'බෙවිස් බාවා' ගේ 'බ්‍රීෆ් උයන'
කාර්ය බහුල ජීවිතයෙන් තරමක් හෝ මිදී යම්තාක් දුරට අස්වැසිල්ලක් ලබාගැනීමේ අරමුණින් සුන්දර පරිසරයක නිදහසේ ගතකරන්නට බලාපොරොත්තුවන අයගේ ගතත් සිතත් ප්‍රබෝධයෙන් පිනාගැනීමට උචිත චමත්කාර උද්‍යානයක් පිළිබඳව මග සලකුණු ගෙන එන්නයි මේ සූදානම.
කොළඹ සිට අලුත්ගමට ගොස් අලුත්ගම - මතුගම මාර්ගය ඔස්සේ ඉදිරියට ගමන් කරනවිට දර්ගා නගරය පසුකර ඉදිරියට යනවිට හමුවන අඹගස් හංදියෙන් වමට හැරී කිලෝමීටරයක් පමණ ගමන්කළ විට ගමන් කරන මාර්ගය දෙකට බෙදෙයි. එයින් දකුණු දෙසට දිවෙන මාර්ගයේ ගමන් කළ විට අපේ රටේ පමණක් නොව විදෙස් රටවලත් සංචාරකයන්ගේ සිත් ඇදගත්, උද්‍යාන අලංකාරයට උනන්දුවක් දක්වන පිරිස්වල විශේෂ අවධානයට ලක්වූ චමත්කාර ජනක ශ්‍රී ලංකාවේ තෙවැනියට විශාලතම මල් උයන ලෙස සැලකෙන "බ්‍රීෆ් (Brief) උයන" හමුවෙයි.
"බාවා උයන" නමින්ද ප්‍රචලිත මෙම දර්ශනීය උද්‍යානය නිර්මාණය කරනු ලැබ ඇත්තේ බෙවිස් විලියම් ෆෙඩ්රික් බාවා විසිනි. ඔහු සුප්‍රකට සිත්තරකු, මූර්ති ශිල්පියෙකු, භූමි අලංකරණ ශිල්පියෙකු මෙන්ම ගෘහනිර්මාණ ශිල්පියෙක් ලෙසටත් ලෝක ප්‍රසිද්ධව සිටි ජෙෆ්රි බාවාගේ සහෝදරයාය.
බේවිස් බාවා ශ්‍රී ලංකා යුද හමුදාවේ පාබල හමුදාවේ මේජර්වරයෙකු විය. සෝල්බරි සාමිවරයාගේ හා හෙන්රි මුවර් මන්ක් යන ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයන්ගේ පරිවාර නිලධාරිවරයා ලෙසද මොහු කටයුතු කර තිබේ.
ඔහු ආලයෙන් වෙලී සිටි තරුණිය හදිසියේම ඔහුගෙන් වෙන්වීම නිසා සහ "බෙවිස්ට කසාද බඳින්න තහනම් කරලා, ඔහු විවාහ වූ කාන්තාවන් දෙදෙනෙකුම මංගල යහනේදී මියගියාලු, ඔහු අසාමාන්‍ය පුරුෂයෙක් ලු" ආදී ඔහුගේ කඩවසම් පෙනුම හා ගලපා මිනිසුන් පැවසූ කතාවලට හිත රිදවාගෙන තමන්ගේ දෙමාපියන්ගෙන් උරුම වූ කාලවිල ගමේ පිහිටි මෙම උද්‍යානය පිහිටි ඉඩම තෝරාගෙන තමන්ගේ ජීවිතය හුදකලාව උරුම කරගනිමින් අලුතින් ආරම්භ කළ බව අතීත ලිපිලේඛනවල සඳහන් වෙයි.
ඔහුගේ හුදකලා බව කලාවෙන් ගෙවාදැමීමට සිතූ ඔහු අක්කර 05ක් පමණ වූ එම ඉඩමේ නිවසක් පමණක් නොව අපූරු උද්‍යානයක්ද නිර්මාණය කිරීමට පියවර ගෙන තිබෙනවා. ඔහු අවුරුදු 40ක් පුරා වෙහෙසී නිර්මාණය කරන ලද මෙම උද්‍යානයේ දුර්ලභ ගෘහනිර්මාණ කලාවක් ඇතුළත්ව තිබෙනවා. එහි පිහිටා තිබෙන මැදුරේ සහ උද්‍යානයේ සියලු මූර්ති හා චිත්‍ර සියල්ල ඉදිවී තිබෙන්නේ ද ඔහු අතිනි. කදිම මූර්ති, ප්‍රතිමා රැසක්, සත්ත්වයන්, සත්ත්ව මුහුදු, සම්පූර්ණ වූ ශරීරාංග පෙන්නුම් කරන නිරුවත් පිරිමි රූපවලින් උද්‍යානය පිරී තිබුණත් එහි දක්නට ඇත්තේ එක් ගැහැනු රුවක් පමණි. ඒ ඔහුගේ මව වූ මේතාගේ රුවය. බෙවිස් ගැහැනුන්ට කොතරම් වෛර කරන්නට ඇත්දැයි අපට ඒ මගින් පැහැදිලි වෙයි.
ජීවිතය පුරාවට හුදකලාව අත්වින්ද, මේ සුන්දර මිනිසා ජීවිතයේ අවසන් භාගයේ තමන්ගේ අතින් නිර්මාණය කළ මේ උද්‍යානය සහ අනිකුත් ඉඩකඩම් සිය සේවක පිරිස අතර බෙදාදී තිබුණා. 1992 වර්ෂයේ සැප්තැම්බර් 08 වැනි දින මේ පරාර්ථකාමී මිනිසා ඔහුගේ කලාකාමී හදවත %බ්‍රීෆ් උයන^ ලෙස ඉතිරි කරමින් 84 වියේදී ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.
අදටත් "බෙවිස් බාවා" ගේ මන්දිරය සහ උද්‍යානය සංචාරකයන් වෙනුවෙන් විවෘතව පවතින අතර හුදකලා බව විඳගන්න කැමති ඔබටත් එහි යන්න පුලුවන්. සොබාදහමට ආදරය කරන කෙනෙකුගේ නෙත සිත පිනවීමට හැකි මෙම උද්‍යානය සතියේ දින 07 ම උදෑසන 08.00 සිට සවස 5.00 දක්වා විවෘතව පවතී. උද්‍යානය නැරඹීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් 300ක මුදලක් සහ උද්‍යානය ඇතුළුව බංගලාව නැරඹීමට එක් අයෙකුගෙන් රුපියල් 1000ක මුදලක්ද අය කරනු ලබයි.
සටහන සහ ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර/ තිසර ගංගාදර