මිහින්තලේ ඓතිහාසික අසිරිය විදහාපාන තැන්
ලංකාවේ පලමු රාජධානිය වන අනුරාධපුර රාජධානී සමයට අයත් වන ඓතිහාසික වටිනාකම් සහිත නටඹුන් රැසක් අනුරාධපුර ප්‍රදේශය පුරාම දක්නට ලැබේ. තවත් බොහෝ නටඹුන් තවමත් පොලෝ තලයේ නිධන්ගතවද තිබේ. ඒවා අනාගතයේදී පුරාවිද්‍යා කැණීම්වලින් හමුවීමටද බොහෝවිට ඉඩකඩක් ඇත. කෙසේ නමුත් අනුරාධපුර යුගයේ ඉදිකෙරුණු බවට විශ්වාස කරන ඓතිහාසික ස්ථාන කිහිපයක් පිළිබඳව අද ඔබට ගෙන ඒමට අප උත්සහ ගත්තෙමු. අද වනවිට මිහින්තලේ පුදබිම අවට තිබෙන මෙම ඓතිහාසික ස්ථාන සංචාරකයන්ට, බැතිමතුන්ට දැක බලාගන්නට අවස්ථාව තිබේ.
නාග පොකුණ
මිහින්තලේ රජ මහා විහාරයට නුදුරින් තිබෙන නාග පොකුණ මිහින්තලේ වන්දනා කරන වන්දනාකරුවන්ගේ ඇසට හසුවන ස්ථානයකි. මහාවංශයේ මහින්දාගමනය හා සම්බන්ධ තොරතුරු අතර නාගචතුෂ්ක නම් වූ විලක් පිළිබඳව සඳහන් වේ. තවද පලමු වන අග්ගබෝධී රජු (ක්‍රි.ව. 575 - 608) විසින් නාග සොණ්ඩි නම් පොකුණක් කරවූ බවද ඉතිහාසයේ සඳහන් වේ. නමුත් මහාවංශයේ සඳහන් වන නාගචතුෂ්ක නම් වූ ස්වභාවික විල සහ අග්ගබෝධි රජු විසින් තැනවූ බවට පැවසෙන නාග සොණ්ඩි නම් පොකුණු දෙකම එකක් බවත්, පලමු වන අග්ගබෝධී රජු විසින් නාගචතුෂ්ක විල විධිමත්ව පොකුණක් බවට සංවර්ධනය කර එයට නාග සොණ්ඩි නමින් නම් කර තිබෙන බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. තවද මෙම පොකුණේ නාග රූප කිහිපයක් දක්නට ලැබේ. එම නිසා මෙයට වර්තමානයේ නාග පොකුණ ලෙසින් හඳුන්වයි. මෙම නාග පොකුණ වර්ෂා ජලයෙන් පෝෂණය වූ බවට පැරැන්නන් විශ්වාස කරන අතර මෙම පොකුණෙන් ඉන් පහළට වන්නට තිබෙන සිංහ පොකුණ, දාන ශාලාව ආදී ස්ථාන සඳහා අවැසි ජලය සැපයීම සිදුවී තිබෙන අතර මිහින්තලය අවට වැඩවිසූ භික්ෂූන් වහන්සේලාගේ දෛනික ජල අවශ්‍යතාවන්ද මෙම පොකුණෙන් සපුරා දී තිබෙන බවට සඳහන් වේ.
සිංහ පොකුණ
නාග පොකුණෙන් ජලය ලබාගන්නා තවත් පොකුණක් ලෙස මෙම පොකුණ හඳුන්වාදිය හැකිය. මෙම පොකුණට වර්තමානයේදී සිංහ පොකුණ නමින් හඳුන්වන්නේ පොකුණ දෙපස ශෛලමය සිංහ මූර්ති දෙකක් සහිතව නිර්මාණය කර තිබෙන නිසාය. මෙම පොකුණ අතීතියේ විසූ භික්ෂූන් වහන්සේලාගේ ජල අවශ්‍යතාවන් පිරිමැසූ තවත් පොකුණක් බවට සඳහන් වේ. මෙම පොකුණ නිර්මාණය වූ නිශ්චිත කාලවකවානුවක් පිළිබඳ සඳහනක් නොමැති අතර අනුරාධපුර යුගයේදීම නිර්මාණය කළ පොකුණක් බවට විශ්වාස කරයි. මෙම පොකුණ මිහින්තලේ රජ මහ විහාරයට ගමන්ගන්නා මාර්ගය අසළදී දක්නට ලැබේ.
