රජුට හරබර අපිට සොරබොර
දුන් පොරොන්දුවේ විදිහටම ඔන්න මේ සති අන්තෙ අපි ඔයාව එක්ක යන්නෙ සොර බොර වැව ඉස්මත්තට. අමතක නෑ නේද ගිය සතියෙ දඹානේ ගම්පොජ්ජට මංගච්චපු හැටි.. අපි සොර බොර වැව් ඉස්මත්තට එද්දී වෙලාව හවස හතරට විතර ඇති... තව පැයකින් දෙකකින් අවරගිරේ හැංගෙන්න සූදානම් වී සිටියත් හිරැගෙ තේජස නම් අඩුවෙලා තිබුණෙ නෑ. සොරබොර වැව් ඉස්මත්ත හමුවෙනකම් ටික දුරක් පයින් යන්න ඕනැ.
"මම වැවේ නාලා ඇවිත් ආයෙත් වැව ළඟටම ගිහින් තමා කෑම කන්නෙත්..." ළා නිල් පාට තුවායත් එක්ක අඳින්න අලුත් ඇඳුම් ටිකත් අතට ගන්න ගමන් අපේ photographer චන්න කීවේ කැමරාවත් කරේ එල්ලගෙන. උඩ පැනගෙන එහෙම කීව චන්න සුන්දර සොරබොර වැවේ වැව් තාවුල්ලේ ඉඳන් වැවේ දර්ශනීයත්වය කැමරාවට හසුකරගෙන ආපහු එන්න හැරැණේ නම් ඇඹුල් වෙච්ච මූණ තවත් ටිකක් ඇඹුල් කරගෙන. අපේ photographerගේ ගොරක මූණ තවත් ටිකක් ඇඹුල් වෙච්ච හේතුව සොරබොර බලන්න යන ඔයාටත් වැදගත්. සොරබොර වැවට බහින්න තහනම්. නාන්න බෑ. එත් නාන්න නැති වුණත් නොගිහින්නම් ඉන්න එපා. වැව් තාවුල්ලේ ඉඳන් බලද්දී වැව ඒ තරම් ලස්සනයි. ඇඟ හිරිවට්ටන සුළඟ ඒ තරමටම සනීපදායකයි. වැව පෙනෙන නොපෙනන දුරින් ස්වභාවික පිහිනුම් තටාකයක් විදිහට සකස්කළ තැනක් හමුවෙනවා දිය නාන්න. ඒත් නිල් කැටේට නොදිලිහෙන ඒ දියවරේ සැනහෙන්න හිත දෙන්නෙ නෑ. නාන්න නැති වුණත් මොකද ඉතින් වැව් දියේ සීතල අරගෙන එන සුළඟ ආස්වාදනය කරන ගමන් අහන්නකො එහෙනම් අපි ඔයාට කියන සොරබොර වැවේ රජ ඉතිහාස කතාව.
දුටුගැමුණු රජතුමා රටට අයිතිය කියාගෙන ආව දමිළයන් රටේ හතර මායිමෙන් පලවා හැරීමේ යුද්දෙ පටන්ගෙන ඉස්සරලම කළේ මහියංගනය භාර එළාර රජ්ජුරැවන්ගේ සෙන්පති වෙච්ච ඡත්ත සෙනවියා පරද්දලා මහියංගන බලකොටුව සුනේ සුන් කරලා දාපු එක. එහෙම කරපු රජ ගැමුණු ඡත්ත සෙනවියාගේ මාලිගාවේ හිටපු කාලය තමයි ඔන්‍න මේ කියන කාලය. දමිළයන් විනාශ කර තිබූ පඨමක චෛත්‍යය ලෙස නම් ලද මහියංගන චෛත්‍යය අසූරියන් කර බඳවන්නත් ඒ වෙද්දී වීර ගැමුණු සූදානම් වෙලයි හිටියේ. රජ වුණත් බුලත් කෑ සිංහලේ වීරයාට බුලත් සැපයීම පැවරිලා තිබුණේ උඩුදුම්බර කිරිපට්ටිය කියන ගමේ උපන් බුලතා කියන හැඩි දැඩි පුරැෂයෙකුට.
බුලතාගේ රාජකාරිය තමා ඉර ඇහැ ඇරපු වෙලාවේ ඉඳන් රූ නින්දට යනකම් දවසට පස් වතාවක් බුලත් විට හදලා රජුට පිළිගන්වන එක. ලොකු කජ්ජක් නොවුණු ඒ විට හැදිල්ලේ රාජකාරිය අතරේ ඉතිරි වෙන වෙලාවේ බුලතා කළේ ගම්තොටේ හැම අහුමුල්ලකම කරක් ගහන එක. දවසක් දා මහියංගනයට උතුරැ පෙදෙසේ සංචාරය කරමින් ඉද්දී බුලතා දැක්කා චෛත්‍යය භූමියට ගව්වක් පමණ උතුරින් ගල් කඳු දෙකක් මැද්දෙන් ගලා හැලෙන විසල් දොළ පාරක් .දොළට බැස්ස බුලතාට මුවට හලාගත් සීතල දිය දෝත දැනුණේ අමෘතය වගේ. මේ ජල කඳ හරස් කරලා වැවක් බැන්දොත් සිය දහසක් මිනිස්සුන්ට පිපාසය නිවා ගන්න පුළුවන්. ගොවිතැන දියුණු කරන්නත් පුළුවන් ඒ හිතුවිල්ලෙන් අමුතු ප්‍රාණයක් ලද බුලතා පසුදා ඉඳන්ම වැඩ පටන් ගත්තා.
