රජ දරුවන්ගේ රජ කැලේ අරන්කැලේ
ඒ සුළඟේත් සිල්සාර දම්සාර සුවඳ. අපිට හිතුණේ එහෙම. එන්න මේ සෙනසුනට හිත නිවා සැනසෙන නිරාමිස සුවයක් හරිත පැහැයෙන් දිදුලන මහා වනස්පතියන් අතර සැරිසරමින් විඳගන්න. පින්සාර සිතුවිලි හිත් දෑල ඉපදෙන්න ඒ සොබාදහමේ චමත්කාරය දෙන උදව්වක්. ගසක් කියන්නේ නොඉල්ලා කිසිවක්ම බොහෝ දේ දන් දෙන බෝධි සත්ත්ව පාරමිතාව පුරන්නෙක් වගෙයි. අහස සිඹින්න වගේ ඉහළට නැගුණු මහා ගස්වල අතු රිකිලි ළදලු අස්සෙන් පෙරී විත් මහ පොළවට ආවේ රත්තරන් පාට හිරැ කිරණ. මේ හැමදේම අපි හද පුරා විඳගත්තේ අරන්කැලේදී. කොළඹ ඉඳන් කිලෝමීටර් එකසිය විස්සකට ආසන්න දුරක් ගෙවා කුරැණෑගල මඩගල්ල පාරෙන් තමයි අපි අරන්කැලේ ගියේ.
රිලා සේනාවක්ම ආවා අපිව ආදරෙන් පිළිගන්න. ඒ තරමටම අරන්කැලේ රිලවු ඉන්නවා. පැරුණි රජ දරැවන් දවස තෙක් ඉතිහාසයකට අප කැටුව යන පුරාවිද්‍යා සාක්ෂි අදටත් අරන්කැලේ භූමිය පුරා හැම අතම විහිදිලා. ඒ රජ දවසේ මතක සාක්ෂි ක්‍රිස්තු වර්ෂ 6වැනි සියවස දක්වා ඈත අතීතයකට අපව එක්ක යනවා. ඉතිහාසයේ ස්වර්ණමය යුගයක මතක දෑස් අබිමුවේ යළි යළිත් ජීවමාන කරන ගල් කුළුණක් කෙරේ වුවත් ඇති වෙන්නේ අතීත ප්‍රේමයක්. එදා යතිවරයාණන් වහන්සේලාට උණු පැනින් සැනහෙන්න ඉදිකර තිබූ පැන් පොකුණේ නටඹුන් අතීත රජ දරැවන්ගේ විකුම් අදටත් හිතේ දනවන්නේ විස්මයක්.
අරන්කැලේ තවත් අතකින් මඟ විමුක්තිය සොයන යතිවරයාණන් වහන්සේලා භාවනාවේ සුව සොයා එන තැනක්. සුළඟක සිලි සිලි සර විහඟ නද හැරැණුවිට භාවනාවට බාධාවක් කරන්න කවුරැත්ම අරන්කැලේ නැහැ. ඉතින් විවේකයක් තිබුණොත් ඔයත් ගිහින් එන්න.
එන සති අන්තයේත් walk 111 එක්ක යමු අපි කොහේහරි.
Text -Saara / Pic- Channa Kassapa Koralearachchi