මීදුමෙන් නැහැවෙන පිල්කින්ටන් තුඩුව
වැල්ලවාය නගරය නිම්නයක පිහිටිමුත් බණ්ඩාරවෙල දක්වා ඇරඹෙන මාර්ගය කෙමෙන් කඳුකරයට යොමු වන්නකි. පාර දෙපැත්තේම ඇත්තේ සුන්දර කඳු මුදුන්ය. හරිත පැහැයෙන් නැහැවුණු ඒ කඳුමුදුන් මත සුදුමුදු මීදුම් රොටු පාව යයි.... හරියටම දෙව්ලොව සුරලියන් ඔවුන්ගේ සේද සේල බිම එලූවාක් වැනිය.
එහෙත් හිරු කුමරුන් පැමිණ ඔවුන්ගේ සේද සේල අතුරුදන් කරන හැටි අපූරුය. හින්දු දේව කතාවලට අනුව ”ඉන්ද්‍ර” යනු දෙවියෙකි. ඉන්ද්‍ර යන්න හිරුට ද අපර නාමයකි.
කෙසේ හෝ වේවා කඳුමුදුන් වසාගත් සුන්දර සේල අතුරුදන් වෙද්දී නිම්නයේ ඇති තුරු හිස් අතරින් තව තවත් මිහිදුම් සේල මතු වී කෙමෙන් අහසට නැගෙයි.
පූනාගල වතුයායට එනතෙක්ම මේ සොඳුරු දසුන්වල මිහිර විඳි අපි බණ්ඩාරවෙලට නොයා පූනාගල වතුයාය මැදට හැරුණෙමු....
බොහෝ අතීතයේ මේ පූනාගල තිබුණේ හරිත වර්ණ වන රොදය. එහෙත් මෙරට කඳුකරය අත්පත් කරගත් සුද්දෝ ඒ හරිත වනපෙත් කපා දමා කඳු මුඳුන් මත තේ වවන්නට පටන් ගත්හ. අක්කර සිය ගණන් විශාල තේ වතු යායවල් අතරේ පූනාගල ද එකක් විය.
එහි පාලකයා වූයේ ජෝර්ජ් පිල්කින්ටන්ය.
සිය ජවසම්පන්න අසුගේ පිටට නැගුණු ඔහු මේ තේ වතුයායේ නොගිය තැනක් නැත. ඉන්දීය දෙමළ කාන්තාවන් තේ දලූ නෙලන හැටි, දෙමළ කංකානිවරු, කතුන්ගේ වැඩ කටයුතු නිරීක්ෂණය කරන හැටි, තේ දලූ හරියට කැඩෙනවාද, ඒවා නිසි ලෙස කම්හල් වෙත යනවාද ආදිය සොයා බලන්නට තේ වතුයාය පුරා යන ජෝර්ජ් එක දවසක ගියේ කඳුයායේ කෙළවරකටය.
එතැන මනරම්ය.
අංශක එකසිය අසූවකට වඩා විසල් පෙදෙසක් දර්ශනය වූ එතැනට වශී වූ ජෝර්ජ් තම අසු පසෙක ගැට ගැසුවේය. ගල් පව්වේ’ අන්තිම කෙළවරක වාඩි වූ ඔහු තම නෙත් හොරාගන්නා විසල් අවකාශය දෙස බලා සිටියේය. හිරුඑළිය සුදට සුදේ පතිත වී තිබිණි. එහෙත් සුදුම සුදු හිම වලාකුළකින් සියල්ල වැසී තිබිණි.
”මේ වලාකුළු තව ටිකකින් පාවෙලා යයි.”
ජෝර්ජ් තම අසුට පැවසුවේය.
එහෙත් ඌට වගේ වගක් නොවීය. අශ්වයා තමන්ගේ පාඩුවේ ආහාර ගනිමින් විවේක සුව වින්දේය. කඳු යාය පුරා දිවගොස් ඌ සිටියේ වෙහෙසට පත්වය.
සැබැවින්ම අසු පමණක් නොවේ උගේ පිට උඩින් ගමන් කළ ජෝර්ජ් ද සිටියේ වෙහෙසෙනි.
ඔහු සිතුවා හරිය.
අර වලා සේල ඈතට ඈතට පාවී ගියේය.
ජෝර්ජ් පිල්කින්ටන් කවියකු නොවේ. එහෙත් ඔහුගේ සිතේ කවියක් තරම් මිහිරි හැඟුම් සමුදායක් ලියැවෙන්නට විය. අඩි හාර දහසකට පමණ පහළින් පෙනුණු දර්ශනය මනරම්ය.
හැබැයි ඒ මනරම් බව විස්තර කරන්නට ඔහු ළඟ වචන තිබුණේ නැත. නමුත් සුන්දර සිතුවිලි සමුදායකින් ඔහුගේ සිත පිරී ගියේය. ඔහු දෑස නොපියා බලා සිටියේය.
ඔහුට පෙනුණේ හරිත නිම්නයකි. මෑත කඳු හිස් මත තුරු සමුදායකි. ඈත නිම්නයේ ද ඇතැම් තැනක ජල දහරාය. විල්ය. පොකුණුය. වැව්ය.
නිම්නයේ තවත් තැනක කුඹුරු යායවල්ය. ඒ කුඹුරු ද වැව් ද සිංහල රජ කාලයේ නිර්මාණය වුණු දේය.
වම් අත පැත්තේ සිට දකුණු අත පැත්ත දක්වා අංශක එකසිය අසූවක පමණ දර්ශන පථයක් තමන්ගේ ඉදිරියේය. ඉතින් ඔහු වම් පැත්තේ සිට දකුණු පැත්ත දක්වා හැම තැනක් දෙසම බැලූවේය.
‘‘ඇඟට පතට දැනෙන මහන්සිය නිවාගන්න හොඳම තැන මෙතන.’’
ජෝර්ජ් කීවේ තම අසුටය. ‘‘අපි දෙන්න හැමදාම මෙතෙන්ට එමු. පෝයක් අල්ලලා ?කටත් ඉම්මු.’’
එසේ කී ජෝර්ජ් අසු පිටට නැග්ගේ ප‍්‍රීතියෙනි.
තම කංකානියා වෙත ගිය ජෝර්ජ් කංකානියාට පැවරුවේ වෙනස්ම රාජකාරියකි. තම විවේකස්ථානය සුද්ද පවිත‍්‍ර කර ලස්සන කූඩාරමක් ද හදා තබන ලෙසය.
සතියකට පසුව එතැන නිදහස් කෙම් බිමක් විය. ලී දඬුවලින් හැ¥ පුංචි කූඩාරමේ වහලය මානා කොළවලින් සෙවිලි කෙරිණි. හොඳින් සුද්ද කර තණකොළ විශේෂයක් ද වැවූ මිදුලක් ද සහිත එතැන ඉනික්බිති ජෝර්ජ්ගේ රජ දහන විය.
ඇතැම් සීතල සවසක ඔහු එහි ආවේ උණුසුම් බීමක් ද රැුගෙනය. සඳ පහන් වුණු රැුයක ඔහු මේ රජදහනේ නිදි වැරුවේය. හිරු එළියට තරම් ලස්සනට නොපෙනුනත් ගිම්හානයේ පුන් පෝදාට මේ ඉසව්ව සුන්දරත්වයෙන් නැහැවිණි. නිම්නයේ කිසිවක් නොපෙනුනත් සඳ එළියේ චමත්කාරය කවියක් සේ ඔහුට වද දුන්නේය.
ඈත එපිට වන රජ දහනේ ගැවසෙන වල් අලි ද වසරේ ඇතැම් සමයක මේ ඉසව්වේ සැරිසැරූහ. ඔවුන්ගේ වසුරු මේ රජ දහන අද්දර වැටී තිබිණි. තවත් දවසක දිවියකු ද මේ ඉසව්වේ ගැවසී තිබිණි.
‘‘මෙතන ලස්සනට වශී වුණේ මං විතරක් නෙමෙයි. අලි, කොටිත් වසඟ වෙලා.’’
ජෝර්ජ් තමන්ටම කියා ගත්තේය.
අද ජෝර්ජ් පිල්කින්ටන් පූනාගල වතුයායේ නොමැත. ඇත්නම් ඔහුගේ අවතාරය පමණකි. එහෙත් ඔහුගේ විවේකාගාරය අද සංචාරක මනදොළ සනසන විවේකස්ථානයකි. පිල්කින්ටන් පොයින්ට් එහි නමයි.
