බොදු සිසිලසින් ඔබ්බට ගිය 'තිස්සමහාරාමය'
අප පසුගිය සතියේ සිට කතරගම පුජා නගරය වෙත සංචාරය කිරීමේදී ගමන් කල හැකි ස්ථාන පිළිබඳව සංචාරක සටහන් ඔබ වෙත ගෙන ඒමට සිතුවේ ඔබ එම ඉසව්වේ සංචාරය කරන විට ගමන් කරන මාර්ගයේදී හමුවන බෝහෝ වැදගත් ස්ථාන සංචාරක ඔබට මග හැරෙන හෙයිනි. ඒ අනුව මෙවර අප ගොඩවැදුනේ කතරගම පුජා භූමියට ආසන්නයේ පිහිටි තවත් ගත සිත නිවාලන අපූරු තෝතැන්නක් වන තිස්සමහාරාම මහ සෑය වෙතයි. කතරගම පුරවරයේ සංචාරයක නියෙලෙන වන්දනා නඩ අනිවාර්යෙම්ම මෙම පුදබිම වෙත පා තැබුවත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු මෙහි ඉතාහාසය පිළිබඳව සහ පුරාවිද්‍යාත්මක වටිනාකම පිළිබඳව තතු නොදනී. ඒ හෙයින් සංචාරක අත්දැකීමකට වඩා මෙහි වැදගත්කම පිළිබඳ සටහනක් ගෙන ඒමට ‘තරුණයා’ සංචාරක කණ්ඩායම තීරණය කළෙමු.
තිස්සමහාරාම චෛත්‍ය ආරම්භය
තිස්සමහාරාම චෛත්‍ය ආරම්භය ගෝඨාභය රජුගේ පුත් කාවන්තිස්ස රජුගේ සමයේ දී සිදු වූ බව අතීතය පිළිබඳ ලියැවී තිබෙන ග්‍රන්ථයන් හි සඳහන් වෙයි.
කාවන්තිස්ස රජුගේ භාර්යාව වූයේ කැලණිස්ස රජුගේ දුවණිය වූ විහාර මහා දේවියයි. මොවුන් දෙදෙනාට දුටුගැමුණු හා සද්ධාතිස්ස යන නමින් පුතුන් දෙදෙනෙක් සිටියහ. කාවන්තිස්ස රජතුමා විහාර මහා දේවිය සමග විවාහ වීමෙන් බලාපොරොත්තු වී ඇත්තේ ප්‍රධාන වශයෙන්ම දේශපාලන සම්බන්ධතාවයකි. ඒ කෙසේ වෙතත් කාවන්තිස්ස රජුගේ මූලික අරමුණ වූයේ දේශපාලන හා ආර්ථික වශයෙන් මුළු රෝහණයම එක්සේසත් කිරීමය. පසුව ආගමික ප්‍ර‘බොධයක් ඇති කිරීමද අභිලාෂය විය. මේ අරමුණු කොට විශාල ශාසනික දියුණුවක් මෙතුමා විසින් රෝහණයේ ඇති කරන ලදී. ඉන් ප්‍රධානතම කර්තව්‍යය ලෙස තිස්සමහාරාම චෛත්‍යාරාම්භය සඳහන් කළ හැකිය.
තිස්සමහාරාම චෛත්‍ය නිර්මාණය කිරීම
කාවන්තිස්ස රජුට අනුරාධපුර මහා විහාරයට සමාන මහා විහාරයක් කරවන්නට අවශ්‍ය වී ඇත. ඒ සඳහා සුදුසු බිමක් විභාගකර බැලීමේ දී බුදු රජාණන් වහන්සේ රහතන් වහන්සේලා පන්සියයක් සමග තෙවැනිවර ලංකාවට වැඩම කොට සමවත් සුවයෙන් වැඩ සිටි වර්තමාන චෛත්‍ය රාජයාණන් වහන්සේ පිහිටි භූමි භාගය පිළිබඳව ඔහුගේ අවධානයට ලක්ව ඇත. ඉන් පසුව රජුන් විසින් එකසිය විසිරියනයක් උස චෛත්‍යයක් කරවීමට ආරම්භ කර තිබේ. මෙම දාගැබ රන්කරු රිදීකරු ආදියෙන් නිමවා විශ්වකර්ම නිර්මිතයක් සේ මෙහි වැඩ නිමකර ඇත. මේ මධ්‍ය‘යෙහි රන් වෙහෙරක් කරවීමටද ඒ තුළ බුදු රජාණන් වහන්සේ අභිධර්ම දේශනා කරන ආකාරය පෙන් වූ රන් පිළිමයක් තැනීමටද කටයුතු කර ඇත.
