මැලේසියාවේ සුන්දර මතකයන් සොයා
සුන්දරත්වය හා අලුත් බව විඳින්න අපි බෙහෙවින් ප්‍රියකරනවා. දවසක මුළු ලෝකයේම සුන්දරත්වය විඳින්නට හැකිනම් යැයි අපි සිතනවාර අනන්තයි. එවන් සිහිනයක් සැබෑවෙන අවස්ථාවක් උදා වූ විට දෙපාරක් නොසිතා යන්න පුළුවන් සුන්දර මෙන්ම සංචාරක ආකර්ෂණය දිනාගත් කදිම රටක් ලෙස මැලේසියාව හඳුන්වන්න පුළුවන්.
මැලේසියා සංචාරය සඳහා අපි ගමන ආරම්භ කළේ ක්වාලා ලම්පූර්වලිනි. මෙහි යන කවුරුත් මැලේසියාවේ රජුගේ මන්දිරය බලන්න යන්න අමතක කරන්නේ නැහැ. අපේ රටේ වගේ අධිආරක්ෂිත කලාප එහි නෑ. ඒත් පිවිසුම් මාර්ගය අසලට විතරක් යන්න පුළුවන්, වුණත්, මාලිගාව සම්පූර්ණයෙන් එතනට දිස්වෙනවා. පිවිසුම ළඟ සිටින මාලිගාව ආරක්ෂා කරන අශ්වාරෝහකයන් දැක්කම ගෞරවාන්විත හැඟීමක් අපි කාගෙත් හිතට ආවා. තද අව් රශ්මිය නිසා අපට එතරම් වෙලාවක් එහි සිටින්නට හැකි වුණේ නැහැ. නමුත් යනකොට කුඩයක්, කැප් එකක් අරන් යන්න අමතක කරන්න එපා. දවල්ට එතරම් දැකුම්කළු නොවන නිසා අපි රාත්‍රියේ මැලේසියාවේ යන කවුරුත් අමතක කරන්නේ නැතුව යන, ටුයින් ටවර් බලන්න ගියා. රාත්‍රියට එය බොහොම ලස්සනට පේනවා.
විදේශ රටකට ගියත්, ලංකාවෙ සිටියත් අපි කෑම ගැන ගොඩක් උනන්දු වෙන්න ඕන. මොකද අපේ විනෝදය, සතුට සියල්ල තීරණය කරන්න කෑමවලට පුළුවන් නිසා. අපි උදේ කාලයේ ආහාරයට ගත්තේ මැලේසියාවට ආවේණික කෑම වර්ග. මැලේසියානුවන් ලංකාවෙ තරම් මිරිසට කෑම හදන්නෙ නම් නැහැ. ඔවුන් වැඩියෙන්ම හිතන්නේ පෝෂණය ගැන විතරයි. ඒත්, අලුත් කෑම ගොඩක් රස විඳින්න පුළුවන්.
අපි ගොඩක්ම කෑම කෑවේ ඉන්දියන් කෑම. අපේ රසට ටිකක් හුරු හින්දා එහි ආගන්තුක බවක් වැඩිය දැනුණෙ නැහැ. ඒ නිසා මැලේසියාවේ ගිහින් ඉන්දියාවේ කෑමවල රස බලන්නත් අපිට පුළුවන් වුණා.
ක්වාලා ලම්පූර් පහුකරගෙන අපි පීනෑන් දුපතට ගියේ කිලෝමීටර් ගණනක දුරක පාලමකින්. පාලමක් උඩින් එතරම් වේලාවක් ගිය අපේ පළමු අවස්ථාව තමයි ඒ. ඈත පෙනෙන පීනෑන් නගරයේ ලස්සන මුහුද අපූරු වින්දනයක් එක්කළා.
අපි විනෝදයටත් එක්ක පොඩ්ඩක් පීනෑන් නගර වීදී දිගේ පොඩි රවුවමක් ගියා. අපිව එක්ක යන්න පීනෑන් විශ්වවිද්‍යාලයෙන් යාළුවෝ දෙනනෙක් පැමිණි නිසා, අපිට එය විඳින්න පුළුවන් වුණා. පාරේ දෙපැත්තේ ඇඳලා තිබුණ ත්‍රිමාණ රූප, ගොඩනැගිලි අසල තිබුණු අලංකාරය සඳහා නිර්මාණය කර තිබූ නොයෙක් සිහිවටන අපි කාගෙත් අවධානය දිනාගත්තා. අපි ඒ හැමදෙයක්ම ඕනෑකමින් බැලුවොත්, අපිට එහි වින්දනයකට ඒහා ගිය යතාර්ථයක් දැකගන්න පුළුවන්. මෙහි යන කවුරුත් මේ චිත්‍ර බලන්න අමතක කරන්නේ නැහැ. ඒ නිසා මැලේසියාවේ සංචාරයකට යන ඔබත් එය අනිවාර්යෙන් මතකයේ තියාගන්න.
