රතු බලකොටුව
ඉන්දියානුවෝ සෑම වසරකම ජනවාරි මස 26 වැනිදා ඔවුන්ගේ ජනරජ දිනය සමරති. අගෝස්තු 15 වැනිදා නිදහස් දිනය සමරති. ඒ සුවිශේෂී අවස්ථා දෙක වෙනුවෙන් හමුදා පෙළපාළි සහ සංදර්ශන සියල්ල සංවිධානය කෙරෙන්නේ නවදිල්ලි අගනුවර මධ්‍යයේ පිහිටා ඇති රතු පැහැයෙන් යුත් ‘රතු බළකොටුව’ කේන්ද්‍ර කරගෙනය. වර්ෂ 2007 දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසින් ද නම් කළ රතු බළකොටුව, ටාජ්මහල සේම ඉන්දියාවේ අනන්‍යතාවය වී පවතී.
රතු බළකොටුව ඉන්දියාවේ - නවදිල්ලි අගනුවර පිහිටා ඇති ඓතිහාසික ස්මාරකයක් ලෙස ද සැළකෙයි. මෝගල් අධිරාජ්‍යයේ බල මහිමය මොනවට කියා පාන මෙම රතු බළකොටුව වසර 200 ක් පුරා, එනම්, 1857 වසර වන තුරුම මෝගල් රජ පවුලේ උරුමයක ලෙස පැවැතිණි.
අද නවදිල්ලි අගනුවර මධ්‍යයේ ඇති මේ රතු බළකොටුව කෞතුකාගාර රැුසක එකතුවක් ලෙස ද සැළකිය හැකිය. එමෙන්ම මෙය අද-දෙස් විදෙස් සංචාරකයින් ආකර්ශණය කර ගන්නා තෝතැන්නකි. රතු බළකොටුව මෝගල් රජවරුන්ගේ නිවහන වූවා පමණක් නොව, මෝගල් අධිරාජ්‍යයේ තීන්දු - තීරණ සියල්ල ගබළකොටුව කේන්ද්‍ර කර ගනිමිනි.
රතු බළකොටුව ඉදි කළේ 1639 වසරේ පස් වැනි මෝගල් අධිරාජ්‍යයා වූ ෂා-ජහාන් විසිනි. ෂා-ජහාන් වඩාත් ප‍්‍රකට රතු බළකොටුවට නුදුරින් ඉදි කළ තවත් සුවිශේෂී ස්මාරකයක් නිසාය. ෂා - ජහාන් එම ස්මාරකය නිර්මාණය කළේ සිය ආදරණීය බිසව මුම්ටාස් වෙනුවෙනි. අද ලෝක උරුමයක් මෙන්ම ලෝක පුදුමයක් ද වන කිරි ගරුඬින් නිර්මාණය කළෙ ඒ ස්මාරකය සොහොන් ගැබකි. එය ටාජ් මහලය.
අද නවදිල්ලිය යන නමින් හැඳින්වුවත්, එදා මෝගල් අධිරාජ්‍යය පැවැති සමයේ මෙය එම අධිරාජ්‍යයේ ද අගනුවර විය. හැඳින්වූයේ ෂා-ජහානාබාද් යන නමිනි. රතු බළකොටුව යන නමින් මෙය හැඳින්වීමට හේතු වූයේ එය ඉදිකිරීමට යොදා ගත් රත් පැහැති වැලි ගල් විශේෂය නිසාය. වර්තමානයේ දකින්න ලැබෙන බළකොටුව නිර්මාණය කළේ 1546 වසරේ සූර් රජ පෙළපතේ ඉස්ලාම් ෂා සූරි රජතුමාය.
බළකොටුව රජ මාලිගයක් පමණක් නොව විවිධ කුටි සහ කාමර රැුසකින් ද සමන්විතය. එය වාස්තු විද්‍යාවේ මහිමය ලොවට කියා පෑමට ද සමත්ය. දිය අගල් ද මෙහි දකින්න ලැබෙයි.
ෂා ජහාන්ගේ පාලනය යටතේ බළකොටුව නවීකරණය වූවා පමණක් නොව වැඩි දියුණු ද වූයේය. ටිමුරිඞ් සහ පර්සියානු ෂියා මුස්ලිම් වාස්තු විද්‍යාවේ සංකලනය ලෙස රතු බළකොටුව හැඳින්විය හැකි යයි පුරාවිද්‍යාඥයෝ පහදා දෙති.
රතු බළකොටුවෙන් ගත් අභාෂයට අනුව රාජස්ථානයේ, බන්ජාබයේ, කාශ්මීරයේ, බරාජ්හි සහ රෝහිල්කාන්ද් නගරවල ද මේ හා සමාන ඉදිකිරීම් දකින්න ලැබෙයි. ඒවා සියල්ලම අපූර්ව ගෘහ නිර්මාණ තාක්ෂණයෙන් අගතැම්පත්ය.
