ලොව ප්‍රථම කෘෂි තාක්ෂණික උද්‍යානය
පේරාදේනියට නුදුරින් පිහිටා ඇති ගන්නෝරුව ඌ කලී, අතීතයේ සිටම සුප්‍රසිද්ධියක් උසුලන නගරයකි. උඩරට රාජධානි සමයේ දී සෙංකඩගල නුවරට පිවිසෙන ප්‍රධාන ප්‍රවේශය වී ඇත්තේ ගන්නෝරුවයි. වර්තමානයේ ගන්නෝරුව ප්‍රසිද්ධ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ හදවත වී ඇති බැවිනි. කෘෂකර්ම දේපාර්තමේන්තුව, අපනයන දෙපාර්තමේන්තුව, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ කෘෂි විද්‍යා පීඨය හා කෘෂි තාක්ෂණ බිහිකරන හා බෙදාහරින ප්‍රධාන ඒකක පිහිටා තිබෙන්නේ ගන්නෝරුව හා ඒ අවට ප්‍රදේශන් හි නිසාවෙන්, මෙම නගරය ‘කෘෂි කර්මාන්තයේ’ හදවත යනුවෙන් හඳුන්වයි.
මෙවර ‘තරුණයා සංචාරය’ තුළින් ඔබව රැගෙන යන්නේ ලෝකයේ ප්‍රථම කෘෂි තාක්ෂණ උද්‍යානය වෙතයි. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පැමිණ, ගන්නෝරුව පාලම හරහා මදක් ගමන් කළ පසු මෙම කෘෂි තාක්ෂණ උද්‍යානය හමුවේ. වර්ග කිලෝමීටර 2ක් තුළ විහිදී තිබෙන මෙම උද්‍යානය විවෘත කර තිබෙන්නේ 2004 වර්ෂයේදීය. මෙය නිර්මාණය කර තිබෙන්නේ කෘෂිකර්ම අධ්‍යක්ෂක ජනරාල් අචාර්ය රෝහාන් විජේකෝන් මහතාගේ සංකල්පයකට අනුවය. මේ මගින් නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ගොවීන්, පාසල් සිසුන්, ග්‍රාමීය මට්ටමේ නිලධාරීන් හා සාමාන්‍ය මහජනතාවගේ කෘෂිකාර්මික දැනුම වැඩිදියුණු කිරීමට මෙය මහඟු පිටුවහලක් වෙයි.
මෙම උද්‍යානය තුළ නැරඹීමට හැකි කෘෂි ඒකක 42ක් පමණ පවතී. ඒ අතරට එළවළු උයන, කෘෂි කාලගුණික ඒකකය, පැළෑටි ජාන සම්පත් එකතුව, අධි තාක්ෂණ කෘෂිකර්මය, තාවන් පාලනය, පලතුරු උයන, සමෝදාන ගොවිපොළ, මි මැසි පාලනය, භෝග වන දර්ශ ඒකකය, පලතුරු තවාන් ශිල්පය, දේශීය හා නව ආහාර තාක්ෂණය, කාබොනික ගොවිතැන් පර්යේෂණ හා ආදර්ශනය, දෙහි, දොඩම් උයන, මැල්ලුම් උයන, කාබනික ගෙවත්ත, වී වෙගා තාක්ෂණ උද්‍යානය හා කමත් විද්‍යාව, භෝග කෞතුකාගාරය, ඌන භාවිත පලතුරු උයන සහ පැළ තවාන, සෝජාන් වගා ආදර්ශනය, වැව් හා වාරි තාක්ෂණය, සත්ත්ව පාලන ඒකකය, ජෛව විවිධත්වය භෝග, මල් වගාව, කොම්පෝස්ට් ඒකකය, අල භෝග උයන, සාම්ප්‍රදායික හේන, කොස් උයන, පලතුරු උයන, ඔසු උයන, කුළුබඩු උයන, කෘමි උද්‍යානය, බිම්මල් උයන, කෘෂි කෞතුකාගාරය, ආදර්ශ ගෙවත්ත, බීජ පැළ හා පත්‍රිකා අලෙවිසැල යන ආදිය අයත් වෙනවා. මෙම සෑම ඒකකයක් තුළින්ම කෘෂිකාර්මික දැනුම වැඩි දියුණු කරගැනීමට හැකියාව තිබෙනවා. එම නිසාම මෙම තාක්ෂණික උද්‍යානය කෘෂි තාක්ෂණය බිහිකරන හා බෙදාහරින මධ්‍යස්ථානයක් ලෙස හඳුන්වාදීමට පුළුවන්.
මෙම උද්‍යානය සඳුදා සිට සෙනසුරාදා දක්වා උදෑසන 8.00 සිට සමස 4.00 දක්වා විවෘතව තැබෙනවා. මෙහි සංචාරය කරන ඔබට එම උද්‍යානය තුළ පිහිටා තිබෙන හෙල බොජුන් හල මගින් ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීමටද අවකාශය ලැබෙනවා. මෙම උද්‍යානය නැරඹීම සඳහා දේශීය වැඩිහිටි අයෙකුගෙන් රුපියල් 20ක මුදලක්ද, අවුරුදු 12ට අඩු ළමුන්ගෙන් රුපියල් 10ක මුදලක්ද, පාසැල් සිසුන්ගෙන් රුපියල් 5ක මුදලක්ද අය කරනවා. ඔබත් මෙහි ගොස් අපගේ මුතුන් මිත්තන් විසින් පවත්වාගෙන ආ කෘෂිකර්මාන්තය පිළිබඳව දැනුම ලබාගෙන වළපල්ලට ගොස් තිබෙන කෘෂිකර්මාන්තය නගාසිටුවීම සඳහා ඔබට අවැසි පරිදි රුකුලක් ලබාදෙන්න. ඔබ මෙහි යන්නේනම් පා සටහන් පමණක් ඉතිරිකර, අනෙකුත් සියලුම දෑ නැවත රැගෙන එන්න.
සටහන සහ ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර