වැව් පිටියේ අලි වැස්සක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-427

දූවිලි සුළඟ.!

මේ සා දූවිල්ලක් මින් පෙර කොහේදිවත් දැක තිබුණාදැයි නිච්චියක් නැත.

අපට ඉදිරියෙන් යන ජීප් රිය, වංගු ගනිමින් වෙට්ටු දමමින් ධාවනය වන්නේ දූවිලි සුළඟ මතු කරමිනි. ඒ සුළඟ අප කරා ඇඳී එන්නේ මහා ව්‍යසනයක් පරිද්දෙනි.

මම අතක් නාසයත් මුවත් මත තබාගෙන දූවිලි ශරීරගතවීම වළක්වා ගතිමි.

එහෙත් ජීප් රිය පදවන සිල්වාට ඒ දූවිල්ල වගක්වත් නැත. හැමදාමත් සෆාරි යන ඔහු සමඟ ඒ දූවිල්ල හිතමිතුරුය.!

කාලෙකින් වැහැලා නෑ වගේ...2019-05-27-ent-422

මම සිල්වා දෙස බලමි.

මාස ගණනකින් නෑ... පේනවනෙ ගහේ කොලේ හැටි... නිල්ලක් නෑ.

පාර දෙපස ගස්වල හැම කොලයක්ම දුඹුරු පාටය. පාරේ දූවිල්ල අර කොළවල වැතිරී ගිමන් නිවන නිසාය.

මින්නේරිය ජාතික වනෝද්‍යානය නම් වූ පුවරු ළඟින් වන උයනට ඇතුළු වූ අපි ප‍්‍රධාන මාවත දිගේ ඉදිරියට යන්නෙමු.

විවධ උස ප‍්‍රමාණවලින් යුත් විවිධ වර්ගවල ගස් අතුරින් යන මේ ගමනේ එකම අරමුණ වනසතුන් දැකීමය.

ගෙවුණු මැදියමේ හබරණ ටෙලිකොම් මාවතේ අලූතින්ම තැනු ලිලිස් රිසෝට්හි නවාතැන් ගත් අපට අවශ්‍ය වූයේ කවුඩුල්ලට යෑමටය. එහෙත් ලිලීස් රිසෝට් නිර්මාතෘ කපිල සර්ධාතිස්ස, දුරකතනයේ රැුදී සිට මොහොතකට පසු කිවේ කවුඩුල්ලේ අලි මින්නේරියට පැමිණි සිටින බවය.

”මේ දවස්වල කවුඩුල්ලෙ වැවට වතුර පුරෝලා.. ඒ නිසා අලි මින්නේරියට ඇවිත්. මින්නේරිය වැව් පිටියට ගියා නම් අලි දෙතුන් සීයක් බලන්න පුළුවන්.’’

කපිල කීවේය.

අපේ සෆාරි ගමන මින්නේරියට යොමු කළේද ඔහුමය.

”ඔය මින්නේරියේ ඉන්නවා කනේ හිලා, බොනට් කියලා අලි දෙන්නෙක්. මේ දෙන්නා ටිකක් සැරයි. දෙන්නම ඇවිත් ජීප් වලට ගහනවා.

කපිල කීවේ හිතේ බියත්, කුතුහලයත් මවමිනි....”හැබැයි,ඔය ගයිඞ්ලා දන්නවා, ඒ දෙන්නවම... ඈතදිම අඳුනගෙන මඟ හැරලා යනවා”

ඒ කතාවෙන් හිතේ බිය තරමක් අඩුවිය.

අපේ ජීප් සාෆාරියේ රියැදුරු සිල්වාගෙන් කනේ හිලා ගැන අසන්නට හිතුනත් කට අරිනවිටම පපුවට රිංගන දූවිල්ල නිසා මම වචන ගොළුකර ගතිමි.

ඉදිරියෙන් එන සෆාරි ජීප්වලට මාරුවන්නට ඉඩදෙමින් අපේ ජීප් රිය විටින් විට නවත්වයි. අර හැම සෆාරියකම සිටින්නේ විදෙස් සංචාරකයන්ය. ලංකාවේ අලි බැලිල්ල පිටරට උදවියගේ හිත් සනසන අත්දැකීමක් විය යුතුය.

