වන්නිහේනේ විස නැති රස බොජුන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-08-23-ent-10

වන්නිහේන ගමේ රසට පංකාදු පහට කෑම කන්න පුළුවන් පුංචි ගොවිපොළකට ඔයත් එක්ක යන්න අපිට හිතුණා, ඔන්න මේ සති අන්තයේදී. ගොවිතැනට මනුස්සකම... ඔබට යුතුකම... එහෙම තමයි එයාලා එයාලව ඔයාලට හඳුන්වලා දෙන්නෙ. ඇත්තටම අපි වන්නිහේනේ කන්න ගියේ අනුරාධපුර ගිය ගමනේදී. අනුරාධපුර මොරගොඩ තලාවේ තමයි වන්නිහේන ගොවිපොළේ බොජුන් හල තියෙන්නේ. මේ ගොවිපොළ organic (කාබනික) ආහාර වෙනුවෙන්ම වෙන්වෙච්ච තැනක්. ඒ වගේම තමයි කෑමවලට කිසිම රසකාරකයක් එකතු කරන්නේ නෑ කියලා තමයි ගොවිපොළෙත් කෑමහලේත් හැමවැඩක්ම බලා කියා ගනිමින් හුඟක් සුහදශීලී සේවයක් සලසන වන්නිහේනේ ප්‍රියන්ත අපිත් එක්ක කීවේ.2018-08-23-ent-03

අපි ගියේ උදේ කෑම කන්න. යන තැනම දකුණු අත පැත්තෙ තියෙන්නේ වන්නිහේනේ මල් ගෙදර. මල් ගෙදර කියලා මට කියන්න හිතුණෙ එතන ඒ තරම් මල් ගොඩක්. වන්නිහේනට උදේ දවල් හවස රූ කන්න තේ බොන්න ආවොත් ලස්සන ලස්සන මල් පිපෙන නොපිපෙන ඔයා කැමති මල් පැල වෙනත් පැල වර්ග අරන් යන්නත් මෙතන කියාපු තැනක්. අපිට උදේට කන්න රතු ඉඳිආප්ප සුදු ඉඳිආප්ප රතු බත් සුදු බත් එක්ක කවුපි වෑංජනයක් හාල්මැස්සන් මැල්ලුමක් බණ්ඩක්කා බැදුමක් තිබුණා. බුෆේ එක ලෑස්ති කරලා තිබුණේ බාග මැටි බිත්ති බැඳලා පොල් අතු හෙවිලි කරලා තිබුණු අපූරැ තැනක. ඒ වගේ බොජුන්හල් කිහිපයක්ම ඒ අපූරැ ගොවිපොළේ තියෙනවා. ඒ පුංචි පුංචි බොජුන් හල්වලට නම් දීලත් තියෙනවා. එකක් කෝපි කඩේ. කෝපි කඩේ කීවම ඉතින් තියෙන්නෙ මොනවද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. තව තැනක් තියෙනවා තෝසේ භවාන්. අක්කර පහක භූමියක පැතිරැණු මේ ගොවිපොළ අවන්හලේ කුස්සිය කමත දර ගේ වගේම අම්බලමත් හමුවෙනවා. අම්බලම හදලා තියෙන්නෙ ඔයාලට වන්නිහේනේ ඇවිත් නතර වෙන්න හිතුණොත් නතර වෙන්න. හෙට අනිද්දට අම්බලම ඒ වෙනුවෙන් සුදානම්ලු වන්නිහේන පටන් අරගෙන තියෙන්නේ දැනට මාස කිහිපයකට ඉස්සර. හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් වෙච්ච නන්දන සහ ඔහුගේ හිතවතෙක් වෙච්ච සරත් එකතුවෙලා තමයි වන්නිහේන සංකල්පයට පණ දුන්නේ.

