වන වඳුලක හුදකලා වූ බොදු උරුමය බුදුරුවගල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-04-20-ent-32

අවිවේකී ජීවිතවලට ඉඳහිට හෝ ලැබෙන පුංචි නිවාඩුවට විවේකය සොයා බොහෝ දෙනා ගමන් කිරීමට තෝරාගන්නේ අප අසන දකින සහ ප්‍රසිද්ධියක් උසුලන සංචාරක ස්ථානයක් වෙතය. එහෙත් එම ස්ථාන වසරේ සෑම කාලයකම සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යන හෙයින් එවන් ස්ථානයකින් අප සොයා යන නිදහස භුක්ති විඳීමට හැකියාව ලැබෙන්නේ අඩුවෙනි. කෙසේ නමුත් සෑම දෙනෙක්ම බොහෝ සෙයින් සංචාරය කරන ඉසව්වලින් ඔබ්බට ගොස් ඔබ යම් ස්ථානයක් සොයා යන්නේ නම්, එම ගමනාන්තය කෙතරම් සුන්දර වේද? එසේ වෙනස්ම සංචාරක ස්ථාන සොයා යනවිට අපේ මව්බිම කෙතරම් සුන්දරද යන්නත්, නම් කියවෙන ප්‍රසිද්ධ ඉසව්වලට වඩා තවත් කෙරතම් මනස්කාන්ත දර්ශනවලින් යුතු ස්ථාන තිබේද යන්නත් සංචාරක ඔබට වැටහෙනු ඇත. මෙවර %තරුණයා^ සංචාරය තුළින් අප පාඨක ඔබ රැගෙන යන්නේද එවැනි තෝතැන්නක් වෙතයි.

ඌව පළාතේ, මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බුදුරුවගල ග්‍රාම නිලධාරී වසමේ මෙම අපූරු සංචාරක ඉසව්ව පිහිටා තිබේ. වැල්ලවාය නගරයේ සිට තිස්සමහාරාමය දෙසට දිවෙන මාර්ගයේ කිලෝමීටර් 6ක් පමණ පැමිණි පසු බුදුරුවගල මංසන්ධිය හමුවේ (48 වැනි සැතපුම් කණුව). එම මංසංධියේ පිහිටා තිබෙන පුරාවිද්‍යා කෞතුකාරය අසලින් රක්ෂිත වනාන්තරය දෙසට දිවෙන මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ ගොස්, දකුණු පසින් හමුවන අතුරු මාර්ගයේ කිලෝමීටර් 3ක් පමණ ගමන් කළ විට ගතත් සිතත් එකලෙස පුබුදුවාගත හැකි මෙම මනරම් ඉසව්වට ළඟාවීමට ඔබට හැකිය. එමෙන්ම මොණරාගල, කතරගම, හම්බන්තොට, තිස්සමහාරාමය යන ප්‍රදේශ ඔස්සේ ද මෙම ස්ථානයට පහසුවෙන් ළඟාවීමට පුළුවන.

48 වන සැතපුම් කණුවේ සිට මෙම පෞරාණික වටිනාකමින් යුත් ඉසව්වට ගමන් කරන මාර්ගය කර්කශ වුවත් එම මාර්ගය දෙපස පිහිටා තිබෙන ගස් කොළන් සහ බුදුරුවගල ජලාශයෙන් නැගී එන සුමුදු සුළං රැල්ල ගතට අමුතුම මිහිරක් සහ සිසිලසක් ගෙන දෙන බව නම් සඳහන් කළ යුතුමයි. කෙසේ නමුත් මෙහි එන සංචාරකයින් මෙම ජලාශයේ දිය නෑමට ගොස් ජීවිත රැසක් අහිමිකර ගත් බවද ගම්වාසියෙක් අප හා පැවසීය. වසරක් පාසා මෙම ජලාශය විසින් ජීවිත බිලිගන්නා බැවින් මෙම ජලාශය දියනෑමට උචිත නොවන බව ගම්මුන්ගේ අදහසයි.

