ලෝකේ ලොකුම නටඹුන් සෑය
ගිය සතියේ අපි ඔයත් එක්ක ගියේ සඳහිරැ සෑය බලන්න. අපි කිව්වනේ අපේ අනුරාධපුර ගමන තාම ඉවර නැහැ කියලා. ඉර බැහැගෙන යන හැන්දෑවේ ගිනියම් වෙච්ච පොළොව ටිකෙන් ටික සීතල වෙද්දි අපි ගියා ජේතවනාරාමය පැත්තට. ජේතවනාරාම චෛත්‍යය පිහිටි භූමියට අනුරාධපුර දිස්ත්‍රික්කයේ දකුණින් හා නැගෙනහිරින් මල්වතු ඔයත්, බටහිරෙන් හාල්පානු ඇලෙන් හෙක්ටයාර් 80ක භූමියකුත් අයිති වෙනවා.
ජේතවනාරාම චෛත්‍යය ඓතිහාසික වශයෙන් වැදගත් වෙන්න ලොකු හේතුවක් තියෙනවා. ක්‍රි.පූ. 250 – 210 කාලයේදී මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ කාලයේ ලංකාවාසී ජනතාවට මුලින්ම ධර්මය දේශනා කළ ස්ථානය තමයි මේ. එදවස මේ පෙදෙස හැඳින්වුනේ නන්දන උයන නමින්. පසු කාලෙකදී ජේතවනය නමිනුත් ජෝතිවනය සෑදූ ආරාමය ජේතවනාරාමය නමිනුත් ව්‍යවහාරයට ආවා.
ක්‍රි.ව. 276 – 303 යුගයේදී මහසෙන් රජතුමා කරවපු අඩි 400ක් උස අඩි 1147ක වටප්‍රමාණයකින් යුත් අක්කර 8ක සලපතළ මළුවකට හිමිකම් කියන මේ ජේතවන ස්ථූපයේ නිධන් කරලා තියෙන්නේ බුදුන් වහන්සේගේ පටි ධාතූන් වහන්සේ සහ කේශ ධාතූන් වහන්සේ බව තමයි ඉතිහාසයේ කියන්නේ. පටි ධාතූන් වහන්සේ කියන්නේ ඉනට බඳින පටියට. දැනට නටබුන්ව පවතින ගඩොලින් නිම කරපු ලෝකයේ විශාලතම ස්ථූපය විදිහට ලෝක බෞද්ධ ඉතිහාසයට එක්වන ජේතවනාරාමයට ගිය කෙනකුට විඳින්න ලැබෙන ආස්වාදනීයම අත්දැකීම තමයි දෙපතුළට සිසිල් සුවයක් දනවන සලපතළ මළුවේ කරන සක්මන. ජේතවනාරාමයේ සලපතළ මළුව ඒ තරම් සියුම් ස්පර්ශයක් ලබාදෙනවා.
අපේ අනුරාධපුර චාරිකාව තාම ඉවර නෑ. එන සතියෙත් අනුරාධපුරයේ ඉඳන්ම අපි හමුවෙමු.