මුහුදින් වටවෙච්ච මාතර පන්සල
අවුරුද්ද ඇවිත්... හැමෝම හොයන්නේ සුබ පැතුම්.... ඒ හින්දම වෙනසකටත් එක්ක අපි හිතුවා walk 111 ඔයත් එක්ක අපිත් පන්සල් යන්න... කොළඹ ඉඳන් ටිකක් දුරට ලස්සන සාගර වෙරළකුත් හොයාගෙන අපි ගියා දූපතක පන්සලක් හොයාගෙන. කොහෙද දන්නවද. සුවඳ මල්, හඳුන්කුරු අරගෙන පහන් දල්වලා හිත පිරිසිදු කරගන්නත් එක්ක අපි යන්න හදන්නේ... මාතර රන්දූපත පන්සලට.....
පන්සලට යන්න ඕන දිගු පාලමකින් එතෙර වෙලා. මුහුදු කළපුව මැද්දෙන් තමයි පාලම ඉදිවෙලා තියෙන්නේ. පාලම මැද්දට ගියාම ගමන ටිකකට නතර කරලා පාලම මැද්දේ හිටගෙන පාලම දෑල මුහුදු දියේ අසිරිය විඳින්න ඔයාට නොහිතුනොත් අත්තටම පුදුමයි. ලුණු රස ගෑවිච්ච සුළඟ වියළි උණුසුම් ගතියක් ගත්තත් මුහුදු දිය මතට අව් රුස් වැටී දිලිසෙන හැටි මහ මද්දහනේ වුණත් බලන්න ලස්සනයි.
පාලම දිගේ ගොස් පන්සල් යද්දී හිත ළඟ දිග හැරෙන්නේ පරණ සිංහල චිත්‍රපටයක, නවකතාවක දසුනක්. ලංකාවේ අපි වගේම දකුණු මුහුදේ සුන්දරත්වය විඳින්න එන සුදු කට්ටියත් අපිට පන්සල් යන පාලම මතදී මුණගැසුණා. පන්සල් බිම තාමත් ඉදිකිරීම් අතරේ පැවතුණත් මාතර පැත්තේ ගියොත් රන්දූපත පන්සලට ගිහින් එන්න. නිවීසැනසිල්ලේ හිත එක තැනක තියාගෙන බුදුන් වැඳලා එන්න වගේම අලුත් විදිහේ අත්දැකීමක් විඳගත්තා කියන සතුටත් නොවැරදීම ඔයාගේ හිත ළඟ ඉතුරුවෙයි.
ඉතින් walk 111 අපිත් එක්ක හැමදාමත් කොහේ හරි ඇවිදින්න ආව ඔයාට සුබ අලුත් අවුරුද්දක් කියන ගමන් ඊළඟ සති අන්තයේ නුවරඑළියේදී මුණගැහෙන පොරොන්දුවත් අපි ඔන්න ඔයාට දෙනවා. මේ සති අන්තයේ පන්සල් ගිය අපි සිංහල හින්දු අලුත් අවුරුද්ද ගෙවෙන ඉරිදාවේදී යමුද කෝවිල්.