තිස්සමහාරාමය චෛත්‍ය රාජයන් වහන්සේගේ නිදන්කොට ඇති ධාතූන් වහන්සේලා,
මෙවැනි ඓතිහාසික වැදගත්කමක් හා පූජනීයත්වයක් ඇති තිස්සමහාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේගේ නිදන්කොට ඇත්තේ නළල් ධාතුව පමණකැයි බොහෝ බෞද්ධ බැතිමත්හු සිතති. නමුත්, 1960.11.07 වැනි දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ කරන ලද කැණීම්වලින් මාගම්පුරයේ කිරින්දෙන් ලැබුණු ශිලා ලේඛනය නිසා තිස්සමහාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේගේ වම් දළදාවද නිදන්කොට ඇති බව හෙළිව තිබේ. කාවන්තිස්ස රජතුමා විසින් නිදන්කොට ඇති මේ වම් දළදාව බුදුරජාණන් වහන්සේගේ යටි හකුවේ බව පැහැදිලිවම සඳහන් කරයි. මේ අනුව 1960 නොවැම්බර් මස හත්වැනි දින කිරින්ද සෙල් ලිපිය සොයා ගැනීමෙන් පසු තිස්සමහාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේගේ වටිනාකම තවත් වැඩිවී තිබේ.
තිස්සමහාරාම මහා ස්ථූපය ආශ්‍රිත ගොඩනැගිලි හා ඉඩකඩම්
කිරින්ද සෙල් ලිපියේම තිස්සමහාරාම මහාස්ථූපය ආශ්‍රිතව ආරාම තුන්සිය හැටක් සමන්විත වූ බවත්, පස්වැනි කාශ්‍යප රජුගේ හා එම බිසවගේ පුත් මිහිදු ඈපාණන් විසින් ඉඩකඩම් පූජාකරන ලද බවත් සඳහන් වෙයි. තවදුරටත් තොරතුරු රාශියක් ඉදිරිපත් කරන එම සෙල්ලිපිය තිස්ස මහා ස්තූපය ‘තිසරම් එද් මහ වෙහෙර’ යනුවෙන් නම් කර ඇත.
රුහුණු මහා වෙහෙරේ පරිහානි සමය හා ප්‍රතිසංස්කරණ කටයුතු
මේසා විශාල දියුණු තත්ත්වයකින් පැවැති රුහුණු මහා විහාරය ක්‍රම‘යෙන් අභාවයට පත්විය. මේ කාවන්තිස්ස රාජ්‍ය සමයෙන් සියවස් දෙකකය පසු සිදු වූ බව ඓතිහාසික තොරතුරුවලට අනුව වාර්තා වේ. ක්‍රි.ව.38 දී රජ කළ ඉළනාග රජු තිස්ස මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ පෙර තිබූ පරිදිම නැවත ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන ලද අතර, ක්‍රි.ව. 214 දී රජ වූ වෝහාර තිස්ස රජු මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඡත්‍ර නැංවීමක් කොට ඇත. නමුත් වරින් වර අභාවයට යමින් පැවැති චෛත්‍ය රාජයන් වහන්සේ නැවතත් ක්‍රි.ව.560 දී මහානාග යුව රජු විසින් ප්‍රතිසංස්කරණය කර තිබේ. මෙසේ වරින් වර පැරැණි රජදරුවන් විසින් අලුත්වැඩියා කරමින් පවත්වාගෙන ආ මේ මහා සෑය ක්‍රි.ව. 1662 දී රජ කළ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ සැලික්ල්ලට ද පාත්‍ර වී ඇත. එවකට මෙහි අධිපතිව වැඩ වාසය කොට ඇත්තේ කදුරුපොකුණේ බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේය. උන්වහන්සේට මෙහි නඩත්තුව පිණිස රජු විසින් තඹ පත් දෙකකින් ඉඩම් පූජා කොට ඇති බවට අතීත ග්‍රන්ථයන් හි සඳහන් වේ . නමුත් දහඅට වන සියවස වනවිට තිස්සමහාරාම ප්‍ර‘දේශයත්, මහා සෑයත් වල් බිහිවී අභාවයට ගොස් ඇත. මේ අතර වේපත ඉර සුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රදානත්වයෙන් වන්දනා නඩයක් තිස්සමාරාම ප්‍ර‘දේශයට පැමිණ ඇති අතර, මේ පිරිසට ගරා වැටුණු තිස්සමහාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ හමු වී ඇත. විශාල ප්‍රසාදයකට පත් සුමන ස්වාමීන්ද්‍ර‘යන් වන්දනා නඩයෙන් කොටසක් ආපසු යවා මිනිසුන් කීප දෙනෙකු සමග මෙහි නතරව කුඩා පැලක දිවි ගෙවමින් කැලය සුද්ධ පවිත්‍ර කිරීමටත්, ගරා වැටුණු පස් ඇද දැමීමටත් පටන්ගෙන ඇත. මේ කාර්ය සඳහා වර්ෂ හතරක් පමණ ගතවී ඇත. 1857 උණ්වහන්සේ තිස්සමහාරාම සෑයේ වැඩ කටයුතු ආරම්භ කිරීම නැවතත් ආරම්භ කරමින් අඩි පන්සිය පණහක් වට වූ අඩි අසූහයක් උස ගර්භයේ වැඩ කටයුතු අවුරුදු 16කින් නිමකිරීමට කටයුත කර ඇත. එවැනි උදාර කටයුත්තක් සඳහා වෙහෙසුණු සුමන ස්වාමීන්ද්‍රවයන් වහන්සේට හතරැස් කොටුවේ වැඩ අවසන් කිරීමට පෙර අපවත් වී ඇත.