හබරණ කියන්නේ වනසත්තු බලන්න හොඳම තැන... එකෝ පාක්, කවුඩුල්ල, මින්නේරිය, ඔය පාක් තුනෙන් කෝකෙන් හරි අලි බලන්නම පුළුවන්.

කපිල සර්ධාතිස්ස ගේ වචන මට සිහිපත් වෙයි.

එහෙත් තවමත් මින්නේරියෙන් එක අලියෙක්වත් නෙත නොගැටුණි.

පාර දෙපසම උණ පඳුරු සහිත ඉසව්වකට අපි පැමිණ සිටියෙමු. මේ උණ පදුරුවලින් හැම පදුරකම පාහේ උණ ගහක් දෙකක් බිම වැටී තිබේ...

ඔය අලින්නෙ වැඩ... උන් පිට කහන්න ඇවිත් ගස් බිම දාලා තමයි යන්නෙ..

සිල්වා විස්තර කරයි.

මීටර් දෙතුන් සීයක දුරක් පුරා එක යායට උණ පදුරු කොහෙන්දැයි හිතේ කුකුසකි.

උණ පදුරු යාය පසුවී තණ නිල්ලක් මැවුණු තැනක අලි සිටිනු පෙනිණි.

අපේ ජීප් රිය නැවතිණ.

පොඩි පැටවෙක් සහ මවක් පාඩුවේ තණකොළ හපන අයුරු බලා සිටියෙමු. හොඬෙන් ගන්නා තණකොළ පයේ තුන්හතර වතාවක් ගසා වැලිකැට ඉවත් කිරීමෙන් අනතුරුව බඩට දාගන්නට තරම් ඔවුන් ඉවසිලිමත්ය.

අලි වයසට යනවිට ඔවුන්ගේ දත් ගෙවෙයි. අලි මැරෙන්නේ දත් ගෙවී, තව දුරටත් ආහාර ගන්නට බැරි වූ විටය. දත් ගෙවෙන ප‍්‍රධාන හේතුව තණකොළ සමග මුවට එන වැලිකැට හැපීමය. හොඬට ගන්නා තණකොළ. පයේ ගසා වැලි ඉවත් කරන්නට ප‍්‍රධාන හේතුව එය බව මට කවුරුන් හෝ කියා ඇත.

ජීප් රිය නතරව තිබුණේ සුළු මොහොතකි. එය ඉදිරියට ධාවනය විය.

දකුණු පැත්තෙන් ඇළ මාර්ගයකි. නියඟය වුවත් එම ඇළ මෙඟහි වතුර ටිකක් ඉතිරිව තිබේ. ඉදිරියෙන් ගිය ජීප් රිය එක්වරම අර ඇළ දෙසට හැරවූ අතර ඇළේ වතුර දෙබෑ කරමින් ඉදිරියට ගියේය. ඇළෙන් එතෙර වන තැන මඩ ගොහොරුවකි. එහෙත් ඒ මත ටයර් පාරවල් ඇඳගෙන ජීප් රිය පරෙස්සමට එතෙර විය. අපේ ජිප් රථයද එය අනුගමනය කරමින් ඉදිරියට ගියේය. එය එහාටත් මෙහාටත් පැද්දිණි. එහෙත් පෙරලූණේ නැත.

මොහොතකින් ඇළෙන් එගොඩය.

මේ මින්නේරිය වැව් පිටියය.

හතර අතින් කඳුහිස් වලින් ආවරණය වූ අයුරකි. මම මොහාතකට ඒ කඳු හිස් දෙස බැලූවෙමි. එතරම් උසක් නැතද මේ වියළි කලාපයට ඒවාද කඳුය.

වැවේ ඈත ඉසව්වක වතුරය.

”මේ වැව් පිටිය වැහි කාලෙට මෙහෙන් යන්න බෑ... මේ හරියෙ පවා වතුර පිරෙනවා.

සිල්වා එසේ කියමින්ම යයි.