ජලාශය පසුකරමින් ඉදිරියට ගමන් කරන විට වැව් පාමුල තිබෙන නටඹුන් සංකීර්ණය හමුවෙයි. වැව් බැම්මේ සිට මීටර 125ක් පමණ නැගෙනහිර දෙසින් වූ අක්කරයක පමණ භූමි ප්‍රමාණයක මෙම නටඹුන් විසිර පවතී. මෙහි තිබෙන ස්තූප ගොඩැල්ල විශ්කම්භය මීටර 30ක් හා උස මීටර 5ක් පමණ වූ නටඹුන් ස්තූප ගොඩනැගිල්ලකි. 2007 වසරේදී සිදු කළ කැණීම් මගින් වර්තමානය වන විට එය සංරක්ෂණය කොට තිබේ. සීමාපවුර පිහිටා තිබෙන්නේ ස්තූප ගොඩනැගිල්ලේ සිට මීටර් 38ක් පමණ උතුරු දෙසිනි.

 

2018-04-20-ent-34

 

අප කෙමෙන් කෙමෙන් සංස්කෘතික සහ කලාත්මක අතින්ද වැදගත් සුවිශේෂී බුදුරුවගල පුරාවිද්‍යා භූමිය වෙත ළඟා වුණෙමු. මුලින්ම හමුවන්නේ බුදුරුවගල විහාරස්ථානයයි. එම විහාරස්ථානය පසුකරමින් ඉදිරියට යනවිට දැනට ශ්‍රී ලංකාවේ ඇති, පිහිටි ගලක නෙළන ලද උසම ප්‍රතිමාව ලෙසින් සැලකෙන බුදුරුවගල ශෛලමය බුද්ධ ප්‍රතිමාව දිස්වේ. හිටි ඉරියව්වෙන් නිරූපණය කර තිබෙන මෙහි උස මීටර් 13 (අඩි 43ක් පමණ) කි. අඩි 70ක් පමණ දිගින් යුත් ගල් බිත්තියේ ප්‍රතිමාව සමග තවත් ප්‍රතිමා 6ක් නෙළා තිබේ. ගල් බිත්තියක් මත දැවැන්ත ලෙසින් නෙළා තිබෙන බුදුරුව නිසා මෙම ඉසව්ව %බුදුරුවගල^ වශයෙන් ප්‍රසිද්ධියට පත්වී තිබෙන බව ජනප්‍රවාදය සඳහන් කරයි. මෙම ඉසව්ව ෙකතරම් ප්‍රසිද්ධ වුවත් මේ වන තුරු මෙය කවුරුන් විසින් කවදා කරන ලද්දක් දැයි නිශ්චිතව පැවසීමේ හැකියාවක් නැත. මෙය ක්‍රිස්තු වර්ෂ 8-9 සියවස්වලට අයත් මහායානිකයන් විසින් කළ නිමැයුමක් බව පුරාවිදඥායෝ පවසති. කෙසේ නමුදු තවමත් එය මතයක් පමණක් වී තිබේ.

අනෙක් කාරණය මෙම පර්වතය ඇතෙකුගේ ශරීරයේ හැඩයට සමාන වීමයි. පිට ප්‍රදේශය, හිස, හොඬවැල ආශ්‍රිත ප්‍රදේශ මෙහි මනාව දිස් වේ. ගල් තලාවේ බිත්තිය මධ්‍යයේ ප්‍රතිමා නෙළා ඇත්තේ අර්ධ උන්නතවය. බුදුරුව දෙපස පරිවාර ප්‍රතිමා ත්‍රිත්වය බැගින් දැකගත හැකිය. මෙම පිළිමවල ස්භාවය අනුව, එය ථෙරවාදී බෞද්ධයන් විසින් නිර්මාණය කළ එකක් නොවන බව කියයි. මෙරට නිකාය භේදය ඇති වූ අවස්ථාවේ, අභයගිරි භික්ෂූන් වහන්සේ විසින් මහායාන දහම පැතිර වීම පිණිස ථෙරවාදය විනාශ කිරීමට ප්‍රයත්න දැරූ බව ඉතිහාසගත කරුණුවලින් සනාථ වෙයි. මහාවංශය සඳහන් කරන්නේ මහසෙන් රජු විසින් මහා විහාර භූමිය සමතලා කර, එහි ධාන්‍ය වගා කළ බවයි. ඒ අයුරින් සිදුවූ මිශ්‍ර සංයෝගය නිසා, ථෙරවාද - මහායාන ද්විත්වයටම අයත් කලා කෘති බිහිවී තිබීම අරුමයක් නොවනු ඇත. ඒ අනුව අපට බුදුරුවගලද එවැන්නක් බව සැලකිය හැකිය.