එහෙත් මෙහි එන්නට නම් පූනාගල වතු කාර්යාලයෙන් ප‍්‍රවේශ පත‍්‍රයක් ද මිලට ගත යුතුය.
ගමන් මඟ දුෂ්කරය. වාහනයකට පමණක් යන්තමට යා හැකි පටු මාර්ගයකි. කොටසක තාර තිබුණ ද වැඩි හරියක තාර නැත. වම් පැත්තෙන් ප‍්‍රපාතාකාර බෑවුමකි. බැරිවෙලාවත් වාහනය පාරෙන් පැන්නොත් නතර වන්නේ එකී ප‍්‍රපාතයේය. දකුණු පැත්තෙන් උසට උසේ නැගුණු කඳු ශිඛරය. හිස හරවා ඉහළ බැලූ විට ඒ කඳු ශිඛර මත ද තේ ගස් පෙනේ. ඒවායෙන් දලූ නෙලන ළඳුන් ද දැකිය හැකිය.
‘හොඳම ෆෝවීල් වාහනයක්.’
අපේ රියැදුරු නිහඬතාවය බින්දේය.
එහෙත් මට නම් ඇවැසි වූයේ නිහැඬියාවේ සුන්දරත්වය විඳ ගැනීමටය. නිහැඬියාව නොඑසේ නම් හුදෙකලාව යනු මොනතරම් විචිත‍්‍ර කලාවක් ද? නිම්නය පුරා පාවී යන වළාකුළු දෙව්ලියන් එලූ සේද සළු ලෙස චිත‍්‍රණය කළ හැක්කේ ඒ හුදෙකලාවට පින්සිදු වන්නටය.
අවසානයේ අපි ද ”පිල්කින්ටන් පොයින්ට්’’ වෙත ආවෙමු. නිල් පාට තණකොළ සහිත සුන්දර මිදුලක්, විසල් සර්පන්ටයින් ගසක්, පුංචි මඩුවක් යන අංගවලින් සමන්විත එතැනට ගිය මම අර කී මිදුල කෙළවර කළ බැම්මෙහි වාඩි වීමි. මගේ ගමන් සගයෝ ගැන හිතන්නටවත් නොවෙහෙසුණු මම ඉදිරියෙන් වූ සුදෝ සුදු ලෝකය දෙස බලා සිටියෙමි.
දෙවිලියන් මගේ දෙනෙත් තම සුරතින් මුවා කරනු වෙනුවට අර සුන්දර මිටියාවත තම සේද සේලය එලා වහං කර ගෙනය.
‘අද මීදුම වගේ. මීදුම ඉවත් නොවුණොත් ලස්සන බලන්න බැරි වෙනවා.’
මගේ පසුපසින් ඇසුණේ කට හඬකි.
ඒ ජෝර්ජ් පිල්කින්ටන් විය නොහැකිය.
මම හැරී බැලීමි.
ඔහු මේ තේ වත්තේ කංකානියකු විය යුතුය.
‘ඔයා කව්ද?’
මම කුහුලින් විමසුවෙමි.
‘මම තමයි මේ කොටස බාරව ඉන්නේ, ත්‍යාගරාජ්....’
‘‘පැහැදිලි දවසක නම් මෙතෙන්ට වැල්ලවාය, මොනරාගල, තිස්ස, නමුණුකුල වගේ හැම තැනක්ම පේනවා. හඳපානාගල වැව, උමාඔය ව්‍යාපාරෙට හදන ජලාශ එහෙම පැහැදිලිවම පේනවා.’’
එහෙත් තවමත් දෙව්ලියන්, මේ සුන්දරත්වය මවෙත විවර කෙරුවේ නැත. ඉතින් මම සුදෝසුදු ලෝකය දෙස බලා සිටියෙමි. මගේ මතකය පැහැර ගත්තේ හෝටර්න් තැන්නේ ලෝකාන්තය. මා ලෝකාන්තයට ගිය එක් දිනෙක ද මෙන්න මේ සුදුපාටම මට දකින්නට හැකි විය.
