රාවනා ඇල්ල ළඟ දෙපැයක්...
කඳුයායම නිසංසලය
නිල්ම නිල්පාට අහස් කුස දෙස බලා ඉන්නා හුදෙකලා කන්දකි. ඒ කන්දේ මුදුනේ සිට පහළට ඇදුණු සුදුපාට සිහින් රේඛාවකි.
මේ සිහින් රිදී රේඛාව දෙස බලා ඉන්නා නෙත් රාශියකි.
ඇල්ල-වැල්ලවාය පාරේ පාර අද්දර පිහිටි පාලම මත සිටගෙන එහි ඇන්දට හේත්තුවී අර කඳුයාය දෙසත් ඒ කඳුයාය මැද ඇඳුණු රිදී රේඛාව දෙසත් බලා ඉන්නා සුවහසක් සෙනඟ අතරට මමද පිවිසුනෙමි.
රාවණා ඇල්ල අභයභූමිය නම්වූ පුවරුවක් පසෙකය.
මම පාලම මත පොදිකන සෙනඟ දෙස බලාසිටිමි. වැඩි පිරිස තලෙලූ පැහැ සම් ඇති ශ්‍රී ලාංකිකයන්ය. ඒ අතරෙහි සුදු හම් ඇති සංචාරකයන්ද රැසකි.
සමහරු කොට කලිසම ස්කිනි හැඳ කැමරාවක් කරේ එල්ලා ගත් උදවියය. සමහරු තරුණය. සමහරු වියපත්ය. තම අතවූ කැමරා කාච අර කී රිදී රේඛාව වෙත එල්ල කරගත් ඔවුහු එක දිගටම පින්තූර ගනිති.
මම පාලම ඉදිරියෙන් ගමන් කොට ගල් කුලෙන් කුලට පනිමින් ඉදිරියට ගියෙමි. එතැන ඇති එක් උස් හතරැුස් හැඩයක් ගත් ගල් කුලක් මත වාඩිවී සිටින සුදු ජාතික පිරිසකි. ඔවුහු තිදෙනෙක් නිදහසේ කතා බස් කරති. හැබැයි අව්ව සැරය. ඒ සැර අව්ව පහත්වන්නේ අර කී සංචාරක පිරිසගේ සිරුරු මතටය. එහෙත් ඔවුනට වගේ වගක් නැත. අපේ අව්ව ඔවුන්ට සතුටක් සේය.
ඊට ඔබ්බෙන් අර රිදී රේඛාව ගලාහැලේ.
තව දුරටත් සඟවාලිය යුතු නැත. ඒ දිය ඇල්ලකි.
තවත් පැහැදිලිව කිවහොත් රාවණා ඇල්ලය.
මම එම ඇල්ලේ ඉහලම කොටස සොයමි.
කඳු මුදුනේ ඉහලම තැනකින් දිය දහරක් ගලා හැලෙයි. කොහේ සිට ආවාදැයි නොදනී. ඒ දිය දහර එක්වරම විසල් කන්දකින් පහළට පනින හැටි අපූරුය.
දිය ඇල්ල යන ස්වභාවික සංසිද්ධිය උපදින්නේ එසේය. හැල්මේ ගලායන ගඟක් එක්වරම කන්දකින් පහළට පනින තැන දිය ඇල්ලක් උපදී. එහෙත් අද රාවණා ඇල්ල අතිශයින්ම කෙට්ටුය. කොටින්ම කිවහොත් ගඟක්, ගලකින් පනින බවක් පේන්නේම නැත. මේ ගඟ මුහුණ දෙන්නේ නියං සමයකට වන නිසාය.
දිය ඇල්ලක සුන්දරත්වය රැුඳෙන්නේ ඉන් ගලා හැලෙන දියදහර පුළුල් වූ විටය. නියං සමයේ සිහින් රේඛාවක් සේ ඇදහැලෙන දිය දහරක සුන්දරත්වයක් නැත.
කඳු මුදුනින් ඇදහැලෙන දිය දහර කන්දේ තැන් තැන්වල සැඟවී සිට යළිත් වරක් පහලට ඇද හැලෙන හැටි පෙනෙයි. එතැන පහළින් පොකුණකි. මම ගලින් ගලට පැන ඒ පොකුණ අද්දරටම යමි. ලංකාවේ හැඩයට කිට්ටු හැඩයක් ගත් ඒ විසල් පොකුණ අවට ඇත්තේ උස්ව නැඟුණු කඳු බිත්තිය. මේ කඳු බිත්තිය මත වාඩිවූ පිරිස් බොහෝය. ඔවුන් රිසිසේ දියඇල්ලේ සිරි නරඹති. සමහරු අතවූ කැමරා දිය පොකුණට යොමුකරගෙන ඡුායාරූප ගනිති.
පොකුණට බැසගත් ඉලන්දාරින් පිරිසක් දියනාති. කෝකටත් කියා පොකුණට කිට්ටු වූ මම වතුර දෝතක් ගෙන මුහුණ දෝවාගනිමි.
සී...ත...ල....