මීට පසුව මෙම කටයුත්ත සඳහා ඉදිරිපත් වූයේ වේපත ඉර සුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පැවිදි සොහොයුරු වල්පිට මේධංකර ස්වාමීන්ද්‍රයන් වහන්සේය. උන්වහන්සේ 1878 දී හතරැස් කොටුවේ ධාතු නිධානෝත්සවයද කොට 1889 දී චෛත්‍ය රාජයන් වහන්සේගේ ඉතිරි වැඩ කොටස නිමාවට පත් කළ බව පොත්පත්වල සඳහන් වේ. උන් වහන්සේගෙන් තිස්සමහාරාම මහා සෑයේ දියුණුව සඳහා සැලසුණු සේවාව උදාරය. මෙහි දියුණුව කෙතරම්දයත්, එවකට ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වූ සර් ජේම්ස් රොබට් ලින්ටන් නැමැත්තා 1882 දී තිස්සමහාරාමයට පැමිණි අවස්ථාවේ වල්පිට මේධංකර ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙහි අධිපතිකමට පත් කරන ලද අතර, තිස්සමහාරාමය හා සඳගිරි වෙහෙරද යන උභය විහාරයම සියම් සමාගමට පැවරීමද සිදුකර තිබේ. මෙයින් අපට පැහැදිලි වන්නේ එතුමා අබෞද්ධයෙකු වුවත්, මෙහි ඓතිහාසික වැදගත්කම තේරුම් ගත් බවය. ක්‍රි.ව.1895 දී වල්පිට මේධංකර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ජේ.ඒ.අමරසිංහ හා ඩී.ඇම්.ඇම්.ජයවික්‍රම යන මහතුන්ගේ සහායෙන් දේවතා කොටුවේ ධාන නිධානෝත්සවය සිදුකර ඇත. මින් පසුව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් කැරැල්ලේ කටයුතු ආරම්භ කළ යුතු විය. මේ සඳහා 1897 දී තිස්සමහාරාම විහාර කාර්ය සාධක සමිතිය බිහි වී ඇත. මේ මගින් කොත් කැරැල්ලේ කටයුතු නිමවා ක්‍රි.ව.1900 දී කොත් පැලඳවීම ද සිදු කරන ලද අතර, ඒ සඳහා එම වර්ෂයේම පොසොන් පුර පසළොස්වක පොහොය යොදාගෙන තිබේ. කොත මුදුනේ පැලඳ වූ සිළුමිණ බෝහිමියාවෙන් ගෙන්වන ලද රක්ත වර්ණ දියමන්තියක් බව අතීත තොරතුරු ඔස්සේ වාර්තා වේ.
චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ප්‍රමාණය
මුල් පේසාවේ වට ප්‍රමාණය අඩි පන්සිය පණහකි. හතරැස් කොටුවේ අඩි දෙසිය හතළිහකි. දේවතා කොටුව අඩි එකසිය හැටඅටකි. කොත් කැරැල්ලේ මුල් වටය අඩි එකසිය හතළිස් හතරකි. කොත් වහන්සේගේ මුල් වටය අඩි විසිදෙකක් වන අතර, එහි බර හොණ්ඩර හැටක් වේ. චෛත්‍ය රාජයාණන් වහන්සේගේ උස තුන් මහල් පේසාව අඩි දොළහ හමාරකි. ගර්භය අඩි අසූහයකි. හතරැස් කොටුව අඩි විස්සකි. දේවතා කොටුව අඩි පහළොවකි. කොත් කැරැල්ල අඩි හතළිස් එකකි. කොත් වහන්සේ අඩි එකොළහ හමාරකි. සියල්ල එක් වූ විට මුළු උස ප්‍රමාණය අඩි එකසිය අසූහයකි. බුදු රජාණන් වහන්සේගේ පාදශ්පර්ෂයෙන් පවිත්‍ර රහතුන්ගේ නමස්කාරයට බඳුන් වූ භික්ෂු, භික්ෂූනි උපාසක උපාසිකා යන සිවු පිරිසගේ ශ්‍රද්ධා භක්තිය වඩා වර්ධනය කිරීමට ඉවහල් වූ රාජ රාජ මහාහාත්‍යාදීන්ගේ නිබඳ ගෞරවයට හා සැලකිල්ලට බඳුන් වූ ලක්ෂ ගණන් බෞද්ධ බැතිමතුන්ගේ මුදුන් මල්කඩක් වූ තිස්සමහාරාම චෛත්‍ය රාජයානෙන් වහන්සේ මෙසේ වල්පිට මේධංකර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් පෙර තිබූ තත්ත්වයට යළිත් පත් වූ අතර, මහවැලි ගං තොටින් මෙපිට පිහිටි එකම මහා විහාරයද මෙය වේ.
කොත් පැලඳ වීමහ හා පොසොන් පෙරහැර
ලංකාවේ චෛත්‍ය රාජයාණන් වහන්සේලා විවිධ හැඩයෙන් යුක්තය. එයින් තිස්සමහාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ බුබ්බුලාකාර වන අතර දැකුම්කළුද වේ. මේ නිසාත් මෙහි ඇති ඓතිහාසික වටිනාකම හා පූජනීයත්වය නිසා ක්‍රි.ව. 1900 පොසොන් පොහොය දිනයේ පවත්වනු ලැබූ කොත් පැලඳවීමේ උත්සවයෙන් පසු නැවතත් ශ්‍රද්ධාකාමී බැතිමත්හු වැල නොකැඩී චෛත්‍ය රාජයාණන් වහන්සේ නමස්කාර කරන්නට පැමිණ තිබේ.
ක්‍රි.ව.1900 පමණ වනවිට ගමනා ගමන පහසුකම් නොති බූ අතර, එවකට මහජනයා පැමිණ ඇත්තේ ගැල්වලිනි.
මෙසේ පැමිණි මහජනතාව ක්‍රි.ව.1900 සිටම වෙහෙර වටා පන්දම් පෙරහර පවත්වා ඇත. මෙය වඩාත් දියුණු තත්ත්වයට පත් වූයේ 1947 දායක සභාවක් ඇති වීමෙන් පසුවය. මේ මගින් වෙහෙර වටා පැවැති පන්දම් පෙරහැර පොසොන් පෙරහැරක් බවට දියුණු කොට පළමු දින චෛත්‍ය රජයන් වහන්සේ වටාත්, දෙවැනි තෙවැනි දිනයන්හි වීථිසංචාරයෙත් යෙදෙන අන්දමට කටයුතු පිළියෙල කෙරිණ. මෙම පොසොන් මහා පෙරහැර අද දක්වාත් වාර්ෂිකව නොකඩවා අති උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබේ. මෙය නැරඹීම සඳහා ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් දිවයිනේ නන් දෙසින් තිස්සමහාරාමය කරා ඇදී එති.
