ලොව පරසිඳු වැල්ල 'කළුවාමෝදර'



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-16-ent-175

ලංකාවේ කුමන හෝ මුහුදු තීරයකට වී ඈත සිතිජය වෙත නෙත් යොමා සිටින විට කුඩාවට කෙමෙන් කෙමෙන් ඈත දියඹේ ගමන් කරන කුඩා යාත්‍රා අපට දැකගැනීමට හැකිවෙයි. එම යාත්‍රා දුටු විට අප කාහටත් සිතෙන්නේ බෝට්ටුවක නැගී ගමන් කරන්නට ඇත්නම් කියාය. නමුත් එය සිහිනයක්ම පමණක් වීමට ඉඩනොදී යම්තාක් දුරට හෝ එය යථාර්ථයක් බවට පත්කර ගැනීමට දකුණුලකේ මුහුදුබඩ මාර්ගය ඔස්සේ ගමන් කරන සංචාරකයන්ට අවස්ථාව උදාවී ති‍බේ.

2017-03-16-ent-178කොළඹ නගරයට ආසන්නයෙන්ම පිහිටි බෙන්තොට නගරය පසුකරමින් ඉදිරියට ගමන් කරන විට හමුවන, බේරුවල ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාසයේ, ග්‍රාමසේවා වසම් 04කින් යුක්ත නගරයක් වන කළුවාමෝදර නම් නගරයේදී මෙම අත්දැකීම ඔබට විඳගැනීමට හැකිවෙයි.

අලුත්ගම නගරයේ පොළ පිටුපස කොටසට තරමක් නුදුරින් පිහිටි සංචාරක බෝට්ටු සේවයක් පවත්වාගෙන යන වෙළෙඳ ආයතනයකින් මෝටර් බෝට්ටුවක් කුලියට ගත් අප එහි නැගී බස්නාහිර සහ දකුණු පළාත වෙන්කෙරෙන අලුත්ගම පාලම යටින් ගමන් ඇරඹුවෙමු.

පාලම පසු කරමින් ඉදිරියට යනවිට අප එතෙක් වෙලා කිසිම ගැස්මකින් තොරව නිදහසේ ගමන් කළ බෝට්ටුව, වාහනයකින් වළවල් සහිත මාර්ගයක ගමන් කරන විට විඳීමට සිදුවන අපහසුතාවය මෙන් ගැස්සෙන්නටත්, පැද්දෙන්නටත් විය. එය අපට බියකරු අත්දැකීමක් ගෙන දෙන්නක් බව තේරුම් ගත් අපගේ බෝට්ටුව පැදවූ රියදුරා එසේ වීමට හේතුව පැහැදිලි කළේය. මීටර් 300ක පමණ දුරක් ගමන් කරනවිට බෝට්ටු සෙලවෙන්නේ අලුත්ගම පොළ පැවැත්වීමෙන් පසු භූමියේ ඉතිරිවන නරක් වූ එළවළු, පලතුරු සහ අනෙකුත් අපද්‍රව්‍ය එම ස්ථානයට බැහැර කරන නිසාවෙන් බවය. එම අපද්‍රව්‍යවලින් මේ වනවිට ගඟ පිරී තිබේ. එයට බලධාරීන් විසින් පියවරක් නොගතහොත් තව කල්යත්ම එම ස්ථානයෙන් බෝට්ටුවකට ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවන බවත්, ගංගාවේ ජීවත්වන මත්ස්‍යයන් විනාශ වීමට ඉඩ ඇති බවත් ඔහු අප හා පැවසීය. ගමන ආරම්භයේදීම අපට විඳීමට සිදුවූයේ එවැනි සෝචනීය ඉරණමකි. සංචාරකයන් බොහෝ පිරිසක් සැරිසරන, විනෝද වන මෙම ගංඟාව එහි දෙපස ජීවත්වන්නන්ට නොවටින්නේ මන්දයැයි අපට තේරුම් ගැනීමට නොහැකිය.

කෙසේ හෝ බාධක ජයගෙන අප නැවතත් පෙර ලෙසම ගමන් ඇරඹුවෙමු. මුහුද දෙස බලාසිටින විට ඈත දියඹේ යන යාත්‍රාවලට කොයි අත බැලුවත් පෙනෙන්නට ඇත්තේ ඉමක් කොනක් නොපෙනෙන මුහුද වන්නට පුළුවන. එහෙත් මේ ගමනේදී කොයි අත බැලුවත් අපට පෙනෙන්නට තිබුණේ දර්ශනීය අන්දමින් දිස්වෙන මනරම් දර්ශනය. එම දර්ශනයන්ගෙන් සහ මගදී හමුවන සංචාරක බෝට්ටුවලින් දක්වන සුහදතාවය, මාළු බාමින් සිටින ධීවරයන් සංචාරක බෝට්ටුවෙත පෙන්වන ඔවුන්ගේ මාළු බෑමේ හැකියාවද දැකබලා ගනිමින් අපගේ එක් ගමනාන්තයක් වූ බෙන්තොට කඩොල් කැලේ භූමියට අපි ඇතුළු වුණෙමු. එයට ඇතුළු වෙත්ම වෙනම ලෝකයක් තුළට පැමිණියාද යන හැඟීම අපගේ හදවත් තුළට දැනුණි.