ඉන්දියාවේ සංචාරයක නිරත වන ඕනෑම අයෙක් ටජ් මහල නැරැුඹීමට අමතක නොකරති. රමණීය යමුනා ගං තෙර විරාජමානව පවතින ටජ්මහලට අනෙක් පසින් මායිම්වන්නේ රතු බලකොටුවය.
ටජ්මහල දෙසින් බැලූ විට රතු බලකොටුව සත්‍ය වශයෙන්ම දිස්වන්නේ අති දැවැන්ත සුලෝහිත පැහැ ගැණුනු මහා මන්දිරයක් ලෙසිනි. ශත වර්ෂ දෙකකටත් වඩා ඉපැරැණි වුවත් බලකොටුවේ ගඩොල් පාට නම් අදටත් බිඳකුදු අඩුවී නැතුවාසේය.
ඉබාගාතයේ යන සංචාරකයකුට නම් රතු බලකොටුව තුළ කාලය ගෙවා දැමීමට එමටවත් තැන් ඇත. අවශ්‍ය අයෙකුට මදක් ගැඹුරු නිරීක්ෂණයක යෙදී එහි පවතින ආරක්ෂක උපක‍්‍රම හැදෑරීමට ද පුළුවන.
ස්විට්සර්ලන්තයේ සුන්දර සූර්ක් නුවරට නුදුරින් වූ කුඩා බලකොටු කිහිපයක්ම දැකබලා ගැනීමට ගිය ගමන් වාර රතු බලකොටුව නිරීක්ෂණයේදී මතකයට ආවේය. ‘කාසල්’ ලෙස හඳුන්වන ඒ එක බලකොටුවක්වත් මහා භාරතයේ රතු බලකොටුව තරම් නම් විශාල නොවේ.
රජ මැදුරක ඇති සියලූම අංගෝපාංගවලින් රතු බලකොටුව සුවිශේෂිතය. රජතුමාගේ සිරියහන් ගබඩාවේ සිට යුද උපක‍්‍රම සැලැසුම් කළ රාජ සභාව තෙක් සියලූ මෙවලම් ඊට ඈදා ඇත්තේ ඉපැරණි මෝගල් අධිරාජ්‍යය සතු වූ අතිශය ඉහළ ගෘහ නිර්මාණ දැනුම මොනවට ලොවට කියා පාමිණි.
රතු බලකොටුව ගඩොලින් තැනූ විස්මිත නිර්මාණයක් බවට සැකයක් නැත. එහෙත් එහි ගඩොල් ඇඳබැඳ තබා ඇති බදාමය නම් ප‍්‍රශ්න වැලක් මතු කරන්නේය. බලකොටුව තැනූ ගඩොලින්ම නිස්සාරණය කරනු ලැබූ පස් වර්ගයක් බදාමය සඳහා යොදා ගෙන ඇතැයි මතුපිටින් බලා කරන විග‍්‍රහයක් ද සරලව සටහන් කළ හැකිය.
‘ආදරයේ උත්තරීතර’ සංකේතය ලෙස සැලකෙන ටජ් මහල නැරැුඹුවාට පසුව බොහෝ සංචාරකයන් රතු බලකොටුව දැක බලා ගැනීමට උනන්දුවක් නොදක්වති. ලොව නොයෙක් විශේෂ ස්ථාන දැකබලා ගන්නෙකු ලෙස මගේ අහිංසක නිර්දේශය වන්නේ පළමුව යා යුත්තේ රතු බලකොටුවට බවය.
දෙවනුව ටජ් මහලට පා තැබීමෙන් භාරතයේ ඇති ඓතිහාසික ස්ථාන දෙකම සියැසින් දැකීමට හැකිවනු නොඅනුමානය.
යුරෝපයේ ඇති ‘කාසල්’ සියල්ලක්ම රතු බලකොටුවට දෙවැනි හෝ තුන්වැනි හෝ වෙනවාට සැකයක් නැත. ආසියානු කලාපය තුළ පවතින ඉපැරැණි ගෘහ නිර්මාණ ශිල්පයේ ශ්‍රේෂ්ඨත්වය විදහාපාන විස්මිත නිර්මාණයක් ලෙස මහා භාරතයේ රතු බලකොටුව ඉහළින්ම තවත් කලක් විරාජමාන වනු ඇත. එසේම රතු බලකොටුව ආරක්ෂක උපක‍්‍රම ද උපරිම ලෙස යොදා ගෙන තැබූ බලකොටුවක් බව කිසිවිටෙකත් අමතක කළ යුතු නොවේ.
දිනිත් චින්තක කරුණාරත්න ඡායාරූප - දිනිල් හස්මිත කරුණාරත්න