මොහොතකට පසු මා ඉදිරියෙන් කඳු හිසක් දකින්නට ලැබිණි. එහිද තේ වවා තිබිණි. වම් අත පැත්තෙන් පෙනුණේ ගල් පර්වතයකි. ඒ ගල් පව්ව මත පස් තට්ටුවක් නොවූ නිසාදෝ එහි තේ ගස් දකින්නට නොවීය.
දැන් ටිකින් ටික පහත නිම්නය දර්ශනය වෙයි. දෙව්ලිය ඇගේ විහිලූව අවසන් කර තම වලා සළුව අකුලා ගන්නා සේය.
මම ඇයට ස්තූති කළෙමි. දෙව්ලියන් සමඟ සෙල්ලම් කරන්නට හොඳ නැත.
ආශ්චර්යයකි.!
අර සේද සළුව මුළුමනින්ම ඉවත් විය. සුදු පාට ඉර අව්ව අඩි හාරදහස් පන්සියයකට පහළින් වූ නිම්නය පුරාම පැතිර ඇත. උමා ඔයේ අලිතොට ආර ජලාශය, හඳපානාගල වැව, වැල්ලවාය නගරය මගේ නෙත් මත ඇඳෙයි.
පිල්කින්ටන් නිවැරදිය.
ඔහු විවේකය ගතකරන්නට තෝරා ගත් ඉසව්ව, සැබෑම විවේකස්ථානයකි. මෙතැනදී හිතේ විඩා නිවී යයි හිත නිවී සැනහෙයි. නෙත් ඉවතට ගැනීමේ මහා ලෝබකමකින් මගේ සිත පිරී යන සෙයකි. මම තව ටිකක් හරි බරි ගැහී වාඩිවීමි.
මගේ මතකය දශක දෙකකට වඩා අතීතයට ගමන් කළේය. පූනාගල වතුයායට තර්ජනයක් වූ තනි අලියකු පළවා හැරීමේ මෙහෙයුමකට දොස්තර නන්දන අතපත්තුත් සමග පැමිණි අතීතය මට සිහිපත් විය. එදා තනි අලියකු පලවා හරින්නට ගත් වෙහෙස.....
‘දැන් මෙහෙ අලි නැද්ද?’
මා ඇසුවේ ත්‍යාගරාජ්ගෙනි.
‘අලි ඉන්නෙ මිලේනියම් පොයින්ට් කියන හරියෙ.’
මිලේනියම් පොයින්ට් තිබෙන්නේ පිල්කින්ටන් පොයින්ට් සිට තවත් කිලෝමීටර් දෙක හමාරක දුරිනි. එම දුර වාහනයකින් ගමන් කර අවසන් කළ නොහැක්කේ කිලෝමීටර් භාගයක පමණ දුර දුෂ්කර අඩි පාරක් තරම් කුඩා මාර්ගයක් වන නිසාය. ඒ කොටසේ කොතැන නම් අලියා සැඟ වී සිටී දැයි කීමට නුපුළුවන.
‘අලි ගොඩක් ඉන්නවද?’
මම ත්‍යාගරාජ්ගෙන් අසමි.
‘තුන් දෙනෙක් නිතරම ඉන්නවා. ඊට අමතරව කොස්ලන්ද පැත්තෙ ඉන්න අලි කැලෑ පාරවල් දිගේ මේ හරියට එනවා.’
‘මුණගැහිලත් ඇති ඕනෙ තරම්’.........’’
‘උන් පහර දෙන්න එන්නෙ නැද්ද?’
‘මෙහෙමනෙ මහත්තයො. ඈත අලියා ඉන්නව කියල තේරුණොත් අපි ඉස්සරහට යන්නෙ බොහොම පරිස්සමට. අලියා ඈතින් පෙනුණු හැටියෙ අපි මගහරිනවා. එතකොට කිසිම ප‍්‍රශ්නයක් වෙන්නෙ නැහැ.’
ත්‍යාගරාජ් කීවේය.
‘ඔය මිලේනියම් පොයින්ට් එක තියෙන්නෙ අනිත් පැත්තට මුහුණ දාලද?’