අප ඇතුල් වූයේ ස්වභාවිකවම නිර්මාණය වී තිබුණු කඩොලානවලින් වටවූ බිංගෙයක් තුළට බව පැවසීම වරදක් නැත. නමුත් දුම්රිය බිංගෙයකට වඩා මේ තුළින් ගමන් කිරීමට මහත් වෙහෙසක් දැරීමට අපට සිදුවිය. මන්ද කඩොලාන ශාකයන්ගේ අතුරිකිළි අප ගමන් කරන මාර්ගයෙත්, ඊට පහළිනුත් අපගේ ශරීරයේ ස්පර්ශ වන අන්දමින් මාර්ග බාධක ලෙස විසිරී තිබුණු නිසාවෙනි. ඉදිරියෙන් බෝට්ටුවක් පැමිණියහොත් බෝට්ටුවලට මාරුවීමටද ඉඩකඩ නොලැබෙන ලෙස මෙම ස්වභාවික මංපෙත පිහිටා තිබේ. බෝට්ටු ඒ මේ අතට හරවමින් පසුපසට ධාවනය කරමින් එම සුළු ඉඩකඩේ කෙරෙන ක්‍රියාදාමය සුළුපටු නොවේ. එය වාහනයක් පදවනවාටත් වඩා අපහසු කර්තව්‍යයකි.

බාධක ජයගෙන ඉදිරියට ගමන් කිරීමේදී ඉඩකඩ තිබෙන ස්ථානයන්හි බෝට්ටු නවත්වා ඒ තුළට වී ගීත ගායනා කරමින් විනෝද වන තරුණ පිරිස් අපට ස්ථාන කිහිපයකදී දැකගැනීමට හැකිවිය. කඩොලාන ගහනයෙන් වට වී තිබෙන එම පරිසර පද්ධතිය තුළ තිබෙන සිසිල සහ නිස්කලංක භාවය නිසා ඒ තුළ මුළු දවසම වුවත් විනෝදවීමට හැකි බව ඔවුන් දුටුවිට අපට හැඟුණි.

එම සොඳුරු අත්දැකීම් විඳගනිමින් අප එම ඉසව්වෙන් නික්ම නැවතත් ගමන ආරම්භක ස්ථානයට පැමිණ එතැන් සිට අනෙක් පසට ගමන් කළෙමු. ඒ ගමනේදී ඉතා ත්‍රාසය ජනක භයංකර ජල ක්‍රීඩා ඉසව්වල නිරත වන දේශීය විදේශීය සංචාරකයන් රැසක් අපගේ නෙත ගැටුණි. එම තීරය වෙන්ව තිබුණේ ජල ක්‍රීඩා කරමින් විනෝද වීමට කැමැති සංචාරකයන්ටය. සංචාරකයන් සඳහා එම සොඳුරු අත්දැකීම් තිළිණ කිරීමට ගඟේ එක් පසෙක ජල ක්‍රීඩා සඳහා අවශ්‍ය කරන සේවා සහ උපකරණ සැපයීමට ආයතන රැසක් පිහිටා තිබේ.

එම ආයතන තුළින් මෙතෙක් පිටරටවලදී පමණක් විඳගැනීමට හැකියාව ලැබුණු Jet ski, Banana Ride, Water Sking, Sofa ride, Sleeping tube ride, Tube ride, wake board වැනි ක්‍රීඩා ඉසව් ගණනාවක් ක්‍රියාත්මක කරනු ලැබේ. මෙතෙක් කලක් මාධ්‍ය තුළින් පමණක් නරඹා තිබූ එම ත්‍රාසය කැටිවූ විනෝදකාමී ක්‍රීඩාවන්හි සොඳුරු දසුන් අපට සජීවීව දැකබලා ගැනීමට හැකිවිය.

ජල ක්‍රීඩා ඉසව් සඳහා සහය සපයන මෝටර් බෝට්ටු පදවන්නන්, ක්‍රීඩා ඉසව්වල නිරතවන සංචාරකයන් සඳහා අමතක නොවන අත්දැකීම් ලබාදීම සඳහා බෝට්ටු ඉතා වේගයෙන් පදවමින්, හරවමින් ඒ සඳහා අනගි සහායක් සපයයි.