කටු සෑය
මිහින්තලේ පුදබිම තුළ තිබෙන තවත් එක් ඓතිහාසික වශයෙන් වටිනාකමක් තිබෙන සෑයක් ලෙස කටුසෑය හැඳින්විය හැක. මිහින්තලා ආරාමය ඉදිකිරීම සඳහා භාවිතා කරන ලද කම්හල් උපකරණ හා ආයුධ තැන්පත් කර මෙම ස්ථූපය ඉදිකර ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වේ. දහනව වන සියවසේ මුල් භාගයේ මෙම ස්තූපය ආශ්‍රිතව සිදු කරන ලද කැණීම් වලදී ක්‍රි.ව. 8 - 9 සියවස්වලට අයත් සිංහල හා සංස්කෘත භාෂාවෙන් ලියූ මහායාන සූත්‍ර පාඨ ඇතුළත් තඹ තහඩු කිහිපයක් හමු වී තිබේ. තවද වාස්තු විද්‍යාත්මක නිර්මාණ ලක්ෂණවලට අනුව මෙම ස්ථානය අතීතියේදී මහායාන සම්ප්‍රදායට අයත් ස්තූපයක් සහ අනුරාධපුර යුගයට අයත් විහාර සංකීර්ණයක් බව තහවුරු වී තිබේ. මෙම කටු සෑය තුළ අදටත් වන්දනා නඩ වැඳුම් පිදුම් සිදුකරනු දක්නට ලැබේ.
ඉඳිකටු සෑය
කටුසෑයට මදක් ඔබ්බෙන් තිබෙන ඉඳිකටු සෑයද මිහින්තලේ පැමිණෙන සංචාරකයන් නැරඹීමට යන තවත් ස්ථානයකි. වර්තමානයේ අප ඉඳිකටු සෑය නමින් හඳුන්වන මෙම ස්ථානය පිළිබඳව සඳහන් වන්නේ අතීතයේ මෙහි අනුරාධපුරය - මිහින්තලය අවට වැඩ විසූ භික්ෂූන් වහන්සේලාගේ චීවර මසා ගැනීමට භාවිත කළ ඉඳිකටු තැන්පත් කිරීම සඳහා මෙම ස්ථූපය ඉදිකළ බවයි. මෙම ස්ථූපය ගොඩනැංවූ රාජ්‍ය සමය හෝ රජවරුන් පිළිබඳව නිශ්චිත සඳහනක් නොමැත. අඩි හයක පමණ උසින් යුතු වේදිකාවක් මත අඩි විස්සක පමණ විශ්කම්භයකින් යුතුව ඉදිකර ඇති මෙම ස්ථූපයේ ක්‍රි.ව. 08 - 09ත් යන සියවස්වලට අයත් මහායානික නිර්මාණ ලක්ෂණ පෙන්නුම් කරයි. මෙම ස්ථූපයට අමතරව පංචාවාස ගොඩනැගිල්ලක්, ප්‍රතිමා ගෘහයක්, ජන්ථාඝරයක් සහ පොකුණක්ද මෙය අවට දක්නට ලැබේ.
අද වනවිට මේ සියළු භූමින් තුළ රිළවුන් රජ කරවන ප්‍රදේශයක්ව පවති. නමුත් ඔවුන්ගෙන් සංචාරකයන්ට කිසිඳු හානියක් නොවන බවට අපට දැකගන්නට ලැබුණි. තවද මේ ස්ථාන නැරඹීමට පැමිණෙන සංචාරක ඔබගෙන් මෙම ස්ථානවලට හානි නොකර අනාගත පරම්පරාවන්ටද මෙම ඉතිහාසය සහ වටිනාකම දැක බලාගැනීමට ආරක්ෂා කරන මෙන් ඉල්ලා සිටිමු.
සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - සුපුන් උදයංග