මී අඹ සෙවණේ මිහින්තලයට ගියෙමු
බෞද්ධයන් වශයෙන් මිහින්තලය අපිට සුවිශේෂි තැනකි. මන්දයත්, බෞද්ධ බැතිමතුන් වූ අපිට බුදුදහම ගෙන ආ මිහිඳු මහරහතන් වහන්සේ හා ක්‍රිස්තු පූර්ව 247 ශ්‍රී ලංකාවේ රජකළ දෙවන පෑ තිස් රජුන්ගේ පළමු හමුවන්නේ මෙම මිහින්තලා භූමියේදී වීම හේතුවෙනි.
අනුරාධපුර නගරයේ සිට පුත්තලම - ත්‍රිකුණාමලය (A12) මාර්ගයේ සැතපුම් 08ක් දුරින් පිහිටි මෙම ස්ථානය අතීතයේ හඳුන්වා ඇත්තේ චේතියගිරිය එසේත් නැතහොත් සෑගිරිය ලෙස බව අතිත දත්ත නිරීක්ෂණය කිරීමේදී හෙළිවේ.
මිහින්තලයට යන බැතිමත් ඔබ නරඹන්නට බොහෝ ස්ථාන තිබේ. ‘මහා සෑය’ ඉන්න ප්‍රධාන තැනක් ගන්නා අතර, එය මිහින්තලා පර්වතයට ඉදිරියෙන් දකින්නට ලැබේ. එය මහදාතිත මහානාග රජතුමා විසින් කරවා ඇති අතර අඩි 136 ක විශ්කම්භයකින් යුක්තය. මහා සෑයටත්, මිහින්තලා පර්වතයටත් ඉදිරියෙන් දකින්නට ලැබෙන බුද්ධ ප්‍රතිමාව මිහින්තලා කඳුමුදුනට පියනඟන විට බැතිමත් ඔබට දකින්නට ලැබෙන්නකි.
මිහින්තලා පූජා භූමියේ බොහෝ පැරණි නටබුන් දැකගත හැකිවුවද බැතිමත් ඔබගේ මතකයට එක්වරම නැගෙන්නේ එහි ස්ථාන කිහිපයක පවතින දිය පොකුණු කිහිපයයි. සිංහ පොකුණ ඉන් ප්‍රධාන තැනක් ගන්නා අතර, වර්තමානය වනවිටද එය ඉතා සුරක්ෂිතව පවතින්නකි. විනාශ වී ගිය ආරාමවලින් ගහණ ප්‍රදේශයේ සිංහ පොකුණ දක්නට ලැබේ. සිංහ පොකුණ යයි ව්‍යවහාර වුවද එය පොකුණක් නොව සිංහ මුඛයෙන් ජලය පිටවන දිය පිහිල්ලකි. කණ්ඨක චේතිය හා සන්නිපාත ශාලාව අසබඩ ජීවත් වූ භික්ෂුන් වහන්සේලාගේ පැන් පහසුව පිණිස විශේෂයෙන් ස්නානය පිණිස යයි සිතිය හැකි මෙම දිය පිහිල්ල සකස්කර ඇත්තේ පසු පාද දෙකින් සිට ගෙන සිටින ලෙස ගලින් නෙළන ලද ජීවමාන ප්‍රමාණයේ සිංහයෙකුගේ මුවින් ජලය පිටවන ආකාරයටය.
සිංහ පොකුණ නැරඹු ඔබට ඒ ආසන්නයේම පිහිටි නාග පොකුණ දැක ගැනීමට හැකියාව ලැබේ. වර්ෂා ජලයෙන් පෝෂණය වන බවට විශ්වාස කළ හැකි මෙම පොකුණෙන් සිංහ පොකුණ, දාන ශාලාව ආදී ස්ථාන සඳහා අවැසි ජලය සැපයීමද, දෛනික භික්ෂු ජල වුවමනාව සැපිරීමද සිදුවී තිබේ.
අම්බස්තලය දාගැබ පසුකර බටහිර දෙසට යනවිට මෙම නාග පොකුණ මුණගැසේ. පළමු අග්ගබෝධි රජු (ක්‍රි.ව. 575 - 608) විසින් මෙම පොකුණ පසුකාලීනය පිළියම් කළ බවට අතීත තොරතුරු වාර්තා කර සිටියි.
මෙම පුරාණ නටබුන්වලට අමතරව මිහින්තලයේදී ඔබට කණ්ඨක චේතිය, අම්බස්තල දාගැබ, මිහිඳු සෑය, ගිරිභාණ්ඩ සෑය, මිහිඳු ගුහාවද දැකගත හැකිය. එමෙන්ම මිහින්තලයේ ඇති ප්‍රධානතම ස්ථානය වන ආරාධනා ගල මුදුනට පිවිසි ඔබට සුන්දර මන්සකාන්ත දර්ශන රැසක්ද දැක බලා ගැනීමට හැකියාවද පවතියි.
සටහන හා ඡායාරූප - බුද්ධික සේනාධීර