එම වේගවත් බව නිසාම දියට නොවැටී සිටීමට ක්‍රීඩා ඉසව්වල නිරත වන්නන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවේ. කොපමණ උත්සාහ ගත්තද දියට නොවැටී බේරීමට හැකිවන්නේ ඉතා අත‍ෙලාස්සකට පමණි. එම විනෝදකාමී ක්‍රීඩා ඉසව් දෙස තරමක්වේලා බලා සිටි අපි නැවතත් ගමන් ඇරඹුවෙමු. ඒ ගමනේදී එම ගං තීරයේ වම් අත දෙසට වන්නට පිහිටා තිබෙන මෙරට සුප්‍රසිද්ධ සංචාරක හෝටල් ගණනාවක් සහ ප්‍රධාන පෙළේ ආයතන රැසක නිවාඩු නිකේතන අපට දැකගැනීමට හැකිවිය. ඔවුන් එම ගොඩනැගිලි පිහිටි භූමි සහ ගං ඉවුර මනා ලෙස සංරක්ෂණය කොට ඉතා අලංකාර ලෙස පවත්වාගෙන යයි. මුලින් අප ගමන් ගත් කලාපයේ තත්ත්වය ශෝකජනක වුවත්, මෙම කලාපයේ තත්ත්වය ඉතා සතුටු දායකය.

එම මනරම් සංචාරක හෝටල් සහ ජල ක්‍රීඩාවන්හි නිරත වන සංචාරකයන්ගේ සොඳුරු වූ ක්‍රීඩා විලාස දැක බලාගනිමින් අප කෙමෙන් කෙමෙන් ළං වූයේ අප මෙතෙක් වේලා ගමන් කළ බෙන්තර ගංකොමලිය මහ මුහුදට එක්වන කළුවාමෝදර මෝය කට වෙතය. අප ඒ දෙසට ළං වෙත්ම මුහුදු රළේ බලපෑම බෝට්ටුවටද දැනෙන්ට විය.

ගඟ සහ මුහුද සම්බන්ධ වන සීමාවක්වත් සොයා ගැනීමට නොහැකි ලෙස ගංඟාව මුහුද සමග සම්බන්ධ වේ. එම සොඳුරු දසුන මෙම ස්ථානයේදී හෝ වෙනත් මෝය කටකදී සංචාරක ඔබ විඳගත යුතුම දසුනකි.

එම ස්ථානයේ ගල් තලාවක් මත පිහිටා තිබෙන ආරණ්‍ය ගලද මෙම ස්ථානයේ තිබෙන සුන්දරත්වය තව තවත් වැඩි කරයි. එම ස්ථානයේ වැඩි වේලාවක් බෝට්ටුව තුළට වී සිටීමට නොහැකි නිසා සංචාරය නිම කරමින් අපි නැවතත් ආරම්භක ස්ථානය වෙත පැමිණියෙමු.

මෙහි පැමිණෙන සංචාරක ඔබට බෝට්ටු සවාරියක් ඔස්සේ %පහුරු කන්ද^ නම් පන්සල වෙතද ගමන් කිරීමට අවස්ථාව උදාවේ. ඒ සඳහා මුළු ගමනට පැය 06ක පමණ කාලයක් ගත වන නිසා එම ඉසව්ව වෙත ගමන් කිරීමට අපට කාලවේලාව සලසා ගැනීමට නොහැකි වුණි. එහෙත් අනාගතයේ එක් දිනයකදී එම සොඳුරු අත්දැකීමද ඔබට තිළිණ කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

මෙහි සංචාරකයන් සඳහා සේවා සපයන සියලුම ආයතන සාධාරණ මිල ගණන් යටතේ ඔවුන්ගේ සේවා පවත්වාගෙන යනු ලැබේ. එමෙන්ම ආරක්ෂාව සම්බන්ධව 100෴ වගකියනු ලැබේ. එම නිසා ඔබත් මෙහි ගොස් වින්දනයක් ලබාගන්න. එහෙත් ඔබ රැගෙන යන ආහාරපාන, ඇසුරුම්, ජල බෝතල් සහ ඉවත දමන අපද්‍රව්‍ය ගංගාවට එක් නොකොට නැවත රැගෙන ඒමට වගබලා ගන්න. එවැනි ලෙස හෝ පරිසරය රැකගැනීමට ඔබ දායකත්වය ලබාදුනහොත් අනාගත පරපුරටද මෙම සොඳුරු ඉසව්වල මිහිර මේ ආකාරයෙන්ම විඳ ගැනීමට අවකාශය ලැබේ.

 

සටහන හා ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර /සුපුන් සම්පත්

 

2017-03-16-ent-177 2017-03-16-ent-176  2017-03-16-ent-174 2017-03-16-ent-173 2017-03-16-ent-172 2017-03-16-ent-171 2017-03-16-ent-170 2017-03-16-ent-169 2017-03-16-ent-168 2017-03-16-ent-167