අපට ඉදිරියෙන් ජීප් පෝලිමකි. තවත් ජීප් සීයකට වැඩි ගණනක් වැව මැද නතර කර ඇත.

අලි සිය ගණනක් වැව් පිටියේ තණ කොළ කමින් සිටිනු පෙනේ.

මේ අලි බලන්නට ඉක්මනටම ඔවුන් ළඟටම යන්නට සිත නොඉවසිලිමත්ය. අලි බලන්නට මේ තරම් ගිජු සිතක් කොයින්ද?

දකුණු පැත්තේ ඈතින් ඈතට විහිදුණු වැව් පිටිය පෙනේ. තණකොළ දලූ දමන වැව්පිටියේ තැන් තැන්වල අලි!

කනේ හිලා?

බොනට්

ඔවුන් ගැන අසන්නට මේ හොඳම වේලාවයි,

”කනේ හිලා නැද්ද?”

මම සිල්වා දෙස බලමි.

නෑ එයා විතරක් නෙමේ බොනටුත් නෑ... ඒ දෙන්නම මේ දවස්වල ඉන්නේ එකෝ පාක් එකේ... මං පෙරේදත් දැක්කා එහෙදි..”

අපේ ජිප් රිය අලි මැදටම ගොස් නතර කෙරිණ.

වම් පැත්තේ අලි රංචු රංචුය.

දැක්කද දළයා?

සිල්වා අසන්නේ, තැනක සිටි දළ ඇතා පෙන්වමිනි.

අඩි තුනකට වඩා දිගු නැති දළ යුගලක් හිමි ඒ ඇතා. රංචුවක් සමග සිටියේය. ඒ රංචුවේ පැටව්ද ගැහැනු සතුන්ද සිටිනු පෙනිණි,

මුළු වැව් පිටියටම සිටි එකම ඇතා ඌ බැවින් සංචාරක කවුරුනුත් වැඩි අවධානය යොමුකළේ ඌටය”

‘‘තනි දළයෙකුත් ඉන්නවා. බලන්න වට පිටාව.’’

සිල්වා ගේ කටහඬ ඇසේ

මෙම කොයිකටත් හැම අලියකු වෙතටම නෙත් යොමුකරමි... තනි දළයාද කොතැනක හෝ සිටිනු ඇත.

‘‘එක දවසක් කනේ හිලා මගේ පස්සෙන් පැන්නුවානෙ.”

සිල්වා කියයි.

”ඒ කෙහෙදිද?”

මෙහෙදි සමහර ජීප් වල එන්නේ අත්දැකීම් අඩු ඩ‍්‍රයිවර්ලනෙ. ඒ අයට තේරෙන්නෙ නෑ අලින්ගෙ හැසිරීම්. පුරුදු කට්ටියට නම් අලි දිහා බලපු හැටියේ තේරෙනවා, එයා සංසුන්ද කලබලකාරයෙක්ද කියලා. බලන බැල්ම, කන්දෙක තියෙන විදිහ, හොඬවැල තියෙන විදිහ අනුව කියන්න පුළුවන් අලියා මොකක්ද කරන්නෙ කියලා. සාමාන්‍යයෙන් කේන්ති ගියාම අලියාගෙ කන්දෙක කෙලින් වෙනවා. ඔලූව ඉස්සෙනවා. නලල රැුලි ගැහෙනවා... ඊළඟට අමුතු සද්දෙකුත් දානවා. සමහරු හොඬවැල තුන් හතර වතාවක් පොළොවෙත් ගහල තමයි පන්නන්න පටන් ගන්නෙ... කොහාම හරි අර සද්දෙ දානවා කියන්නෙ, අලියා පන්නනවම තමා. කනේ හිලා! පන්නන්න ඔන්න මෙන්න කියලා. ඔය වෙලාවට අපි කරන්න ඕනෙ එයාගේ ඉස්සරහට යන එක නෙමෙයි, මඟ අරින එක. ඒත් අර ජීප් එක සතාගෙ ඉස්සරහටම යනවා. නිකම් නෙමෙයිනේ, පිටරටින් ආපු කට්ටියකුත් එක්කනෙ. ලොකු විනාශයක් වෙන්න පුළුවන්. ඉතින් මං අවදානම ගන්න තීරණය කළා. මම හයියෙන් ගිහින් අර ජීප් එකට ඉස්සර කළා.

