම, විලච්චිය, තන්තිරිමලේ යන ගම්මානද මායිම්ව පිහිටා ඇත. මුළු වනෝද්‍යානයේ ම තිබෙන විල්ලු ගණන 40ක් වන අතර, ඉන් ප්‍රධාන විල්ලු ගණන 27කි. මෙසේ ස්වභාවිකව පිහිටා තිබෙන විල්ලු නිසා මෙම තෝතැන්න විල්පත්තුව නමින් හඳුන්වන බවද ඒ අවට වෙසෙන ගම්වාසීන්ගේ මතයයි. මෙහි වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1000ත් 1500ත් අතර ප්‍රමාණයකින් යුත්ත වේ. සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 27ක් පමණ වන අතර, මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්‌වා කාල සීමාව තුළ වියළි කාලගුණයක් පවතියි.
වනෝද්‍යානය තුළදී දැකිය හැකි සතුන් සහ ගහණය
විල්පත්තු ජාතික වනෝද්‍යානය වන සතුන් විශේෂ රාශියකට සෙවණ ලබාදෙයි. ක්‍ෂීරපායි සත්ත්ව විශේෂ පිළිබඳව සැලකීමේදී මේ වනෝද්‍යානය තුළ කුල 21කට අයත් ක්‍ෂීරපායි සතුන් විශේෂ 41ක් දක්‌නට ලැබේ. මේ ක්‍ෂීරපායි විශේෂවලට ශ්‍රී ලංකාවට ආවේණික රිළවා, ශ්‍රී ලංකා කළු වඳුරා, ශ්‍රී ලංකා රන් කලවැද්දා, මිමීන්නා, උණහපුලුවා, වලහා වැනි ක්‍ෂීරපායි විශේෂ මෙන්ම ශ්‍රී ලංකා කොටියා, හඳුන් දිවියා, කොළ දිවියා, ඕළු මුවා, මුවා, අලියා වැනි තවත් ක්‍ෂීරපායි විශේෂ රාශියක් මේ වනෝද්‍යානය තුළ දැකගත හැකිය. ඊට අමතරව කුල 57කට අයත් පක්‍ෂි විශේෂ 149ක් මෙහි ඇති අතර, මේ පක්‍ෂී විශේෂවලට සංචාරක පක්‍ෂීන්, දේශීය පක්‍ෂීන් මෙන්ම ආවේණික පක්‍ෂීන්ද අයත් වේ. එමෙන්ම මෙහිදී නයා, පොළඟා, මුදු කරවලා වැනි සර්පයන් ඇතුළුව වියළි කලාපයේ වෙසෙන සියලුම සර්පයන් මෙහිදී හමුවෙයි. නමුත් අප සිදුකළ සංචාරයේදී අපට දක්නට ලැබෙන මුවා,‘ ඕලු මුවා, ගොනා, නරියා, ඌරා, රාජාඅලියා, උකුස්සා වැනි සත්ත්වටයන් පමණකි. මෙම ප්‍රදේශයට අවුරුද්දක පමණ කාලයකින් වර්ෂාව නොලැබීම හේතුවෙන් සෆාරි ජීප් රථ ගමන් ගන්නා මාර්ගයේ පිහිටා තිබෙන විල්ලු හී ජලය සිඳී ගොස් ඇති හෙයින් මේ දිනවල සතුන් සිටින්නේ වනෝද්‍යානය තුළ පමණක් බව අප ගමන් ගත් ජීෆ් රථයේ රියදුරු අප හා පැවසීය.
වියළි කලාපීය සරු ජෛව විවිධත්වයකට උරුමකම් කියන විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ තණබිම්, කටුපඳුරු සහිත ලඳු කැළෑ, බඩවැටි, මූකලාන, ගංගාධාර, වනාන්තර, මහ වනාන්තර, කඩොලාන හා වෙරළාශ්‍රිත ශාක පද්ධති රාශියක් දක්‌නට ලැබේ. මෙතෙක් කර තිබෙන සමීක්‌ෂණවලට අනුව විල්පත්තුවෙන් හමුවන සපුෂ්ප ශාක විශේෂ ගණන 605කි. මෙයින් ශාක විශේෂ 33ක් ශ්‍රී ලංකාවට ආවේණික වෙයි. මීට අමතරව ජලය පිරුණු තෙත් බිම්ද බහුලය. එම තෙත්බිම්වල වසර පුරාම ජලය දක්‌නට ලැබීම විශේෂත්වයකි.
විනෝදාස්වාදය
මෙහි යන සංචාරකයන්ට ඉතා වටිනා වනජීවී ඡායාරූප ලබාගැනීමට හැකියාව ලැබෙයි. ඒ සඳහා විවිධ දුර ප්‍රමාණන කැමරාවට හසුකර ගත හැකි පරිදි කැමරා කාච රැගෙන යා යුතුය. ඊට අමතරව ත්‍රාසය පිරිණු අත්දැකීම් සමුදායකටද සංචාරක ඔබට මුහණ දීමට හැකිය. එමෙන්ම රූපාවහිනය තුළින්, අන්තර්ජාලය ඔස්සේ අප දකින, නරඹන සත්ව ලෝකය දෙඇසින් ජීව මානව දැකබලා ගැනීමට අවස්ථාව සැලසෙයි.
සංචාරක ආකර්ෂණය
සතියේ සෑම දිනකම පහේ දෙස්-විදෙස් සංචාරයෝ මෙම ඉසව්වේ සැරි සරති. සමහර අවස්ථාවලදී වනයේ සැරි සැරීමට අවශ්‍ය වන සෆාරි ජීප් රථ ලබාගැනීමට බෝහෝ වෙලා රැදී සිටීමටද සිදුවේ. මීගමුව, කල්පිටිය වැනි ප්‍රදේශන්හි සංචාරකයන් වැඩි වශයෙන් ගැවසෙන හෙයින් ත්‍රාසය කැටිවූ වනගත චාරිකාවක අත්දැකීම ලබාගැනීමටද සංචාරකයන් මෙම ඉසව්වට පැමිණෙති.
සැලකිලිමත් බව
ඔබ මෙහි යන්නේනම් ඔබ රැගෙන යන පොලිතීන්, ප්ලාස්ටික් ද්‍රව්‍ය වනාන්තරය තුළ නොදැමීමට වග බලා ගන්න. එමෙන්ම සත්වයෙක් දුටු විට කෑ කෝ ගැසීමකින් තොරව ඔවුන්ව නිරීක්ෂනය කරන්න.පරිසරයට සහ සතුන්ට හානියක් නොවන අයුරින් හැසිරෙන්න.සංචාරක බංගලාවන්හී නවාතැන් ගන්නේ නම් එහි යන්නට මත්තෙන් බත්තරමුල්ලේ පිහිටි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලයට ගොස් ඊට අදාල වෙන්කරවා ගැනීම් සිදුකරගන්න. විශේෂයෙන් මාර්ගෝපදේශකයන්ගේ බහට අවනත වී විනීත ලෙස හැසීරීමට කටයුතු කරන්න.
සටහන සහ ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර