මිහින්තලයේ 'ලොව පැරණිම ආරෝග්‍යශාලාව'
ලංකාවේ දීර්ඝතම සහ පලමු රාජධානිය බවට පැවසෙන අනුරාධපුර රාජධානි සමය තුළ ඉදිවූ විහාරයන්, චෛත්‍යයන්, ගොඩනැගිලි, වැව් අමුණු ඇතුළු ඉතිහාසය කියාපාන ස්ථාන රැසක් මේ වනවිට කැනීම් තුළින් සොයාගෙන තිබේ. මෙම සමහර ස්ථාන තුළ අදටත් වන්දනාමාන කිරීමට හැකි අතර තවත් ස්ථාන සංචාරකයන්ගේ නැරඹුමටද විවර කර තිබේ. විශේෂයෙන් අනුරාධපුර යුගයේදී බුද්ධ ශාසනයේ දියුණුවට, කෘෂිකර්මය නගා සිටුවීමට සහ පොදු ජනයාගේ පොදු පහසුකම් සැපයීම සඳහා එකළ පාලකයන් ඉතා විශාල කාර්යභාරයක් සිදු කර තිබෙන බවට මෙම ඓතිහාසික සාධක වලින් මනාව පිළිබිඹු වේ. එහිදී අපට හමු වන පැරණි රෝහල් ගොඩනැගිල්ලක නටඹුන් අදටත් මිහින්තලය ඓතිහාසික නගරයේ දක්නට ලැබේ. පුරාවිද්‍යාඥයින්ගේ මතය සහ මෙහි දක්නට ලැබෙන සාධක අනුව මෙම රෝහල් ගොඩනැගිල්ල දැනට හමුවූ 'ලොව පැරණිතම රෝහල' බවට සැලකිය හැක.
අනුරාධපුර යුගයේ සිටි පාලකයන් අතුරින් 'දෙවන සේන රජු'ට හිමිවන්නේ ඉතා වැදගත් ස්ථානයකි. ඒ ඔහු බුද්ධ ශාසනයට, කෘෂිකර්මාන්තයට සහ රාජ්‍ය ආරක්ෂා කරගැනීම උදෙසා සිදු කළ සුවිශේෂ මෙහෙය නිසාය. ක්‍රිස්තු වර්ෂ 583 - 887 කාලයේදී අනුරාධපුර රාජධානිය පාලනය කළ දෙවන සේන රජු විසින් අද අප කතා කරන මෙම රෝහල් ගොඩනැගිල්ල ඉදිකර තිබෙන බවට සඳහන් වේ. එකළ අනුරාධපුරයේ ඇතිවූ ශාසනික දියුණුව හේතුවෙන් මිහින්තලා භූමිය සහ අනුරාධපුර රාජධානිය පිහිටි ප්‍රදේශ ආශ්‍රිතව භික්ෂූන් වහන්සේලාගේ ආරමයන්, භාවනා කුටි පිහිටා තිබුණු අතර භික්ෂූන් සංඛ්‍යාව ඉහල ගොස් තිබීම හේතුවෙන් උන් වහන්සේලාගේ සෞඛ්‍යමය ගැටළු උදෙසා දෙවන සේන රජු මෙම රෝහල ඉදිකර තිබෙන බවට බොහෝ දෙනාගේ මතයයි. වර්ග අඩි සියයක් පුරා ඉදි වී තිබෙන මෙම ගොඩනැගිල්ලේ ගෘහ නිර්මාණ ශිල්පය 10වන සියවසට වඩා පැරණි බව පිළිගෙන තිබේ. මෙම රෝහල් ගොඩනැගිල්ලේ නේවාසික රෝගීන්ට රැඳී සිටීමට භාවිතා කළ කුටි කිහිපයක්ද දක්නට ලැබේ. වර්තමාන රෝහලක නේවාසික කුටි පිහිටා තිබෙන ආකාරයටම මෙහි නේවාසික කුටි පිහිටා තිබීම මෙහි ඇති විශේෂත්වයකි. තවද මෙම ගොඩනැගිල්ල අතීතයේ තිබූ රෝහලක් බවට ඔප්පු වන ප්‍රධානම සාධකය වන්නේ මෙහි තිබෙන ශෛලමය බෙහෙත් ඔරුවයි. සාමාන්‍ය පුද්ගලයෙකුට පහසුවෙන් වැතිර සිටිය හැකි ප්‍රමාණයේ මෙම බෙහෙත් ඔරුවේ සුවිශේෂී ලක්ෂණයක් වන්නේ හිස කෙලින් තබා ගැනීම සඳහා මෙහි හිස කොටස යම් ප්‍රමාණයකින් උස්ව සාදා ඇති බවයි. එය මෙම බෙහෙත් ඔරුව දෙස ඉතා සුපරික්ෂාකාරීව බැලූ විට පෙනී යයි.