බුද්ධ ප්‍රතිමාවේ විශාලත්වය සහ දෙපස නිර්මාණය කර තිබෙන සෙසු ප්‍රතිමාවන්ගේ ස්වරූපය නිසා මෙය දීපංකර බුදුන්ගේ පිළිබිඹුවක් බවටත් ඇතමුන් අනුමාන කරයි. එමෙන්ම පිළිමයේ විශාලත්වය අනුව බුදුන් වහන්සේගේ ලෝකෝත්තර ස්වරූපය ඉස්මතු වන බව මහායානිකයන් විශ්වාස කරයි. ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවේ දකුණු පස තිබෙන ප්‍රතිමා ත්‍රිත්වය මධ්‍යයේ තිබෙන ප්‍රතිමාව අවලෝකිතේශ්වර බෝධි සත්ත්ව ප්‍රතිමාවකි. එහි උස මීටර් 7.2කින් පමණ යුක්තය. එම ප්‍රතිමාවට වම් පසින් නෙළා තිබෙන ත්‍රිභංග ඉරියව් පිළිබිඹු කරන තාරා දේවි ප්‍රතිමාව මීටර් 5.8ක් පමණ උසය. මහායානිකයන්ට අනුව තාරාදේවිය අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයන්ගේ භාර්යාවයි. අවලෝකිතේශ්වර බෝධි සත්ත්ව රූපයේ දකුණු පසින් දක්නට ලැබෙන ප්‍රතිමාව සුධන කුමාර ප්‍රතිමාව බව කියයි. මෙහි උස මීටර් 6.5ක් පමණ වන අතර මහායාන සම්ප්‍රදායට අනුව සුධන කුමරා බෝධිසත්ත්වයෙකි.

ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවේ වම් පසින් දිස්වෙන ප්‍රතිමා ත්‍රිත්වය මධ්‍යයේ නෙළා තිබෙන ප්‍රතිමාව මතු බුදු බව ලබන මෛත්‍රී බෝධිසත්ත්ව ප්‍රතිමාවයි. මෙහි උස මීටර් 7.3කි. එම බෝධිසත්ත්ව ප්‍රතිමාවේ වම් අත දෙසින් නෙළා තිබෙන ප්‍රතිමාව වජ්‍රපානි බෝධිසත්ත්ව ප්‍රතිමාව ලෙස හැඳින්වේ. එහි උස මීටර් 6.4කි. වජ්‍රපානි බෝසතුන්ගෙන් ධර්මයේ හඬ සහ එහි ආරක්ෂාව සංකේතවත් කරනු ලබන බව කියයි. කටක මුද්‍රාවෙන් යුක්තව, දකුණු හස්තයේ වජ්‍රයක් තබා ගෙන සිටින හෙයින් මෙය වජ්‍රපානි බෝධිසත්ත්ව රුවක් ලෙස හඳුනාගෙන තිබේ. මෛත්‍රී බෝධිසත්ත්ව ප්‍රතිමාවට දකුණු පසින් තිබෙන මීටර් 6.4 ක් උසින් යුත් ප්‍රතිමාව මංජු ශ්‍රී බෝධිසත්ත්වයන්ගේය. මහායානිකයන්ගේ මතය වන්නේ ඔහු මෛත්‍රී බෝධිසත්ත්වයන්ගේ ධර්මාචාර්යවරයා මෙන්ම උපදේශකවරයාද වන බවයි. මෙමගින් මහායාන සම්ප්‍රදායට අනුව මහා ප්‍රඥාව සංකේතවත් කරන බව පිළිගැනේ.