‘හරියට හරි.. එතෙන්ට පේන්නෙ බටහිර අහස. ?ට ඉර බහින අපූරුව එතෙන්ට පේනවා. බණ්ඩාරවෙල පැත්ත එහෙම හොඳ ලස්සනට පේනවා.’ මට ශ්‍රීමත් ජෝර්ජ් පිල්කින්ටන්ගේ සංචාරය මැවී පෙනේ. හිරු උදාව පිල්කින්ටන් පොයින්ට්හිදී දැක, හිරු බැසයෑම දැකගන්නට ඔහු මිලේනියම් පොයින්ට් වෙත යන්නට ඇත.
මම යළිත් ඉදිරියෙන් පෙනෙන චමත්කාරජනක දසුන නරඹමි. වම් අත පැත්තෙන් පෙනෙන්නේ ලැයිම් පෙළක් සහ කෝවිලකි.
‘මොකක්ද ඒ කෝවිල?’
මම යළිත් ඇසුවේ අපේ ත්‍යාගරාජ්ගෙනි.
‘පත්තිනි කෝවිල, ඔතනට එහායින් මුරුගං කෝවිලත් තියෙනවා.’
එම කෝවිල හරිම ලස්සනට තනා තිබේ. ලැයිම් පේලි එතරම් අලංකාර නැත. එහෙත් දරුවන් රඳවා තබන දිවා මධ්‍යස්ථානය ලැයිම්වලට වඩා පිළිවෙළය. කෝවිල ඒ සියල්ලටම වඩා අලංකාරය. මම ඒ ගැනත් ත්‍යාගරාජ්ගෙන් විමසුවෙමි.
‘හැම මාසෙකම හැමෝම ගන්න පඩියෙන් කොටසක් දෙවියන්ට දෙනවා. ඒ සල්ලිවලින් තමයි ඔය කෝවිල හදන්නෙ.’
ලංකාවේ ප‍්‍රධාන පෙළේ ලෝකාන්ත දෙකක් තිබේ. අංක එක හෝටර්න් තැන්නේ පිහිටි සුපතල ලෝකාන්තයයි. එහිම පුංචි ලෝකාන්තයක් ද හමුවේ. එහෙත් ගැඹුර අතින් බලන විට දෙවැනි තැන ගන්නේ වෙනත් ලෝකාන්තයකි. එය පිහිටා ඇත්තේ මෙම පිල්කින්ටන් පොයින්ට්වලය. ත්‍යාජරාජ් මානා පඳුරු අතරින් ඉදිරියට ඇවිද යන්නේ මේ ලෝකාන්තය අපට පෙන්වනු පිණිසය. ඔහුගේ පසුපසින් මම ද ගමන් කරමි. ඔහු මහා ලොකු දුරක් ගියේ නැත. මේ පිල්කින්ටන් පොයින්ට් පිහිටා ඇත්තේ ලෝකාන්තයකය. මෙහි සිට පහළ බලන විට ගැඹුරු නිම්නයක දර්ශනය පෙනෙයි.
ලෝකාන්තය යනු ලෝකයේ අනන්තය යන තේරුමක් ඇති වචනයකි. එහෙත් ඍජු බිත්තියක් සහිත මේ ප‍්‍රපාතයේ කෙළවර තිබෙන්නේ තවත් සුන්දර භූමි භාගයකි. හෝටර්න් තැන්නේ ලෝකාන්තයේ පතුල පිහිටියේ නන්පේරියල් නම් තේ වත්තකි. එසේ නම් මේ ගැඹුරු නිම්නයට දී තිබෙන නම අරුත්බර නොවේ. මෙය ලෝකාන්තයක් වන්නේ කෙසේද?
එහෙත් මේ නමේ නම් හරිම අපූරුවක් තිබේ. ධනපාලලාට සල්ලි නැත. කරුණාරත්නලා ළඟ කරුණාවක් නැත. ප‍්‍රසන්නලා අප‍්‍රසන්න වීමට ද පුළුවන. එසේ නම් ලෝකාන්තය ලෝක අන්තයක් විය යුතු නැත.
මම යළිත් මානා පඳුරු අතරින් පිල්කින්ටන් පොයින්ට් වෙත ආවෙමි.
විශ්වාස කරන්නෟ මට මෙතැන හැරදා ආපසු යන්නට නුපුළුවන.
ශාන්ත කුමාර විතාන
සේයාරූ - ඇලෙක්සැන්ඩර් බාලසූරිය