මාතලේ යද්දී අපට හම්බෙන් ජෝඩු ඇල්ල
හිත හිරි වට්ටන සීතල... ඇවිත් යන ආයෙත් එන ආයෙත් යන මිහිඳුම්... හිටපු ගමන් කැලය ඇතුළෙන් එළියට එන සුදු ගෝනුන්, සුදු මොනරුන් මේ හැමදේමත් එක්ක අපි ඔයත් එක්ක අද ආවේ වෙනත්ම අත්දැකීමක් ඔයාට දෙන්න පුළුවන් ඉසව්වකට... හිතාගන්න පුළුවන්ද walk 111 එක්ක මේ ඉරිදා අපි ආවේ කොහාටද කියලා... අපි ආවෙ නකල්ස්... අපි ආවේ හොඳටම වහින හැන්දෑවක. ඇවිත් ටික වෙලාවකින් අපි පුංචි දොළ පාරක් අද්දරට ගියේ හිතේ හැටියට නාන්න හිතාගෙන.. හරියට අයිස් කන්දක් දිය කරලා හැදුව විලකට බැස්සා වගේ... සීතල වැඩිකමට අපි නෑවේ යටි ගිරියෙන් කෑ ගහ ගහා... දවස් දෙකක් තිස්සේ ලස්සන දිය ඇලි හොයාගෙන ඇවිද්ද අපිට හමුවුන ලස්සනම දිය ඇල්ල මොකක්ද කියලා හිතා ගන්න බැරි වුණත් මාතලේ යද්දී අපට හමුවුණ ජෝඩු ඇල්ලනම් ඇත්තටම හිතේ ඇඳුණු මතකයක්... සමාන්තරව කිට්ටුවෙන් දෙන්නට දෙන්නා පෙනෙන ඉසව්වක ඉඳන් පහලට ගලා හැලෙන ජෝඩු ඇල්ල හැමදාම ආදරේ කරන ඒත් කවදාවත් එකතු වෙන්න බැරි පෙම්වතුන් යුවලක් වගේ.
නකල්ස් රක්ෂිතයේ කුරුල්ලන් වගේම සමනල විශේෂ, උභය ජීවීන්, මොලුස්කාවන්, ක්ෂීරපායින්, සර්පයන් වගේම මත්ස්‍ය විශේෂත් ඉන්නවා. මේ සත්ත්ව විශේෂ අතරින් මොලුස්කාවන් ඇරෙන්න අනිත් හැම සත්ත්ව විශේෂයක්ම වඳවී යාමේ තර්ජනයට ලක්වූ සත්ත්ව විශේෂ. ඉංග්‍රීසින් නකල්ස් කියලා කීවත් පුරාණයේ ඉඳන්ම මේ නීල වර්ණ මහ වනාන්තරය ප්‍රකටව තිබුණේ දුම්බර යන නාමයෙන්. ඉංග්‍රීසින් මේ මහ කන්දට නකල්ස් කියලා කීව හේතුවත් හරි අපූරුයි. මිට මොලවා ගත් අතක ඇඟිලි පුරුක්වලට සමානව තමා ඉංග්‍රීසින්ට මහනුවර, මාතලේ, මහියංගනය වැනි ප්‍රදේශවලට හරිම සුන්දරව දිස්වෙන වනයෙන් වැසුණු මේ කඳු වැටිය දිස්වුණේ. නකල්ස් කියන වචනය ඉංග්‍රීසින් පාවිච්චි කරන්නේ මිට මොලවා ගත්විට ඇඟිලිවල මුදුන් දිස්වෙන ස්වරෑපය හඳුන්වන්න. මේ විදිහට අතක නමා ගත්ත ඇඟිලි පුරුක් විදිහට දිස් වෙන්නේ කිරිගල්පොත්ත, ගොම්බානිය , කොබෝනීලගල සහ දෝතළුගල කියන කඳු ශිඛර. ආවේණික සත්ත්ව සහ ශාක විශේෂ ගණනාවකින් සැදුම්ලත් මේ කඳු රාජයාගේ පටන් පරිවාර හැම කඳු මුදුනක්ම නිරන්තරයෙන් මිහිඳුමෙන් වැසී තිබීම මෙහි විශේෂ ලක්ෂණයක් .
නකල්ස් මධ්‍යම කඳුකරයේ මාතලේ සහ මහනුවර කියන දිස්ත්‍රික්ක දෙකට අයත් අක්කර 52500ක තරම් විසල් භූමියක පැතිර තියෙනවා. එහි විශාලත්වය වර්ග කිලෝමීටර් 180ක් වන අතර ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණයෙන් සීයට 0.32ක් මීට අයත්. ගිරි ශිඛර තිස් තුනකින් වගේම සුන්දර දිය ඇලි ගණනාවකිනුත් සැදුම්ලත් නකල්ස් රක්ෂිතය ගැන කියන්නනම් තව හුඟක් දේවල් තියෙනවා. සීතල මීදුම, සුළඟ හිටිගමන් ඇද හැලෙන වැස්ස, සීතල දියදහරාවන්, නිල් පාටට දිලිසෙන කඳු මේ හැම සුන්දරත්වයක්ම හිත පුරා විඳලා එන්න හිතුණොත් ඔයත් යන්න නකල්ස්... ඒක හරිම සුන්දර සංචාරක අත්දැකීමක්... නිසැකයෙන්ම...
Text -Saara / Pic- Channa Kassapa Koralearachchi