තවද මෙහි ඖෂධයන් සකස් කිරීම සඳහා යොදා ගත් බවට සිතිය හැකි ශෛලමය ඇඹරුම්ගලක් මෙම ගොඩනැගිල්ලේ මැදට වන්නට පිහිටා තිබේ. එයින් හැඟී යන්නේ මෙම ගොඩනැගිල්ල තුළ රෝහලක කාර්යභාරයන් සියල්ලම සිදු කර ඇති බවයි. තවද බෙහෙත් ගබඩා කළ ස්ථාන, දියනෑම සඳහා වෙන් කරන ලද ස්ථාන, වැසිකිළි කැසිකිළි පද්ධතිවලද නටඹුන් මෙහි දක්නට ලැබේ.
එකළ සිදු කළ දේශීය වෛද්‍ය ක්‍රමයන් තුළත් උසස් තාක්ෂණික ශිල්පයන් තිබූ බවට මෙහි හමු වී තිබෙන උපකරණ කොටස් තුළින් මනාව ඔප්පු වී තිබේ. මෙහි කැනීම් තුළින් හමු වී තිබෙන උපකරණ සහ භාණ්ඩවල නටඹුන් රෝහලට මදක් ඔබ්බෙන් පිහිටි මිහින්තලය පුරාවිද්‍යාත්මක කෞතුකාගාරය තුළ ප්‍රදර්ශනය කර තිබේ. තවද මෙම පැරණි රෝහල අසල තිබී සොයා ගත් කැඩී ගිය ටැම් ලිපියක 4වන කාශ්‍යප රජුගේ (ක්‍රි.ව. 898 - 914) රාජ්‍ය කාලය තුළ දී මෙම රෝහලට ලබා දුන් අන්නාසි දීමනාවක් පිළිබඳවද සඳහන් වේ.
මෙම ඉපැරණි රෝහල් ගොඩනැගිල්ල තුළ සිදු කරන ලද කැනීම්වලින් හමු වූ සැත්කම් උපකරණ, උසස් තාක්ෂණික ප්‍රවණාතාවන් ප්‍රකට කරන අතර වර්තමානයේ බටහිර නූතන වෛද්‍ය භාවිත කරන ශල්‍ය උපකරණ හා සාමානතාවක් දක්නට ලැබෙන බව පුරාවිද්‍යාඥයෝ පවසා තිබේ. පර්සියාවට අයත් වූ බවට හැඟෙන බඳුන් කිහිපයක්ද මෙහි සිදු කළ කැනීම්වලදී හමුව තිබේ. එය ලංකාව සහ පර්සියාව අතර විදේශ සම්බන්ධතා පිළිබඳ හෙලිවන සාධකයක් බවට බොහෝ දෙනා හඳුන්වන අතර විදේශීය රෝගීන්ද මෙහි නේවාසිකව ප්‍රතිකාර ලබාගත් බවද ඇතැම් ගවේශකයන්ගේ මතයයි.
මිහින්තලේ සංචාරය කරන ඔබට මෙම රෝහල් ගොඩනැගිල්ලේ නටඹුන්ද නැරඹීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවස්ථාව සලසා දී තිබෙන අතර ඒවාට හානි කිරීමෙන් වැළකී ඉදිරි පරම්පරාවන්ටද මෙම නටඹුන් දැක බලාගැනීමට ඉඩකඩ සලසා දෙන මෙන් අප ඔබගෙන් ඉල්ලා සිටින්නෙමු.
සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - සුපුන් උදයංග