ඒ විදීවල ඇවිද ගෙන ඉදිරියට ගිය අපි ඒ අසල තිබුණ චීන පන්සලකට ගියා. පන්සලේ තිබුණු හඳුන්කූරු, ඉටිපන්දම් සමාන්‍ය ඒවාට වඩා ටිකක් විශාලයි. අපි කවුරුත් පන්සලේ ආගමික වතාවත් කරන්නේ කොහොමද කියලා නොදැන සිටි නිසා සමාන්‍යයෙන් පන්සලකට ගිහින් කරන වැඳුම්-පිදුම් කර, අපි නැවත විදීයට ආවා. මැලේසියාවේ චීන ජාතිකයන්ද විශාල ප්‍රමාණයක් සිටින නිසා චීන පන්සල් මේ හැමතැනකම වාගේ දකින්න පුළුවන්. අපි ඊළඟට ගියේ පාවෙන වෙළෙඳ සැල් පිහිටි පෙදෙසට. එය පටන්ගත් තැන සිට අවසානය දක්වා කුඩා කුඩා වෙළෙඳ සැල් රාශියක් තිබුණා. මේ හැම කඩේකම විසිතුරු භාණ්ඩ, ආභරණ, නොයෙක් කෑම ජාති රැසක් තිබුණා. එවායින් සමහරක් ඒවායේ රස බලන්නත් ඒ අය අපට අවස්ථාවක් දුන්නා. එතරම් විශාල සාප්පු සංකීර්ණ නොවුණත්, මේවායේ තිබුණු ඇතැම් භාණ්ඩ ඉතාම සිත්ගන්නා සුළුයි. හැබැයි ටිකක් ප්‍රවේසම් වෙන්න ඕන, මොකද පාවෙන වෙළෙඳ සංකීර්ණයක් නිසා ඡායාරූප ගැනීමේදී අපේ අපරික්ෂාකාරී බැවින් අනතුරක් වෙන්න පුළුවන් නිසා.
පීනෑන් දුපතක් වුණාට ලස්සන ගෘහ නිර්මාණ ශිල්පයට අයත් ගොඩනැගිලි රැසකින් එය වටවෙලා තිබුණා. අපි නවාතැන් ගත්තේ නගරය ආසන්නයේ වුවත්, පහුවදා උදෑසනම අපි ගියේ ඇස් අදහාගත නොහැකි සොඳුරු පාරාදීසයකට. පීනෑන් හිල් නම අසා තිබුණත්, අපි එහි අත්දැකීම් විඳගන්න බොහොම ආසාවෙන් බලා හිටියා. ටිකට් කවුලුව ළඟ ඉඳලා ටිකක් දුර පොලිමේ යන්න වුණේ එදා නිවාඩු දවසක් නිසා. අපි කවදත් හැමදේටම පෝලිමේ ඉඳලා පුරුදු නිසා එය එක් අතකින් අපිට විනෝදයක් වුණා.
කේබල් කොච්චියකින් තමයි අපිට උඩට යන්න තිබුණේ. නමුත් කන්දක් උඩට අමාරුවෙන් නගින අපි හිතුවා ලංකාවටත් මෙහෙම කෙබල් කොච්චි පෙට්ටි ක්‍රමයක් ආවනම් ගොඩක් හොඳයි කියලා, ගමනාත්තයට ළඟා වූ විට අපි හිතුවෙ නම්, ගමන අවසානයි කියලා. නමුත් ගමන ආරම්භ වන්නේ එතැනිනුයි. කඳු මුදුනක සුන්දර දසුන් බලාගත් අපි තවත් එහි ඇතුළට ගමගන් කළා. ඒ වෙලාවේ උදේ ආහාරය ගෙන තිබුණත්, පොඩි බඩිගින්නක් කාටත් දැනුණා. එත් එක්කම කෑමක සුවඳක් ආපු නිසා අපි ගියා පොඩ්ඩක් ඒ පැත්තට. තම්බපු කඩලවලින් හදපු අපුරු කෑමක් කාපු අපි එහි ආදරයේ සිහිවටන බලන්න ගියා. ලක්ෂ ගණනක් ආදර සිහිවටන එහි අගුළුලා තිබුණා. ඒ හැම ආදරයක්ම තවමත් අපරාජිත නොවී ඇතිදෝ කියා අපට හිතුණා. ආදරවන්තයන්නම් පීනෑන් හිල් ආවම මේ වගේ තමන්ගෙ ආදරය වෙනුවෙන් මේ දේ අනිවාර්යෙන්ම කරනවලු.
ඉන් මදක් ඉදිරියට ගිය අපට හමුවුණේ මෙම ස්ථානය ආරම්භ කළ වකවානුවේ භාවිත කළ ලීවලින් සදා නිමකළ පැරැණි කොච්චි පෙට්ටියක්.
ඇත්තෙන්ම එය වසර ගණනක් ඉපැරණි වුවත්, තවමත් එලසින්ම පැවතීම කාගෙත් සිත්ගත්තා. තවත් සුන්දර තැන් මේ පීනෑන් හිල්වල සැඟවී තිබුණා. බකමූණන්ගේ කෞතුකාගාරයක්, සර්පයන්ගේ ප්‍රදර්ශන කුටීර විතරක් නෙමෙයි මෙහෙ එන අයට ඡායාරූප ගන්න ලස්සන තැනකුත් හදලා තිබුණා.
අපි පීනෑන් හිල්වලින් නැවත හෝටලයට එනකොට ටිකක් වැඩියෙන් ඇවිදින්න වුණ නිසා හොඳටම තෙහෙට්ටු වෙලයි හිටියේ. නමුත් පහුවදා නැවත ලංකාවට එන නිසා හිතේ දුකකුත් තියාගෙන තමයි රාත්‍රී කෑමෙන් පසු නින්දට ගියේ. තවත් දවසක ආවොත් බලන්න සුන්දර නැත් එමටයි. නමුත් අපිට තිබෙන කාලය සීමිතයි. ඒ නිසා රට සංචාරයක් යනවානම් ඊට කලින් යන්න ඕන තැන් ගැන පොඩි ප්ලෑන් එකක් හිතේ තියෙන්න ඕන. අපි ආපු ගමනේ උපරිම වින්දනයක් තියෙන්නේ එතකොටයි.