රජුට බුලත් විටක් පිළිගන්වා ඊළඟ බුලත් විට පිළිගන්වනකම් ලැබුණු විවේකයේදී බුලතා කළේ වැව් බැම්ම ඉදි කරපු එක. බුලතා සද්දන්ත ගල් කුට්ටි පෙරළාගෙන ආවා. කූඩයෙන් පස් අද්දා. ඒ පස් පාගා තලමින් දියපාර දෑලෙහි ඇති ස්වභාවික ගල් කුළු දෙක යා කරමින් වැව් බැම්ම ඉදි කළා. දවස් ගණනක් දහදිය හෙළමින් දෙපස ගල් කුළු දෙක හාරා ඒ තුළින් සොරොව් දෙක නිර්මාණය කළා. දිරියවන්ත බුලතා වැවේ කටයුතු අවසන් කළේ වෙනස් ජල මට්ටම්වලදී ජලය නිකුත් කරන්නට පුළුවන් විදිහට ගලේ කට්ට කපා එයට ලෑලි බස්වා සොරොව්ව සකස් කර, අන්තිමේදී දකුණු පැත්තෙ සොරොව්ව ළඟින් වැවේ අමතර ජලය පිට කිරීමට අවශ්‍ය පිටවානත් ගල්වලින්ම බැඳ අවසන් කරලා. බිඳුවෙන් බිඳුව පොළොවෙන් උනන වතුර අන්තිමේදී මහා දියවරක් වී ඒ දියවර නිල් කැටයක් සේ දිලිහෙද්දී බුලතාට කොහොම සතුටක් දැනෙන්න ඇතිද නේද?
මහියංගන චෛත්‍යයේ වැඩයි බුලතාගේ වැවේ වැඩයි ඉවර වුණේ එකම දවස්වල. චෛත්‍යය රාජයාණන්ට කොත් පැළඳවීම රාජකීය උත්සවයක්. කොත් පැළඳුවේ රජුමයි. කොත් පළදා අහවර වූ රජු සමීපයට බුලතා ගියා. &දේවයන් වහන්ස.. ඔබවහන්සේට සේවය කරන අතරතුරේ ලැබෙන පුංචි විවේකයේදී මම කුඩා වැව් පොඩිත්තක් හැදුවා. ගැත්තාට අනුකම්පා කරලා ඒක බලන්න වඩිනු මැනව. බුලතා ආයාචනාත්මකව ආරාධනාවක් කළා.
පුංචි දිය පොකුණක් දකින්න හිතාගෙන පිරිවර එක්ක ගිය රජුගේ රාජකීය ඇස් අබිමුව දිස් වුණේ නිල් කැටේට සමුදුරක් සදිසිව දිදුලන වැවක්. රජුගේ විස්මයේත් සතුටේත් කෙළවරක් නෑ. බොල තෝ හැබෑම යෝධයෙක්. තොපගේ හරබර වාරි කර්මාන්තය දැක මා අප්‍රමාණ ප්‍රීතියට පත්වුණා. එය මතු මතු පරම්පරාවන්ටම සම්පතක්*. රජුට කීවා නෙවෙයි කියවුණා. බුලතා - බුලතා යෝධයා වුණේ මේ මහඟු වික්‍රමයෙන් පස්සෙ. &තෙල පෙනෙන ගං තොට, වැව දියන් මට* රජු වැවේ ජල පෝෂක ප්‍රදේශයේ ගම් ප්‍රදේශය පෙන්වා කීවා. බුලතාට ගම් වරයක් තෑගි ලැබුණා. වැවේ භාරකාරත්වයත් බුලතාටම බාර දුන්නා. රජු මෙය හරබර වාරි කර්මාන්තය නමින් හඳුන්වපු නිසා එදා ඉඳන් මේ සුන්දර වැව හරබර වැව වුණා. සොරබොර නමට පෙරළුණේ මේ හරබර නම කියලා තමා කියන්නෙ. සොරබොර වැවේ ගලෙහි නිර්මිත දකුණු සොරොව්ව ලංකාවේ වෙන කිසිම වැවක දකින්න නොලැබෙන විදිහේ නිර්මාණයක්. අක්කර 10700කින් යුත් ජල පෝෂක ප්‍රදේශයක් සහිත මේ වැවේ ධාරිතාවය ඝන මීටර් මිලියන 21ක්. මේ වැවේ අනිත් බොහෝ පුරාණ වැව්වල මෙන් බිසෝ කොටුවක් නොමැතිවීම විශේෂ ලක්ෂණයක්.
ඉතින් වෙනදා වගේ වැවක් ගඟක් බලන්න ගියාම නාන ඔයාට අද නාන්න නැති වුණාට වැව් තාවුල්ලේ ඉඳන් ඔන්න අපි ඔයාට සොරබොර වැවේ ඉතිහාසය කියලා දුන්නා. walk 111එක්ක එන සති අන්තෙත් අපි යමු කොහේ හරි ඇවිදින්න. යන්න ඉස්සර මෙන්න මේ කවියත් අහලම යන්න.
ඔන්න බලාපන් බුලතා කරපු බලේ
යතුරැ දාපු ගල් දොර යට වතුර හැලේ
එනයන්නෝ ඉඩ නෑරම බැලුම් ගලේ
සොරබොර වැව නුදුටු ඇස් මොටද පින් කළේ
Text -Saara / Pic- Channa Kassapa Koralearachchi