තිස්සමහාරාමය අවට සැරිසැරිය හැකි වෙනත් පූජනීය ස්ථාන
තිස්සමහාරාම නගරය පසු කරමින් කතරගම පුජාභූමිය වෙත ගමන්කරන සංචාරකයින් බොහෝ දෙනෙකු තිස්සමහාරාම දාගැබ පමණක් වැඳපුදා ගෙන ඒ වටපිටාවේ නැරඹිය යුතු තවත් අපූරු ස්ථාන මඟහැර ගමන් කරන්නේ ඒ අවට තිබෙන අනෙකුත් ස්ථාන පිළිබඳව නොදන්නා හෙයිනි. නමුත් ඒ අවට තවත් සොදුරුවූත්, පුරාවිද්‍යාත්මකව වටිනාකමින් යුක්තවූත් තවත් ස්ථාන ගනණාවක් පවතියි. ඒ අතරින් යටාල වෙහෙර පිහිටා තිබෙනුයේ තිස්සමහාරාම දාගැබේ සිට කතරගම මාර්ගයේ කිලෝමීටර 1.5 ක පමණ දුරකිනි. මෙම වෙහෙර ඉඳිකර තිබෙනුයේ ක්‍රි.පු. තුන්වන සියවසේදී මහානාග රජුගේ පුත් යටාලතිස්ස විසින් බව ජනප්‍රවාදයන්හි සඳහන් වේ.දෙවනපෑතිස් රජුගේ සොයුරු මහානාග රජු විසින් කරවන ලද මැණික් වෙහෙර පිහිටා තිබෙනුයේ තිස්ස දාගැබේ සිට කිලෝමීටර 3 ක දුරකිනි. මෙම වෙහෙර මුදුනේ මහානාග රජුගේ ඔටුන්නේ තබූ මැණික් ගලක්, චුඩා මාණික්‍යය ලෙස තැන්පත් කිරීම සහ ධාතු ගර්බයේ මැණික් බුදු පිළිමයක් තැන්පත් කිරීම නිසාත් මෙම ස්ථුපය ‘මැණික් චෛත්‍යය’ නමින් නම් කර තිබෙන බව පුරාවිද්‍යාත්මක තොරතුරු ඔස්සේ වාර්තාවේ.
මීට අමතරව මැණික් වෙහෙර ආසන්නයේ පිහිටි පොල්වත්ත තුළ ‘ඇතාබැඳිගල’ නමින් ප්‍රකට සෙල්ලිපියක්ද සහිත විශාල ගල් කුළුනක් පිහිටා තිබේ. ජනප්‍රවාදයට අනුව දුටුගැමුණ් රජු එළාර රජුට එරෙහිව ඇරඹු සටනේ ආරම්භක අවස්ථාවේ ‘කාඩොල් ඇතා’ බැඳ සිටි ගල්කණුව මෙය බව සඳහන් වේ.
තිස්ස වැව
තිස්සමහාරාම වෙහෙර වෙත ගමන් කිරීමේදී හමුවන ‘තිස්ස වැව’ කතරගම වෙත යන බැතිමතුන්ට ගිමන් විඩාව නිවාගැනීමට කදිම ඉසව්වකි. ස්නානය කිරීමට මෙන්ම, වන්දනා නඩ ආහාර ගැනීම සඳහා අනිවාර්යෙම්ම වැව අසල නතර වේ. බොහෝ දෙනෙකු ප්‍රධාන වැව අද්දරට වී ඔවුන්ගේ අවශ්‍යතාවන් සපුරා ගනිද්දී තවත් අය වැව පෝෂණය වන ඇළ මාර්ග වලින් සහ සොරෙව්වෙන් නිකුත් වන ජල දහරාවන් තුලට වී දියබුං ගසති. මෙම වැව අනුරාධපුර යුගයේදී ඉලනාග රජු විසින් කරවන ලද්දක් බව ඉතිහාස තොරතුරු ඔස්සේ අනාවරණය වේ. අක්කර 652ක වපසරියක පිහිටා තිබෙන මෙම වැවේ අක්කර අඩි 3510ක පමණ ජලධාරිතාවක් අඩංගු වේ. මේ සඳහා ජලය සපයුනු ලබන්නේ කිරිදි ඔයෙන් අල්ලගලදී සදා ඇති අමුණේ සිට කපණ ලද ඇළමාර්ගය මගිනි. මේ වන විට වැව් බැම්ම මතින් ගමන් කිරීම සඳහි සක්මන් මාර්ගයක්ද ඉදිකර තිබෙන අතර ඔබට අවශ්‍ය නම් විනෝදාශ්වාදය සඳහා බෝට්ටු සවාරියක මිහිර විඳගැනීමටත්, වැවේ සිටින මත්ස්‍යන් හට ආහාර ලෙස පොරි ලබාදීමටද අවස්ථාව ලැබේ.
සැලකිලිමත් බව
ඔබ තිස්සමහාරාම වෙහෙර හෝ අනෙකුතු පූජනීය ස්ථාන වෙත ගමන් කරන්නේනම් සංවරය හැසිරීමටත් එම ස්ථානයන්හී පරිසරය රැකගැනීම සඳහා දායකත්වය ලබාදෙන්න. එමෙන්ම තිස්ස වැවේ දිය නාන්නේනම් ඔබගේ ආරක්ෂාව පිළිබඳවද සැලකිලිමත් වන්න.
මුලාශ්‍ර - දේවාලෙගම ධම්මසේන ස්ථවර රචිත තිස්සමහාරාම චෙත්‍ය ඉතිහාසය ග්‍රන්ථය