එන්න එපා කියලා ඒ ඩ‍්‍රයිවර්ට කෑ ගහල කිව්වා.

එතකොටත් කනේ හිලා පන්නන්න සුදානම. උගේ ඉලක්කය මගෙ ජීප් එක කරගෙන මම ගියා... කන්ණාඩියෙන් අලියා දිහා බලාගෙන මම හයියෙන් යනවා. මගේ ජීප් එකේ හිටියෙ සුද්දො කට්ටියක්. ඒ ගොල්ලො පුදුම සතුටකින් අර අලියාව වීඩියෝ කරනවා. මම අලියාට සෑහෙන දුරකින් ජීප් එක අරගෙන ගියා. මීටර් දෙසීයක් විතර පස්සෙන් පන්නපු අලියා පැත්තකට හැරිලා වැව දිහාට ගියා..

මගේ ජීප් එකේ හිටිය ටුවරිස්ට්ලාට හරි සතුටුයි... ඒගොල්ලො මට ප‍්‍රශංසා කරනවා.

මං කිව්වා, ඒ අලියා පැන්නුවෙ ජීප් එකට ගහන්න. කියලා. එතකොටයි එයාලගෙ පපුවෙ බිත්තර තැම්බුණේ.

සිල්වා හිනැහෙයි.

කෙන්හිලාගේ කන හිල්වෙලා තියෙන්නෙ වෙඩි වැදිලද?

මගෙන් ප‍්‍රශ්නයකි?

නෑ. ඒක උපතින්ම පිහිටපු දෙයක්...

මෙතන නැද්ද චන්ඩි අලි?

මගෙන් තවත් පැනයකි.

මෙහෙමයි... අපි දැනගන්න ඕනෑ මේ අයට ඩිස්ටර්බ් නොකර ඉන්න.. මේ අලි, ඔක්කොම ඇවිත් ඉන්නේ කන්නයි. බොන්නයි නාන්නයි... ඒ අය පිට්ටනියෙ එහා මෙහා කෙහේ යනවද දන්නේ නෑ. එහෙම යන අලියෙකුගෙ මඟ හරස් කළොත් ඔන්න අලියට කේන්ති යනවා. එහෙම නැත්නම් උන් උන්ගෙ පාඩුවෙ ඉන්නවා.”

එය වනාන්තරේ නොව මනුස්ස ලෝකයේද ජීවත්වීමේ කලාවයි. අපි සියල්ලන් පුරුදුවිය යුත්තේ අනෙකාට කරදරයක් නොවී ජීවත්වන්නටය. විනය යනු එයයි.! ඒ විනය වනාන්තරයට විශේෂයෙන් වැදගත් වේ.

අපේ ජිප් රිය තවත් ටිකක් ඉදිරියට ගියේය. දැන් අලියා සිටින්නේ හරියටම අපේ ඉදිරියෙනි.

සීට් එකේ හිටගෙන පින්තුර ගන්න.

සිල්වා කියයි. වැවේ වතුර තිබෙන ඉසව්ව, මේ ළඟමය. ඇතැම් අලියෙක් වතුරට බැස සිටියි.

ඉර බටහිර අහසේ බොහෝ පහලට පැමිණ තිබේ. ඔර්ලෝසුවේ වේලාව පහ බව සටහන්ය.!

සෆාරි ජිප් එක දෙක ආපසු යන්නට පටන් ගෙනය.

හය වෙනකොට අපි පාක් එකෙන් පිටවෙලා ඉන්න ඕනෑ...

සිල්වා කියයි.

හයෙන් පස්සේ පාක් එක තනිකරම වන සත්තුන්ගේද?

මම විහිළුවක් කරමි.

තනි දළයා එක්වරම නෙතගැටිණි. ඌ සිටියේ අපට වම් පසින් වැව පැත්තේ නොවේ. දකුණු පැත්තේය.

