රෑ හඳපානේ අලි - කොටි මැද්දේ....
රෑ පානේ එනවද යන්න අපිත් එක්ක අලි, කොටි, වලස්සු බලන්න. කියපු ගමන් හිත පොඩ්ඩක් ගැස්සුණා නේද? කුරුල්ලන්, සර්පයන්, සමනලුන් හාවුන් අතරේ කී නොකී තව සතුන් ගොඩක්... හඳ එළියෙන් නෑවි නෑවී අපි වෙනුවෙන්මද කොහෙද ඇහැරිලා ඉන්න හැටි බලන්න මේ සති අන්තයේ අපිට හිතුණා ඔයත් එක්ක යන්න... අද අපි යන්නේ කොළඹ ඉන්න ඔයාට නම් හොඳට හුරුපුරුදු තැනකට.. ඒ තමයි දෙහිවල සතුන් වත්ත... හැබැයි පුංචි විශේෂත්වයක් තියෙනවා.. අපි යන්නේ දවල් නෙවෙයි රෑ.. මම හිතන්නේ ඔයත් දන්නවා දැන් සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා රෑටත් සතුන් වත්ත ඇරලා... හවස හයේ ඉඳන් රෑ දහය වෙනකම් ඔයාට රෑට සතුන් බලන්න සතුන් වත්තට යන්න පුළුවන්....
ෆොටෝ ගනිද්දී ෆ්ලෑෂර් එක පාවිච්චි කරන්න එපා කියන්නේ සතුන් ගැන තියන ආදරයට.. විදුලි කොටනවා වගේ ඇස්වලට එළි වදිද්දී උන්ට හරි අමාරුයි.. උන් දන්නේ නෑනේ මේ ෆ්ලෑෂර් ගැන.. කොටියා නම් ‘හරි ගනින්’ කියාගෙන වගේ පැද්දී පැද්දී අපි ඉන්න තැනට හෙමින් සීරුවෙ ආවා. අලි නම් සුපුරුදු ආඩම්බරකමටම අහක බලාගෙන හිටියා.. මාළු නම් නිදිද නැද්ද හොයන්න බෑ... හාවුන් නම් කොට්ට වගේ රෑ හඳපානේ හිටු කියලා පිනුම් ගැහුවා. ඒත් කළුවරේ සතුන් එක්ක සැරිසරද්දී දවල් කාලයේ සතුන් බලන්න යනවට වඩා අමුතු අත්දැකීමක් විඳින්න පුළුවන්.
රෑ සතුන් අතරේ ඇවිදිද්දී බඩගින්නක් තිබහක් ආවොත් ඔන්න කන්න කැන්ටිමත් ඇරලා... උණු උණුවේ දෙයක් කන්න හිතුණොත් ඔන්න ඒකටත් ඉඩ තියෙනවා.... ඉතින් ඔයත් ගිහින් එන්න රෑ සතුන් වත්තේ වෙනස බලලා එන්න. එන සතියේ අපි එනවා තවත් කොහේ හරි යන්න.