මිනිසුන්ගෙන් සැගවී තිබෙන බෝපාගම ඇල්ල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-23-ent-99

කොළඹ ආශ්‍රිත නාගරික ප්‍රදේශවල ජීවත් වන්නෙකුට ස්වභාව සෞන්දර්යේ ආශ්වාදය විඳ ගනිමින් විවේකීව සිය කාලය ගත කිරීමට ඇති ස්ථාන විරල ය. කොළඹට නුදුරින් පිහිටි 'අත්තනගල්ල' ප්‍රදේශය ඓතිහාසික වටිනාකමකින් යුත් මෙන්ම ස්වභාව සෞන්දර්යයේ අසිරිය විඳ ගැනීමට හැකියාව පවතින විරල ස්ථාන වලින් එකක් ලෙස පෙන්වා දිය හැක. අත්තනගල්ල ප්‍රදේශයේ පිහිටා ඇති 'බෝපාගම ඇල්ල' තවම ජනයා තුළ එතරම් ජනප්‍රියත්වයක් ලබා නැති ස්වාභාවික පරිසරයේ ඇති අසිරිමත් බව කියා පාන මනරම් ස්ථානයකි.

'බෝපාගම ඇල්ල' පිහිටා තිබෙන්නේ බෝපාගම ගම් පියසේය. මෙම දිය ඇල්ල ඉතා කුඩා හුරුබුහුටි දිය ඇල්ලකි. බෝපාගම ඇල්ල ආරම්භ වන්නේ කැන්දලන්ද හා ඇටඹගහලන්ද යන ගම් දෙක පාමුලින්ය. උල්පත් දෙකකින් ආරම්භ වන මෙම දිය දහර බෝපාගම හරහා ගමන් කර අත්තනගලු ඔයට ගලා බසින්නේ අත්තනගලු ඔයේ අතු ගංගාවක් ලෙසිනි. මෙම දිය දහර බෝපාගම ප්‍රදේශයේදී ගල්පර කිහිපයකින් සෑදුණු ස්ථානයකින් පහලට වැටෙන නිසා මෙයට බෝපාගම ඇල්ල යන නාමයෙන් අමතනු ලබයි. සමහරු මෙම ඇල්ලට අලගියවන්න ඇල්ල යන නමද භාවිත කරයි.

මෙම ඇල්ලේ 'පෙතියා' සහ 'දන්ඩියා' යන මාළු විශේෂ දෙක බහුල වශයෙන් ගැවසෙයි. ඇල්ල දෙපස ගස් වැල් වලින් අඩුවක් දකින්නට නොහැක. සංචාරකයින්ට ඇල්ලෙන් දිය නෑමට හැකි ස්වභාවිකව ම නිර්මාණය වූ කුඩා තටාක වැනි ස්ථාන කිහිපයක් මෙම ස්ථානයේ දක්නට ලැබේ. උල්පත් මගින් ගලන මෙම පිරිසිදු ජලයේ පවතින්නේ ඉමහත් සිසිලසකි. තුරුවැල් වලින් ආවරණය වී ඇති නිසා එම සිසිලස තව තවත් වැඩිවේ. ඇල්ල අවට පිරිසිඳුව තබා ගැනීමට පැමිණෙන සංචාරකයින් හා ගම්වැසියන් අගය කළ යුතු වෙහෙසක් දරා ඇති බව බැලූ බැල්මට ඕනෑම අයෙකුට සිතිය හැක. නමුත් මෙම ඇල්ල වෙතට පැමිණෙන සංචාරක ප්‍රමාණය වැඩි වුවහොත් මෙම ඇල්ල ඉදිරි පරපුරට ඉතිරි නොවී විනාශ වීමට හැකි බව ප්‍රදේශවාසීන් පවසයි.

මීට වසර 15කට පමණ පෙර බෝපාගම ගම ක්‍රමයෙන් දියුණු වන්නට පටන් ගෙන ඇත. ඉන් අනතුරුව මෙම දිය දහර ක්‍රමයෙන් ජනයා අතර ප්‍රචලිත වන්නට විය. මෙම දිය ඇල්ල නැරඹීම සඳහා විශේෂයෙන් සකසන ලද නැරඹුම් කුටියක් සහ කුඩා පාලමක් සංචාරකයන්ගේ පහසුව සඳහා ඉදිකර ඇත.

කොළඹ සිට බෝපාගම ඇල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට පැමිණිය හැකි පහසුම මග වන්නේ නිට්ටඹුවට පැමිණය. නිට්ටඹුව - කිරිඳවැල පාර ඔස්සේ නඩුවත්තට පැමිණ බෝපාගම ඇල්ලට පැමිණිය හැක. බෝපාගම ප්‍රදේශයේ ඕනෑම අයෙකුගෙන් මෙම ඇල්ලට පිවිසෙන මාර්ගය පිළිබඳ දැනගත හැකිය.

 

සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - කවීත් මිලින්ද

 

2019-05-23-ent-107 2019-05-23-ent-108 2019-05-23-ent-109  2019-05-23-ent-100 2019-05-23-ent-103