වැව් පිටියෙන් පිටව යළිත් වන රජ දහනට පිවිසුනෙමු. උයනෙන් පිටවීම සඳහා ඇත්තේ ආ පාර නොවේ. වෙනත් පාරකි. මේ පාරවල් සියල්ල ‘වන් වේ’ ය.

එතෙර වන්නට තවත් ඇළකි... එහි කලින් එතෙර වූ ඇළට වඩා වතුර තිබේ. අපට ඉදිරියෙන් වූ ජීප් රිය බොහෝ සෙමින් පරෙස්සමෙන් ඇළෙන් එතෙර වන හැටි බලා සිටිමු.

ඒ පරිද්දෙන්ම අපේ ජීප් රියද ඇළට බැස්සේය.

මේ ඇළේ කිඹුල්ලූ එහෙම ඇති?.

මේකේ නෑ.. කිඹුලා ඇළ කියලා වෙනම ඇලක් තියෙනවා. ඒකෙ තමයි කිඹුල්ලූ මහ ගොඩක් ඉන්නෙ. හැබැයි ඒ ඇළ මේ දවස්වල හිදිලා නිසා කිඹුල්ල හුඟදෙනෙක් වැවේ ඇත්තෙ.

ඇළෙන් එගොඩ ඉසව්වේ ගස් කොළං වැඩිය. එක යායට වැවුණු ගස් නිසා ඒ ඉසව්වේ ගොම්මනද වැඩිය.

දිවියයි වලහයි ඉන්නේ මේ හරියෙ.

සිල්වා කියයි. ‘‘හැබැයි දකින්න හම්බ වෙන්නෙ නම් කලාතුරකින්. උන් පේන්න ඉන්නෙම නෑ. හිටියත් ඉන්නෙ ගස් උඩනෙ’’

වනයකදී වලසකු දිවියකු දකින්නට ලැබෙන්නේ වාසනාවට යැයි කියති. වලසුන්ද දිවියන්ද, වනයක සිටින්නේ සුළු සංඛ්‍යාවක් වීමද ඊට හේතුවකි.

කෙසේ වෙතත් මින්නේරිය ප‍්‍රසිද්ධ අලින්ටය.!

දැඩි වනගහනය අවසන් විය.

වම් පැත්තේ අසිරිමත් දසුනකි. මොනරෙක් උගේ පිල් කළඹ විහිදා ගෙන මනරම් නැටුමකය. විටෙක අපට පිටුපස පෙන්වමින්ද තවත් විටෙක ඉදිරිපස පෙන්වමින්ද ඌ රංගනයේ යෙදෙයි.

මොනරා නටන්නේ උදේ ඉරට බවත් සෙබඩකගේ ආදරය ලබාගැනීමට බවත් මා අසා ඇත. එහෙත් අහල පහලක එක සෙබඩක්වත් දකින්නට නොලැබිණි. එසේම දැන් ඇත්තේද සවස. බහින ඉරය. එසේ නම් මේ මොනරා රඟන්නේ බසින ඉරට සමුදෙන්නටද?

ඒ මොනර නැටුම හිතේද කැමරාකාචවලද ඉතිරි කරගෙන අපි මින්නේරියෙන් සමුගතිමු. ඊට අඩහෝරාවකට පමණ පසු අපි සිටියේ හබරන ලිලී මල ලිලීස් රිසෝට් තරු හෝටලයේය.

”අලි හිටිය නේද?”

කපිල සර්ධාතිස්ස ඇසුවේය.

”ඒක යායට. දෙතුන් සීයකට වැඩියි. ඔච්චර අලි ගොඩක් එකතැනකදී දැක්කමයි....”

අපේ පිළිතුරේ සතුටද ස්තූතියද කැටිව තිබිණි.

 

ශාන්ත කුමාර විතාන සේයාරූ- දිනේෂ් පෙරේරා

 

 2019-05-27-ent-419 2019-05-27-ent-420 2019-05-27-ent-421  2019-05-27-ent-423 2019-05-27-ent-424 2019-05-27-ent-425 2019-05-27-ent-426