වන්නිහේනේ ස්වාභාවික රසකාරක මැදුරකුත් තියෙනවා. අසමෝදගම්, ඉරිවේරිය, ඉඟුරැ පියලි, රම්පෙ, කරපිංචා ඇතුළු රසකාරක වර්ග හුඟක් එහි වවා තියෙනවා. මේ ගොවිපොළේ වවා ඇති කාබනික එළවළු වර්ගම තමයි මෙහි උදේ දවල් හවස රූ කෑම පිළියෙල කරන්න යොදා ගන්නෙත්. බණ්ඩක්කා, කැරට්, බීට්, බෝංචි, සලාද කොළ, තව පලාවර්ග, දඹල, වැටකොළු, ගෝවා, මයියොක්කා වගේ තව එළවළු, ගස්ලබු කොමඩු වගේ පළතුරැ වන්නිහේනේ වවලා තියෙනවා. මේ එළවළු වර්ග ඔයාලට එහෙදී මිලට ගන්නත් පුළුවන්. වගාවට අවශ්‍ය පොහොර හදාගන්නෙත් මෙතනමයි. සුදුලූනු, කොහොඹ ඇට, දුම්කොළ වතුරෙ දාලා පල්කරලා හදන පොහොර වගේම කෘත්‍රිමව පස් තට්ටුවල සංයුතිය පිළියෙළ කරලා ගැඩවිලන් දාලා හදන දියර පොහොරකුත් වගාවට යොදනවා. වස විසක් නෑ කියලා බය නැතුව වේලක් හරි තැනකින් කන්න බොන්න පුළුවන්නම් කොච්චර වටිනවද නේද? වන්නිහේනේ බත් උයන්න හාල් ගේන්නෙත් එයාලගෙම කුඹුරකින්. ඒවත් oraganic සහල්. ඒ වගේම බිත්තර ගන්නෙත් ගොවිපො‍ළේම ඇතිකරන කිකිළියන්ගෙන්. දවල්ට සුදු සහ රතු බත් එක්ක කොළ මැල්ලුමක්, මෑකරල් බණ්ඩක්කා වගේ බැදුමක් මයියොක්කා දෙල් වගේ වෑංජනයක් කරවිල කැකිරි ඇම්බරල්ලා වගේ ඇඹුලක් වැව් මාළු එක්ක කුකුල් මස් වගේ දෙයක් එක්ක කටට රහට බත් කන්න පුළුවන්. හවස හතරට විතර වන්නිහේන පැත්තෙ ගියොත් රොටී, තෝසේ කාලා උණු උණු තේකක් බොන්න පුළුවන්. ඒ රොටී හදන්නේ හාල් පිටි, කුරක්කන් පිටි, බඩඉරිඟු පිටි හා මයියොක්කා පිටි වලින්. රූට උණු රොටී ඉඳි ආප්ප සප්පයාමට තියෙනවා. පළතුරැ බීමක් ඒ වෙලාවේම හදාගෙන බොන්න හිතුණොත් නැත්නම් පළතුරැ සලාදයක රස විඳගන්න පුළුවන් වුණොත් ඒකටත් ඔයාට ඉඩකඩ තියෙනවා.

මේ ගොවිපොළේ අපූරැ ජිම් එකකුත් තියෙනවා. ඒකට කියන්නේ අත්තම්මගේ ජිම් එක කියලා. කුරක්කන් ගලක්, ගල් වංගෙඩියක්, මිරිස්ගලක්, ඉලපතක් මේ ජිම් එකේ තියෙනවා. කැමති කෙනෙකුට මේ කුරක්කන් ගලේ කුරක්කන් අඹරන්නත් පුළුවන් ඔන්න. අනුරාධපුරයේ ගියොත් මතකනේ තැන වන්නිහේන (wannihena.com) ඉතින් එන සතියෙත් යමු අපි අනුරාධපුරයේම කොහේ හරි තැනක ඇවිදින්න.

 

2018-08-23-ent-02  2018-08-23-ent-04 2018-08-23-ent-05 2018-08-23-ent-06 2018-08-23-ent-07 2018-08-23-ent-08 2018-08-23-ent-09  2018-08-23-ent-11 2018-08-23-ent-12 2018-08-23-ent-13 2018-08-23-ent-01