රජුන් රැසකගේ අනුග්‍රහය ලද දංකුඹුර ගල්ලෙන් විහාරය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-09-05-ent-11

ඌව පළාතට අයත් බිබිල ඇකිරියන්කුඹුර දංකුඹුර ගල්ලෙන් පුරාණ රාජ මහා විහාරය කාවන්තිස්ස රජුගේ සිට රජවරුන් ගණනාවකගේම අනුග්‍රහය ලැබූ ඓතිහාසික උරුමයකි. මෙම දංකුඹුර ගල්ලෙන් පුරාණ රාජ මහා විහාරය ක්‍රි. පූ 185දී රුහුණු දේශයේ පාලකයාව සිටි කාවන්තිස්ස රජු විසින් කරවන ලදැයි පැවසෙන වෙහෙර විහාර 134 අතුරින් එකකි.

2018-09-05-ent-12කාවන්තිස්ස රජුගෙන් පසු රාජ්‍යත්වයට පත්වූ දුටුගැමුණු මහරජුගෙන්ද යම් යම් අනුග්‍රහයන් මෙම විහාරයට ලැබුණු අතර එතුමාගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත් සද්ධාතිස්ස රජුද මෙම විහාරය ප්‍රතිසංස්කරණය කිරීමට උත්සුකවී තිබේ. සත් දෙමළුන්ගේ ආක්‍රමණයට ලක්වූ වලගම්බා රජු පලා විත් කළක් මෙම විහාරයට නුදුරුව පිහිටා ඇති ඇඳගල නම් ප්‍රදේශයේ සැඟව සිට ඇති අතර එම කාලය අතරතුරදී රාජකීය පවුල ආගමික වත්වත්වල යෙදීම සඳහා මෙම විහාරයට පැමිණ තිබේ.

බුදුගෙය පිහිටි ගල්ලෙනට අමතරව විහාරයේ සිට කඳුගැටය නැග මීටර් 300ක් පමණ වනය දෙසට ගමන් කරන විට තවත් ලෙන් කිහිපයක්ම දැකගැනීමට හැකියාව ලැබෙන අතර ඒ අතර සෙල්ලිපි සහිත මහල් දෙකකින් යුත් ගල්ලෙනක්ද පිහිටා ඇත. විහාරයේ පිහිටි බෝධීන් වහන්සේ වසර 800ක් පමණ පැරණිය. මෙහි අනුරාධපුර යුගයේ අවසන් භාගය වනතෙක්ම රහතන් වහන්සේලා වැඩසිටි බව කියැවේ. අනුරාධපුර යුගයේ පරිහානියත් සමග කලක් යනතෙක්ම වනයෙන් වැසීගිය මෙම විහාරය පසුව යලිත් පොළොන්නරු යුගයේදී මහා පරාක්‍රමබාහු රජුගේ අනුග්‍රහයෙන් ප්‍රතිසංස්කරණයට ලක්ව තිබේ.

කලින් කලට නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති මෙම විහාරයේ බුදුගෙය පිහිටි ගල්ලෙන තුළවූ සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සිරසට හානි කර ඇති ආකාරය අදටත් දැක ගැනීමට හැකියාව ලැබෙන අතර මෙවැනි ඓතිහාසික උරුමයන් මතු පරපුර සඳහා රැකගැනීමට බලධාරීන්ගේ අවධානය මේ සඳහා ලැබීම අත්‍යවශ්‍යය.

 

සටහන සහ ඡායාරූප - නඳුන් ශ්‍යාමාල්

 

2018-09-05-ent-10   2018-09-05-ent-13 2018-09-05-ent-14 2018-09-05-ent-15 2018-09-05-ent-16 2018-09-05-ent-17 2018-09-05-ent-18