මුහුදින් වට වූ කොටුවක අසිරිය
වැඩ බැරිවුණත් ගම ගාල්ලේ කිව්වාම සැලකිල්ලක් තියෙනවාලු. උදේම කොළඹින් ආවාට මොකෝ දැන් අධිවේගේ තියෙන නිසා පැයෙන් හමාරෙන් ගාල්ලට එන්න පුළුවන් වුණා. එක පැත්තකින් අපූරැ රෑමස්සල කන්ද. හනුමා හිමාල කන්දෙන් කෑල්ලක් උස්සගෙන එද්දී ඒකෙන් කොටසක් වැටිලා රෑමස්සල කන්ද හැදුනා කියලා අහලා තියෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් ගාල්ල වටපිටාවේ නැති පාංශු ලක්ෂණ විතරක් නෙවෙයි සමහර ගස් වැල් වර්ග පවා මේ රෑමස්සල තියෙනවාලු. රෑමස්සල කන්දට මෙහා පැත්තේ ගාලු වරාය. උදේම වැල්ලට එන මාලු බෝට්ටු විමානේ. ඉතින්, අද අපි walk121 එක්ක යන්නේ දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ සංකේතය වන්වූ ගාලු කොටුවට.
කතරගම යද්දී හරි රැහුණු පුරේ නෑ ගෙවල්වල යද්දී හරි ගාලු කොටුව නොදැක්ක කෙනෙක් නැති තරම්. අඩුම තරමේ ගාලු කොටුව ගැන අහලාවත් ඇති. ගාල්ල අවට බොහෝමයක් පෙම්වතුන් පෙම්වතියන් තමන්ගේ ආදරයත් එක්ක එක සැරයක් හරි ගිහින් තියෙන තැනක් තමයි මේ ගාලු කොටුව. ඉතින් ඔබ කැමති අපි ගාලුකොටුව ගැන මොනවා ලියනවාටද.. හොඳයි. ලොකු නෝනලා මහත්තරැ වගේම රටතොට ගැන හා හා පුරා කියලා කියවන දරැපැටවුන් පවා මේ ලිපිය කියවන නිසා අපි මෙහෙම පටන් ගමු. කවුරැත් දන්නවා වගේ මේ රට මුලින්ම පෘතුග්‍රීසීන් අල්ලාගත්තා. ඊට පස්සේ ලන්දේසීන් ආවා. අන්තිමට වැඩිම කාලයක් අපේ රටේ සාරය පාවිච්චි කරලා මේ රටේ මහ පොළොවේ තමන්ට ඕනෑ ඕනෑ දේවල් වවාගෙන ඒවා අරන් ගිහින් විකුණලා පොහොසත් වුණේ ඉංග්‍රීසීන්. මේ තුන්ගොල්ල ලංකාව අවුරැදු 500 කටත් අධික කාලයක් යටත් කරගෙන සිටියේ අප රටේ කුරැඳු නිසා කියලා ඇහිලා තියෙනවා. අපේ කුරැදුවලට සමාන කුරැන්දක් එදා ලොව කිසිම රටක තිබිලා නැහැ. අදටත් නැහැ.. කුරැඳුවලට වහ වැටුණු යුරෝපා රටවල් 3ක් එකෙක් පරයමින් අනිකා නැගී සිටිමින් අප රට අල්ලාගෙන කුරැදු, මුතු, මැණික් ආදිය තමන්ගේ රටට ගෙනිච්චා. මෙන්න මේ එකිනෙකා පරයාගෙන එන සටන නිසා තමයි ඔවුන්ට තමන්ගේ ආරක්ෂාවට රට වටේම "කොටු" ගොඩ නගන්න සිද්ධවුණේ. ඔබට මතක ඇති අපි මීට කලින් ගිය මන්නාරම් කොටුව. ඒකත් මේවායින් එකක්.
දැන් ගාලු කොටුව ගැන කිව්වාම ඒක තමයි ලංකාවේ තිබෙන විස්සක් විසිපහක් විතර වුණ කොටුවලින් හොඳින්ම සංරක්ෂණය කරලා තියෙන්නේ. ගාලු කොටුව ඇතුෙළ් රහස් උමං කිහිපයක්ම තිබෙනවා. කොටුව තිබෙන්නේ ලංකාවේ සුවිශේෂීම වරායක් ආසන්නයේ නිසා අපූරැ ප්‍රදීපාගාරයකුත් එහි යන ඔබට දකින්න පුළුවන්. ඒ තියෙන්නේ ගාලු කොටුවේ හදපු දෙවැනි ප්‍රදීපාගාරය .පළමුවැනි එක දවසක් ගිනි අරගෙන මුහුදට කඩාගෙන වැටුණා. හැබැයි ඒ ගිනිගත්ත තැන තවමත් කොටස් ඉතිරිවෙලා තියෙනවා. ඔය ගාලුකොටුව මුලින්ම හැදුවේ පෘතුග්‍රීසීන්. ඔවුන්ට ඒ ඉඩම සිංහලේ රජකළ රජුගෙන් ලැබුන ආකාරයත් අපූරැ කතාවක්. අවසන් වශයෙන් ඒකත් කියලාම යන්නම්.
ලන්දේසීන්ට හිමිවෙලා තිබුණ ගෝවේ ප්‍රධානියා වුණේ සිටි ප‍්‍රැන්සින්කෝ ද අල්මේදා. ඔහු ඔහුගේම පුතා වුණ ලොරන්සෝද අල්මේදා මාලදිවයින මුහුදු තීරයේ වෙළඳාම් කරන ආරාබි වෙළඳ නැව් ගැන හොයන්න කියලා යැව්වා. ලොරන්සෝ ද අල්මේදාගේ කණ්ඩායමට මුහුණදීමට සිදුවූයේ බලාපොරොත්තු නොවු අකරතැබ්බයකට. සාගරයෙහි හදිසියේ ඇතිවූ කුණාටුක් නිසා නොසිතූ දිශාවකට නැව් ගහගෙන ගියා. අවසානයේ ගාල්ලට ආසන්න ස්ථානයක ගොඩ බැසගත් අල්මේදා ඇතුලු පිරිස උදව් ඉල්ලාගෙන නැවතුනේ මහ රජුගේ දෙපාමුල. රජුගෙන් අවසර ඉල්ලා සිටියේ තුවාලකරැවන්ට බෙහෙත් හේත් කරන්නට පමණක් කුඩා ඉඩක් ලබාදෙන්න කියලා විතරයි. ‘ගෙරි හමක ඉඩ පමණක් මූලාට ලබාදෙනු..’ කියලා රජුත් අවසර දුන්නා.. අල්මේදා කියන්නේ අතිශය කපටි චරිතයක්. හරක් හමක් සොයාගත් අල්මේදා හා පිරිස එක ඉතාම සියුම් තන්තු තරම් මට්ටමට කපා නුල් බෝලයක් ලෙස සකස් කළා. ගෙරි හමෙන් කැපූ නූල් බෝලය දිගහැර එකී ප්‍රමාණයට අදාළ ඉඩකඩ තමන් වෙනුවෙන් වෙන්කර ගන්නට එදා අල්මේදාට හැකියාව ලැබුණා.. එලෙස වෙන්කරගත් සමස්ත ඉඩප්‍රමාණය කොතරම්ද යන්න අද ද ඔබට බලා දැකගත හැකියි.. ඒ ඉඩ ප්‍රමාණය නම් ගාලු කොටුවේ සමස්ත විශාලත්වයයි.
සේයාරෑ I ප්‍රසාද්