මෙහි තිබෙන ප්‍රධාන බුදු පිළිමයේ මුව හතරැස් ය. එමෙන්ම පිළිමයේ සිවුරේ රැළි නිසි ලෙස මතු කර දැක්වීමට නොහැකි වී ඇත. ඊට හේතුව ලෙස දැක්විය හැක්කේ මෙම පිළිම නෙළා තිබෙන ශෛලමය බිත්තිය ඉතා දැඩි වීමය. නිර්මාණකරුවා මෙම අඩුපාඩුව මැකීම සඳහා පිළිම මතුපිටින් හුණු ආලේප කර පිළිමය නිසි ආකාරයට සකස් කර තිබෙනු දැකිය හැකිය. වර්තමානයේ එම බදාම ස්ථරයන් දක්නට නොතිබුණත් එහි ශේෂ කොටස් තැන තැන දිස්වේ. ස්වභාවධර්මයා විසින් දායාද කළ ගල්තලාවක් මත විශ්මිත නිර්මාණයක් මැවූ අපගේ පැරණි කලාකරුවන්ගේ දක්ෂතාවය මෙයින් මනාව පිළිබිඹු වේ. තලේබාන්වරුන් විනාශ කළ ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුද්ධ ප්‍රතිමාවලට පසු ඉතිරිව ඇති විශාලතම ශෛලමය ප්‍රතිමා පිහිටා තිබෙන්නේ බුදුරුවගල බවටද මතයක් පවතී.

බුදුරුවගල ගල් පර්වතයේ පිළිමවලට ඉහළින් තැනින් තැන හතරැස් කුහර කොටා සිරස් ආවරණ යොදා තිබෙන්නේ මෙම පිළිමවල ආරක්ෂාවට බව බැලූ බැල්මට පෙනී යයි. ප්‍රධාන බුදුපිළිමයත් සමඟ වම් පැත්තෙන් ගල් කුහරයක් පිහිටා තිබේ. කලකට පෙර මෙම කුහරයෙන් තෛලයක් වෑස්සුණු බවටත් ඒ තෙල් හිසේ ගෑ පසු ලෙඩදුක් සුව වන බවටත් මතයක් පැවති බව ගම්වාසීන් අප හා පැවසීය.

රූස්ස වනයක් මධ්‍යයේ තනිවී ඇති අතිරමණීය නිර්මාණයක් වූ බුදුරුවගල ශ්‍රී ලංකාවට වටිනා උරුමයක් මෙන්ම සම්පතකි. විදෙස් සංචාරකයින්ගේ පවා දෑස් වශී කරන්නා වූ මෙම අපූර්ව නිර්මාණය එක්වරක් හෝ දැකගන්න ඔබත් එහි යා යුතුය. ඔබ එහි යන්නේ නම් එම භූමියේ තිබෙන නිස්කලංක බව රැකගැනීමටත්, පරිසරය සුරැකීමටත් හැකි උපරිම සහයෝගය ලබාදෙන්න. ශ්‍රී ලංකාවේ පාරිසරික සුන්දරත්වය සහ අපගේ අතීත මුතුන්මිත්තන් අපහට දායද කළ මෙවන් වූ කලා නිර්මාණ අනාගත පරපුරට දායාද කිරීම උදෙසා සංචාරක ඔබගේ දායකත්වය උපරිමයෙන් ලබාදෙන්නේ නම් ඔබ සැබෑ ශ්‍රී ලාංකිකයින් වනු ඇත.

 

සටහන සහ ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර

 

2018-04-20-ent-27 2018-04-20-ent-28 2018-04-20-ent-29 2018-04-20-ent-30 2018-04-20-ent-31  2018-04-20-ent-33  2018-04-20-ent-35 2018-04-20-ent-36