බොරුවක් නොවේ
සීතලම සීතල
මේ වතුර හොඳටෝම සීතලය. අප සීතලම සීතලය කියන්නේ අයිස් මිදෙන තරම් සීතලක් දැනෙන විටය. එහෙත් මේ පොකුණට බැස සිටින ඉලන්දාරින්ට සීතල ගැන වගක්වත් නැත. ඔවුන් කරවටක් දියේ ගිලී සීතල දෙකනින් රැුගෙන යලිත් පොකුණෙහි සිටගෙන සිටිති.
තවත් දෙතුන් දෙනෙක් පොකුණට බැස ගත්හ. ඉන් තිදෙනෙක් එකම පවුලකි. තරුණ සැමියෙක් බිරිඳක් සහ ඔවුන්ගේ පුංචි දරුවාය. තරුණ බිරිඳ දනිස්සට දිග කලිසමක් සහ ටී ෂර්ටයක් ඇඳගෙනය. ඇය දියේ බැස පොඩි දරුවාව වතුරේ ගිල්වා යළි වඩාගත්තාය. පොඩි එකා සීතලේ බැරුව අම්මාට තුරුලූ වූවාය.
ඒ අතරවාරයේ ඉලන්දාරි දෙදෙනා පොකුණට දිය ඇල්ල ඇදවැටෙන තැනට ගොස්ය. ඔවුහු ගල්කුලක වාඩවී වැටෙන දිය ඇල්ලට හිස අල්ලාගෙන සිටිති.
යටිනුත් සීතල උඩිනුත් සීතල
අර යටිනුත් ගින්දර උඩිනුත් ගින්දර මැද පිච්චෙන ආප්පයක් පරිද්දෙන් සීතල මැද්දට වී අර තරුණයන් දෙදෙනා සිටින හැටි.
මම පසෙක බලමි... දිය ඇල්ල අද්දර වූ පොකුණ අසල වාඩිවී සිටින සුදු ජාතික යුවතියන් දෙදෙනා තවමත් එලෙසමය. ඔවුන්ට අව්වවත් සීතලවත් ගාණක් නැති සේය.
අවුරුදු දෙකක්වත් වයස නැති පුංචි පුතෙක් වතුරට දෝත දමා වතුරගෙන මුහුණ දෝවන හැටි අපූරු දසුනකි. හැබැයි මේ පුංචි එකා සුදු එකෙකි. ඔහුගේ අම්මා පුතු අසලම වාඩිවී දිය ඇල්ල දෙස බලාසිටියි. පොඩි එකා උගේ පාඩුවේය. හැබැයි අනවශ්‍ය දඟකම් කරන්නට ඔහුට උවමනාවක් නැති සේය. ඔහු වතුරට බහින්නට හදන්නේ නැත. වතුර ගෙන මුහුණු හෝදනවා පමණි.
විසිල් හඬක්!
මම අවට බලමි...
පාලම අද්දරට වී දිය ඇල්ල දෙස බලා ඉන්නා පොලිස් භටයා අතවනා කාටදෝ බිමට බහින්නට අණකරයි.
ඒ ඇල්ලේ උඩට නගින පුංචි එවුන් කිහිප දෙනෙකුටය. ඔවුන් පය ලිස්සා බිම වැටුණොත් යන සැකය නිසා පොලිස් නිලධාරියා අනතුරු අඟවා ඇත. දිය ඇල්ල අද්දරම වූ පුවරුවක ඇල්ල බිලිගත් තරුණ මරණ තිස් හතරක් බව සඳහන් කර තිබෙන්නේ ඒ නිසාය. එහෙත් තරුණයන්ට ඒ මරණ වගේ වගක් නැත. අනතුරුදායක ලෙස ඇල්ල දිගේ ඉහළ නගින කිසිම ඉලන්දාරියෙක් අනතුරක් තිබෙන බව නොසිතයි. එහෙත් මාරයා සිටින්නේ සැඟව ගෙනය.
රාවණා ඇල්ලේ මව කව්දැයි දැන් ඔබ සිතනු නොඅනුමානය. මහවැලි ගඟට ගලා බසින උමා ඔයේ එක් ශාඛාවක් වන හෝ ඔය, මේ සොඳුරු මනාලියගේ මාතාවයි.
වනමැදින් ගලා එන ඇය කොටකිතුල් කන්දෙන් මඳක් සරතැසනිවා, ගලෙන් පහලට පනින මොහොතේ මේ සුන්දර රාවණා ඇල්ල උපදියි. රාවණා රජු, සීතා කුමරිය පැහැරගෙනවිත් සඟවා තැබූයේ රාවණා ගුහාවේය. එසේ සඟවා සිටි සීතා කුමරිය දිය නාන්නට ඇවිද ආවේ මෙන්න මේ සුන්දර දිය ඇල්ලටය.
එදා සීතා හැංගී සිටි ගුහාව-අද රාවණා ගුහාව-පිහිටා ඇත්තේ රාවණා ඇල්ලට මඳක් ඔබ්බෙන් පිහිටි විහාරයේ ආවාසගෙය අසල පිහිටි කඳු ශිඛරයක මැදටවන්නටය.
රාවණා ඇල්ලේ උස මීටර් හතලියකි. අද රාවනා ඇල්ල අවට ප‍්‍රදේශය රාවනා ඇල්ල නමින්ම හැඳින්වේ.
ශාන්ත කුමාර විතාන සේයාරූව පවනි උමයංගනා