රාජකීය වන අරණ 'උඩවත්ත කැලේ'
ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ත ලෝකය පුරාම විශිෂ්ටතම ලෝක උරුමයක් ලෙස පිළිගැනෙන කන්ද උඩරට සෙංකඩගල රාජධානිය මෙරට පිහිටි අතිශය රමණීය ස්ථානවලින් ප්‍රමුඛත්වයක් ගන්නා මනරම් ඉසව්වක් ලෙස හඳුන්වාදිය හැකිය. බොදු දනන්ගේ මුදුන් මල්කඩ ලෙස හැඳින්වෙන බුදුරදුන්ගේ දත්ත ධාතූන් වහන්සේ වැඩ සිටින ශ්‍රී දළඳා මාලිගාව මහනුවර නගර මධ්‍ය‘යේ පිහිටා තිබීම එයට හේතුවයි. මෙහි සංචාරය කරන ඔබට දන්ත ධාතූන් වැඳ පුදා සිත්සතන් තව තවත් පහදවා ගැනීමට යා හැකි ස්ථානයක පිළිබඳ මං සලකුණු ගෙනඑන්නයි මෙවර අපගේ සූදානම.
මහනුවර නගරයේ ශ්‍රී දළඳා මාලිගාවට උතුරු දෙසින් උතුරු අක්ෂාංශ 7.12 සහ 8-19 අතරත්, නැගෙනහිර දේශාංෂ 80-38 හා 80-39 අතරත් පිහිටා තිබෙන "රාජකීය වන අරණ" නමින් හැඳින්වෙන "උඩවත්ත කැලේ" මහනුවර ප්‍ර‘දේශයේ සංචාරය කරන බොහෝ දෙනෙකු නොදන්නා ඉසව්වකි.
ගමන් මාර්ගය
දළඳා මාලිගාවට ඉදිරිපසින් මහනුවර නගර සභාව දක්වා දිවෙන සංඝමිත්තා මාවත දිගේ ගමන් කිරීමෙන් මේ සුන්දර වන පියසට ඇතුළු විය හැක.
අතීතියෙන් බිඳක්
අක්කර 275ක් පමණ විශාලත්වයෙන් යුතු මෙම වන පියස අතීතයේ මහනුවර රාජධානියේ රජකම් කළ රජවරු විවේක සුවයෙන් සිටි ස්ථානක් ලෙස ප්‍රචලිත වී තිබේ. එමෙන්ම එකල මාලිගාවේ සිටි අලි ඇතුන් සඳහා ආහාර සම්පාදනය කිරීම සඳහා මෙම වන අරණ යොදාගත් බව පුරාවෘර්තවල සඳහන් වෙයි.
එසේම ගම්පොල රජ කළ සේනාසම්මත වික්‍රමබාහු රජතුමා මේ කැලේ %උඩ වාසල^ නමින් මාලිගාවක් තනාගෙන එහි වාසය කළ බවටද මතයක් තිබෙන බව අවට පැරණි ගම්වාසීහු පවසති. එසේ අතීත කතා වස්තු සැඟවී තිබෙන මෙම වනය 1940 වර්ෂයේ කොස් හා මහෝගනී ගස් සිටුවා වන සංරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර ඇත.
සුවිශේෂිත්වය
ශ්‍රී ලංකාවේ තිබෙන වෙනත් ස්වභාවික වනාන්තරයක තිබෙන ජෛව විවිධත්වය සහ සුන්දර වන අරණක තිබෙන සිසිලස එලෙසිම්ම විඳගත හැකිය. එමෙන්ම වසර දහස් ගණනක් පැරණි තුරු ලතාවලින් සමන්විත මෙම වන අරණ මනාව හඳුනාගත හැකි තුරු වියන, උප වියන හා බිම් ස්තරය යන වියන් තුනකින් යුක්ත වෙයි. මෙම වන අරණට පිවිස වැඩිදුරක් යන්නට මත්තෙන් හමුවන "රජ පොකුණ" අතීතයේ සෙංකඩගල පුරවරයේ රජකළ රජවරුන්ගේ සහ බිසෝවරුන්ගේ දිය කෙළින ජල තටාකය ලෙස හැඳින්වේ. එම රජ පොකුණේ සිට මාලිගාව දක්වා උමං මාර්ගයක්ද තිබෙන බව අතීත වාර්තාවල සඳහන් වී තිබේ. මෙහි උසම ස්ථානය ලෙස සැලකෙන්නේ කොඩිමලේ නම් ස්ථානයි. මුහුදු මට්ටමේ සිට අඩි 1800ක උසින් පිහිටි මෙම ස්ථානයට මුළු මහනුවර නගරයම දිස්වේ.
කොඩිමලේ නම් ස්ථානයට නුදුරින් පිහිටා තිබෙන වයස අවුරුදු 200-300 පමණ වියපත් යෝධ පුස්වැල උඩවත්ත කැලයට පිවිසෙන ඔබ විසින් දැක බලාගත යුතුම ශාකයකි. ඊට අමතරව වනය මැදින් ගමන් කිරීමේදී නා වනයත්, විහාරයත්, සේනානායක ආරණයත් සහ වනය සම්බන්ධ කෞතුකාගාරයත් ඔබට හමුවේ.
එසේම උඩවත්ත වන අරණට ආවේණික සමනල විශේෂ, සිව්පාවන්, පක්ෂීන්, උරගයන්, උභය ජීවින්, මත්සයන්, ඉබ්බන්, කබරගොයන්, දිය බල්ලන්, ගෙබි විශේෂ මෙන්ම විශේෂ මකුළුවන් මෙහිදී දැකබලා ගැනීමට අවකාශය ලැබේ.
විනෝදාස්වාදය
සොබාදහමේ සුන්දරත්වය විඳීමට ඇලුම් කරන සංචාරකයන් හට තුරු වියන් යටින් ඇවිද යාමට අවකාශය මෙහිදී හිමිවේ. අවශ්‍ය නම් පාපැදියකින් ගමන් කිරීමට හැකි ධාවන පථයක්ද මෙහි නිර්මාණය කොට තිබේ. එමෙන්ම වනජීවී ඡායාරූපකරණයේ යෙදෙන ඡායාරූප ශිල්පීන්ට නිදහසේ ඡායාරූප ගැනීමට කදිම තෝතැන්නක් ලෙසද මෙය හැඳින්විය හැක. වනසතුන්, ශාක නිරීක්ෂණය කොට දැනුම ලබාගැනීමට පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන්ට මෙරට පිහිටා තිබෙන හොඳම ස්වභාවික වන අරණක් ලෙසද මෙය සැලකෙයි.
සැලකිලිමත් බව
මෙම වන අරණ තුළ පිහිටි විහාර තුළ දෙස-විදෙස් ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා තවුස්දම් පුරණ හෙයින් අධික ශබ්දයෙන් කෑ නොගසා සංවරව හැසිරිය යුතුය. පරිසර දූෂණයෙන් තොරව මෙහි අසිරිය විඳගැනීමට වගබලා ගත යුතුය.
සටහන සහ ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර/තිසර ගංගාදර